අමෙරිකාවේ පළමු කාන්තාවන්ට සුන්දර ලෙස සැරසීමට ඕනෑ තරම් අවස්ථා උදාවෙයි. එහෙත්, ඒ කිසිවකුටත් ජීවිතයේ අමතක නොවන ලෙස, සුන්දර ලෙසින් සැරැසුණු දිනයක් තිබේ. ඒ, සැමියා ජනපති වීමටත් පෙර, ඔහු සමඟ මනාලියක ලෙස අතගත් දිනයයි.
හිලරි ක්ලින්ටන්
හිලරි රොඩම්ට, බිල් ක්ලින්ටන් මුණ ගැසුණේ දෙදෙනාම 1971 දී නීති විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී ය. පුස්තකාලයේදී බිල්ගේ අනඟසර හිලරිට වැදී ඇති අතර, දෙදෙනා තෙවසරක් සෙනෙහසින් බැඳී සිට ඇත. බිල්ට මහා මංගල්‍යයක් ගැනීමට අවශ්‍ය වුව ද, හිලරි විවාහ ගිවිස ගැනීමේ මුද්ද ගැනවත් සැලකිලිමත් නොවීය. එහෙත්, බිල් ඇයට මුද්දක් දුන්නේය. හිලරි, මංගල ඇඳුම පවා මිලදී ගත්තේ මංගල දිනයට පෙර දිනයේ ය. හිලරිගේ මව වික්ටෝරියානු ලේස් ගවුමක් දියණිය වෙනුවෙන් මිලදී ගත්තා ය. ඔවුනගේ විවාහය පැවැත්වුණේ නිවෙසේ විසිත්ත කාමරයේ ය.
මිෂෙල් ඔබාමා
හිලරි හා බිල් යුවළ මෙන් ම, මිෂෙල් හා බැරැක් ද හමුවී පෙමින් බැඳුණේ නීති සිසුන්ව සිටියදී ය. තෙවසරක් පෙමින් බැඳී සිටි ඔවුන්, 1989 දී විවාහ වූහ. මිෂෙල් එදින සැරැසී සිටියේ සුදු අලංකාර උල්වූ අත් සහිත ගවුමකිනි. ඇයගේ හිස දිගු වේලයකින් සරසා තිබිණි.
රොසලින් කාටර්
යුග දිවියේ හැත්තෑ දෙවැනි වසර සැමරීමට තරම් වාසනාවන්ත වූ හිටපු ජනාධිපතිවරයෙක් හා ජනපති බිරියක් අමෙරිකාවේ සිටිති. ඒ අන් කිසිවකු නොව, අමෙරිකාවේ ජීවත්ව සිටින වයස්ගතම හිටපු ජනපතිවරයා ලෙසට වාර්තා පොතට එක්වූ, ජිමී කාටර් සහ ඔහුගේ බිරිය රොසලින් ය. ඇඳුම් මාරු කරනවාක් මෙන් විවාහ සිදු කරන පවුල් සංස්ථා අමෙරිකාවේ, යුරෝපයේ ඇතැයි ලොව සෙසු රටවල් සිතා සිටිය ද, එය එසේ නොවන බවට කාටර් යුවළ හොඳ ම උදාහරණයකි.
රොසලින්, ජිමීගේ අතගත්තේ වයස අවුරුදු 18 ක් වැනි ගැටවර වයසේ දී ය. 1946 ජූලි 7 වැනි දින රොසලින් ඔහුගේ අත ගනිද්දී, දණහිස් දක්වා දිගු ගවුමකින් හා කෙටි කබායකින් සැරසී සිටියා ය. ඇය උරහිසේ මලක් පැලඳ සිටි අතර, ගවුමේ පැහැයේ තොප්පියක් ද පැලඳ සිටියා ය. ජීමී කාටර් ඇඳ සිටියේ නාවික නිල ඇඳුමයි.
බෙස් ටෲමන්
එළිසබෙත් වර්ජිනියා (බෙස්) හැරී ටෲමන්ගේ අත ගත්තේ 1919 ජුනි 28 වැනි දිනදී ය. පිරිමි ළමයින් සමඟ කොලු ගැටයකු සේ ම, දඟකාරකම් කළ බෙස්, යොවුන් වියට පැමිණි පසු සාමාන්‍ය තරුණියක මෙන් ම, විලාසිතාවලට ප්‍රිය කරන්නියක වූවා ය. ඇය විශේෂයෙන් ම මනාපය දැක්වූයේ, අලංකාර හිස් පලඳනා දැමීමට ය. මංගල දිනයේ ද ඇය සිය කැමැත්ත අනුව, සුදු රැලි පටි ගවුමකින් සැරැසුනා ය. සුදු පැහැති තොප්පියක් පැලඳ සිටියා ය. හැරීට බෙස් හමූවුයේ පළමු ලෝක යුද්ධයට පෙර දී, එනම් 1911දී ය. මුලින් බෙස් හැරීගේ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කළා ය. නැවත වරක් වඩාත් යහපත් දිවි පෙවෙතක් ගත කරමින්, විවාහයට ආරාධනා කළ විට, එය ප්‍රතික්ෂේප කිරීමට බෙස්ට හේතුවක් නොතිබිණි.
