ෂෙහාන් අඹේපිටිය කියන නම ජාත්‍යන්තර මලල ක්‍රීඩාවේ ලියැවුණේ 2008 වර්ෂයේදී. ඒ කෙටි දුර ධාවන ශූරයෙක් ලෙසින්. කනිෂ්ඨ මලල ක්‍රීඩකයෙක් හැටියට දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩාකයා පමණක් නෙමෙයි ආසියාවේ දෙවන වේගවත්ම ක්‍රීඩකයා වන්නටත් ලෝකයේ වේගවත්ම කනිෂ්ඨ ක්‍රීඩකයින් ලයිස්තුවේ හත් වැනි ස්ථානයේ සිය නම රදවන්නටත් ඔහු එදා සමතෙක් වුණා. ඒ වගේම බොහෝ ජාත්‍යන්තර තරගවල ජයග්‍රහන ඔහු සතු කරගන්නට ඔහුට හැකියාව ලැබුණා. එලෙසින් ජාත්‍යන්තරයට ගිය ෂෙහාන් පසුගියදා නිමාව දුටු ජාතික ශුරතා මලල ක්‍රීඩා තරගාවලියේ තරග කරමින් සිය මලල ක්‍රීඩා ජිවිතයට සමු දුන්නා. ඔහු ඒ ගැන හා ඔහු ගැන කිව්වේ මෙලෙසිනුයි.
දැන් ෂෙහාන්ගේ වයස අවුරුදු 29 යි. ඔබ මලල ක්‍රීඩාවට සමු දුන්නා. ඔබේ හොදම කාලයේදී ක්‍රීඩා ජිවිතයට සමුදුන්නා කියලා ෂෙහාන් හිතනවද..?
මම මලල ක්‍රීඩාවට සමුදෙනවා කියලා තීරණය කරලා තිබුනේ පසුගිය වර්ෂයේ. ඊට පස්සේ අපේ රිලේ කණ්ඩායම තරුණ කණ්ඩායමක්. ඒ කණ්ඩායම එක්ක තරග සදහා සම්බන්ධ වෙන්න අවශ්‍ය නිසා ඒ තිරනම මේ අවුරුද්ද දක්වා කල්ගත්තා. මම හිතනවා පීක් එකේ ඉන්න කාලෙම ක්‍රීඩාවෙන් සමුගන්න එක හොදයි කියලා. ඒ නිසා මම ක්‍රීඩාවෙන් සමුගන්න හිතුවා.
වසර 15කට අධික කාලයක සිට ඔබ මලල ක්‍රීඩකයෙක් විදිහට කටයුතු කළා. ඒ ජිවන රටවත් එක්ක ක්‍රීඩා ජිවිතයට සමු දුන්න එක ගැන දුකක් නැහැ කිව්වොත් ඒක බොරුවක් නේද..?
ගොඩක් දුකයි මට ක්‍රීඩාවෙන් සමු ගන්න. ඒ නමුත් මේ අවස්ථාවට කවදා හිටියත් මුහුණ දෙන්න ඕන. මගේ ජිවිතේ වෙලා තිබ්බේ ක්‍රීඩාව. සියයට සියයක් මගේ ජිවිතේ කැපකිරීම් කළේ ක්‍රීඩාවට. උදේ නැගිටින්නේ ක්‍රීඩාව වෙනුවෙන්. ඒ ජිවිතේ දැන් සම්පුර්ණයෙන්ම කණපිට පෙරළුණා වගේ හැගීමක් තමයි මට දැන් දැනෙන්නේ. මේ නුපුරුදු ජිවිතේට දැන් මට මුහුණ දෙන්න සිදු වෙනවා. මගේ අම්මත් මගේ සමුගැනීම නිසා හරියට ඇඩුවා. අවුරුදු 15ක මේ බැදීමෙන් වෙන් වෙන්න හරි අමාරුයි. එයාටත් ඒක දරාගන්න බැරි වුණා.
ඔබේ හොදම තරුණ කාලේ ගෙවුණේ ක්‍රීඩා පිටියේ. ඒ කැපකිරීමට ඔබේ දෙමාපියන්ගෙන් ලැබුණු සහයෝගය කොයි වගේද..?