ලෞ හෙන්රි හූවර්
බොහෝ තරුණියන් මංගල දිනයේ සාම්ප්‍රදායික සුදු පැහැති මංගල ඇඳුමෙන් සැරැසෙද්දී, ලෞ හෙන්රි තෝරා ගත්තේ තද පැහැති මංගල ගවුමකි. ඇයගේ පියා, මිය ගිය සතුන් පණ පිටින් සිටින අයුරින් සැකසීමේ යෙදුණු තැනැත්තෙකි. හෙන්රි ද පියා සමඟ එක්වී ඉන් විනෝදයක් ලැබුවා ය. භූ විද්‍යා උපාධිධාරිණියක වූ ඇය, කඳු හා ඛනිජ ලවණවලට ද ඇලුම් කළා ය. චීන බස ඉතා චතුර ලෙස කතා කළ අතර, ආසියාතික බසක් කතා කළ හැකි වූ එක ම ජනපති බිරිය ඇයයි.
ලුසී හේස්
තද පැහැති මංගල ඇඳුමකින් සැරසුණු තවත් මනාලියක වන්නේ, රදෆර්ඩ් රිචඩ් හේස් සමඟ විවාහ වූ ලුසී ය. රදෆර්ඩ්ගේ මවට අවශ්‍ය වී තිබුණේ සාම්ප්‍රදායික ලේළියකි.1852 දෙසැම්බර් 30 වැනිදා ඇය සමඟ රදෆර්ඩ් විවාහ වීමට පෙර, 1851 දිනපොතේ මෙසේ සඳහන් කර තිබිණි. ඇය උස් හඬින් කතා නොකරන, මිහිරි හඬක් හිමි තැනැත්තියකි. දෑස් ද සෞම්‍ය ය. දෙදෙනා දරුවන් අට දෙනකුගේ මාපියෝ වූහ. ඔවුන් මංගල දිනයේ සැරසී සිටියේ තද පැහැ ඇඳුමිනි.
නැන්සි රේගන්
හතළිහේ, පනහේ දශකවල ජනප්‍රිය හොලිවුඩ් නිළියක වූ නැන්සි ඩේවිස්, තවත් හොලිවුඩ් නළුවකු වූ රොනල්ඩ් රේගන් සමඟ පෙමින් බැඳුනේ, තවත් තරු ගණනාවක් සමඟම පෙමින් බැඳීමෙන් අනතුරුව ය. තෙවසරක ප්‍රේමයෙන් පසු දෙදෙනා 1952 දී අතිනත ගනිද්දී ගැබිනියකව සිටියා ය. ඇය සිය මෝදුවන දරු ගැබ ලොවෙන් සඟවා ගත්තේ, රැලි පටි නැති සරල මංගල ඇඳුමකින් සැරැසීමෙනි.
ෆ්රාන්සස් ක්ලීව්ලන්ඩ්
ෆ්රාන්සස් 1886 දී විවාහ වන විට ඇයගේ වයස අවුරුදු විසි එකකි. ග්ලෝවර් ක්ලීව්ලන්ඩ්ට වයස අවුරුදු 49කි. දෙන්නා විවාහ වූයේ පෙම් සබඳතාවකිනි. වයස්ගත පෙම්වතා සමඟ ඇය සරණ ගියේ, තැඹිලි පැහැති මල් සහ ලෝලේ පත්‍ර රටාවලින් හැඩකළ සුදු පැහැති ගවුමකින් සැරසෙමිනි.
මෙලනියා ට්‍රම්ප්
බොනල්ඩ් ට්‍රම්ප් මහත්මිය බවට මෙලනියා පත් වූයේ 2005 වසරේදී ය. ඇයගේ මංගල ඇඳුම ඉතිහාසයට එක් වන්නේ, සුවිශේෂී ඇඳුමක් විලසිනි. ඇයගේ වේලය අඩි 300ක් දිගු විය. එහි වටිනාකම අමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක් වූ අතර, එය කෙතරම් විශාල වූවා ද කිවහොත්, මනාලියට වාඩිවීමට සිදු වූයේ පුටුවක වෙනුවට බංකුවක ය. ගවුමේ මුතු හා දියමන්ති 1500කට වඩා අල්වා තිබිණි. වෝග් සඟරාවට අනුව ඇය ඇන්ද ක්‍රිස්ටියන් ඩියෝ මංගල ගවුම නිර්මාණය කිරීමට, පැය 550කට වඩා ගත වී තිබිණි. ඇඳුමේ බර රාත්තල් 60ක් විය. එය ඇඳීමට පෙර, සිහින් සිරුරක් හිමි ඇයට හොඳින් කුස පුරවාගෙන සිටින ලෙස උපදෙස් ලැබී ඇත.
"දිනමිණ"
දීපානි
එම ඡායාරූප පහතින්
මිෂෙල් සහ බැරැක් ඔබාමා යුවල
රොසලින් සහ ජිමී කාටර් යුවල
හිලරි සහ බිල්ක් ක්ලින්ටන් යුවල
ලෝරා සහ ජෝර්ජ් බුෂ් යුවල
මෙලනියා සහ ඩොනල්ඩ් ට්‍රම්ප් යුවල