මගේ අම්මා තාත්තාගේ කැපකිරීම මත තමයි මම මේ ගමන මේ තරම් දුරක් අවේ. ජැමෙයිකාව කියන්නේ හොදම දක්ෂ කෙටි දුර ශුරයින් බිහිවුණු රටක්. ක්‍රීඩා ජිවිතේ තමයි මගේ හැමදේම කියන එක මම ඉගෙන ගත්තේ ඒ රටේ ක්‍රීඩකයින්ගෙන්. ජිවත් වෙන්නේ, කන්නේ බොන්නේ, හුස්ම ගන්නේ හැමදේම කරන්නේ ක්‍රීඩාව වෙනුවෙන් ඒ රටේ ක්‍රීඩකයින්. ඒ කැපකිරීම අති විශාලයි. මමත් ඒ ජිවිතේට හුරු වුනා. මගේ අම්මා තාත්තා පවා මම වෙනුවෙන් කාලය කැප කළා. කෙටියෙන්ම කිව්වොත් පුදුම කට්ටක් කෑවේ මම වෙනුවෙන්. උදේ නැගිටලා මට අවශ්‍ය කෑම එක හදලා දීලා අවශ්‍ය පසුබිම හදලා දුන්නේ ඒ අය. මේ තාක්කල් මගේ පස්සේ අම්මයි තාත්තත් දිව්වා කිව්වොත් මම හරි.
2008 වර්ෂයේදී ඔබ ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටිය අත්පත් කරගත්තේ රන් පදක්කම් තුනක් හිමි කරගෙන. ඉන් අනතුරුව ජාත්‍යන්තර පදක්කම් බොහොමයකට හිමිකම් කිව්වත් ඒ දවස්වල වගේ ෂෙහාන් ගැන මෑතකදී කතා කළේ නැහැ. ඒ ජනප්‍රියත්වය අඩු වෙන්න හේතුව මොකක්ද ඔබ දකින විදිහට..?
ඔව්. ඒ දවස්වල මම ගැන බොහෝ දෙනෙක් කතා කළා. ක්‍රීඩා ලෝලීන්ගෙන් ප්‍රතිචාර සෑහෙනට ලැබුනා. මට ශිෂ්‍යත්වයක් ලැබිලා 2010 වර්ෂයේදී මම අවුරුදු තුනකට ජැමෙයිකාවට ගියා පුහුණු වෙන්න. ඊට පස්සෙත් තරග බොහොමයක් ජයගත්තත් මම හිතන්නේ මම ලංකාවේ හිටපු නැති ඒ කාල සීමාවේදී මම ගැන කතා කරන එක නතර වුනා. ප්‍රතිචාර නැති වුනා කියලයි. නමුත් මම දිගටම ක්‍රීඩාවේ රැදුනා.
ජාත්‍යන්තර තරග බොහොමයක පදක්කම් ඔබ සතු වුවත් ඔබට ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සම්බන්ධ වෙන්න වරම් හිමි වුනේ නැහැ. ඒ ඇයි..?
මම ඔලිම්පික් උළෙලට සම්බන්ධ වෙන්න හිටියේ 2012 වර්ෂයේ. ඒ වෙනුවෙන් තමයි මම ජැමෙයිකාවට ගියේ පුහුණු වෙන්න. නමුත් නොසිතු මොහොතක අවාසනාවන්ත ලෙසින් මම ආබාධයට ලක් වුණා. ඒ නිසයි මට ඒ හීනයට යන්න බැරි වුණේ. ඒ හැරුනුකොට අනෙක් සියළුම මලල ක්‍රීඩා තරග නියෝජනය කරමින් ජයගෙන තියෙනවා.
අලුත් පරම්පරාව රැකියාවක් හෝ ක්‍රීඩාවක් තෝරා ගන්නේ මුදල් ඉපයීමේ අරමුණින් හෝ ජනප්‍රිය වීමේ අරමුණින්. මුදල් හා ජනප්‍රියත්වය කියන දෙකම ලැබෙන ක්‍රිකට් වැනි ක්‍රීඩාවක් තෝරාගන්නේ නැතිව මලල ක්‍රීඩාව තෝරා ගත්තේ මොන හේතුවකටද..?
මලල ක්‍රීඩාවේදී තරග කරන්නේ තනි තනිව. ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ ක්‍රීඩකයින් 11 කගේ සහයෙන්. ඔවුන්ට මුදල් හොදට ගෙවනවා. නමුත් අපි වියදම් කරගෙන තමයි මලල ක්‍රීඩාවේ යෙදෙන්නේ. මම ජාත්‍යන්තර තරගයකින් ජය අරගෙන පදක්කම් පළදින අවස්ථාවේ ෂෙහාන් අඹේපිටිය කියන නමින් නෙමෙයි ශ්‍රී ලංකා කියන නාමයයි අමතන්නේ. ඒ මොහොතේ හිතට දැනෙන හැගීම කියන්න බැහැ. ඒ ගෞරවය මගේ රටට හම්බෙන්නේ. ඇත්තටම කිව්වොත් ඒ හැගීම ජිවිතේ කවදාවත් මුදලටවත් ගන්න බැහැ. මම අවුරුදු 16ක් ඒ හැගීම වෙනුවෙන් තමයි සටන් කළේ. ඒ ආත්ම තෘප්තිය තමයි මාව ජිවත් කළේ
ඔබ ක්‍රීඩකයෙක් නමුත් කවදා හරි දවසක විවාහ වෙන්න ඕන, පවුල් ජිවිතයක් ගත කරන්න ඕන. එතකොට පිරිමි පුද්ගලයෙක් හැටියට වගකීම් වැඩියි. ඔබේ ආර්ථිකය ශක්තිමත් විය යුතුයි. ආර්ථික ප්‍රශ්න ගැන හිතුවේ නැද්ද..?
ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සේ මම මොකද කරන්නේ කියන සිතුවිල්ල ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැරුණු කොට අනෙක් හැම ක්‍රීඩකයෙකුටම ඇති වෙනවා. මමත් පහුගිය අවුරුදු තුනේම ඒ මානසික මට්ටමේ හිටියේ. මම ඊළගට කරන්නේ මොකක්ද. මට මොනවා වෙයිද කියන සිතුවිල්ලේ. වසර කිහිපයකට පෙර අල්විස් සර් තමයි මගේ ජිවිතේ අධ්‍යාපන පැත්තෙන් වෙනස් කරන්න මුලික වුනේ. ඔහු මට කිව්වා ඔයා ඔලිම්පික් පදක්කම ගෙනාවත් වැඩක් නැහැ ඉගෙන ගන්නේ නැතුව කියලා. ඊට පස්සේ මම ඉගෙන ගෙන උපාධිය සම්පුර්ණ කරගත්තා. මලල ක්‍රීඩාවෙන් සමුගන්න දවසකට ඒ අධ්‍යාපන සුදුසුකම් අනුව මම රැකියාවක් කරනවා කියන සිතුවිල්ලෙන්. ඊට මම දැන් අඩිතාලම දාගෙන ඉන්නේ. ඒ නිසා මට ආර්ථික ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන එකක් නැහැ. දැන් මම ලෑස්තියි ජිවිතේට මුහුණ දෙන්න.
සාමාන්‍ය ජිවිතයක් ගත කරන කෙනෙකුට වඩා වෙනස් ක්‍රීඩකයකුගේ දින චර්යාව. ක්‍රීඩාවට සමුදුන්නට පස්සේ ඔබත් සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න ඕන. එහෙම නේද..?
ඔව්. ඒක හරිම අමාරු වැඩක්. ඉස්සර කෑම බිම පරිස්සම් වුනා. උදේ ඉදලා හවස් වෙනකල් පුහුණුවීම්. දැන් ඒ ආහාර රටාව අනුගමනය කරන්න බැහැ. ඒත් ජිම් ගිහින් කෑම බිම ගැනත් හිතන්න වෙනවා. නැත්තම් මගේ ශරීරය මහත් වෙයි. ක්‍රීඩකයෙක් කියන්නේ රෝල් මොඩ්ල් කෙනෙක්. සාමාන්‍ය ජිවිතයක් ගත කරත් ඒ ගැනත් හිතන්න වෙනවා.
ඔබ පිටිය මැද දිව්වත් ඔබේ පසුපසින් දුවමින් ගුරුහරුකම් දුන් අයත් ඉන්නවා. ඒ අය ගැන මතක් කරලා මේ කතාබහට සමුදෙමු..?
මගේ පළමු පුහුණුකරු තමයි නලින් විතාරණ සර්. මගේ ජිවිතේ වෙනස් කළේ නීල් ගුණවර්ධන සර්. ක්‍රීඩා ජිවිතේ අවසාන අධියරයේ මාව ශක්තිමත් කරමින් අවශ්‍ය පරිසරය හදලා දුන්නේ විමුක්ති ද සොයිසා සර්. මේ හැමෝම වගේම මගේ දෙමාපියන් නෑදෑයින් යහළුවන් හිටියා. මම ඉගෙන ගත්තේ කෝට්ටේ ජනාධිපති විද්‍යාලයෙන්. හා ගේට්වේ විද්‍යාලයෙන්. අද අල්විස් සර් ජිවතුන් අතර නැහැ. නමුත් මගේ හෙට දවස හදාගන්න මගේ ලගින් හිටියේ ඔහු. මාත් එක්ක අවුරුදු 16ක් මගේ පස්සෙන් දුවපු හැමෝටම ස්තුති කරන්න ඕන.