පුත්තලම ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 11 වන දා සිට අදාළ ව්‍යාපාරිකයා අතුරුදන්ව ඇති බවට ඔහුගේ ඥාතීන් පුත්තලම පොලීසියට කළ පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශන වලින් අනතුරුවයි එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ දුරකථන ඇමතුම් විස්තර සහ සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ ලබා ගත් තොරතුරු මත අදාළ ඝාතනය පිළිබඳව අනාවරණ වී තිබුණේ ඊයේ පස්වරුවේයි.
අදාළ ව්‍යාපාරිකයා සැකකරුට රුපියල් ලක්ෂ 5ක මුදලක් පොලියට ලබාදී ඇති අතර, ඉන් කොටසක් සැකකරු විසින් නැවත ලබාදී තිබුණ ද ඉතිරි මුදල් ලබාදීම පැහැර හැර තිබුණා.
ඒ අනුව පසුගිය 11 වනදා ව්‍යාපාරිකයා පොලී මුදල් ලබා ගැනීමට සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් සැකකරුගේ නිවස තුළ දී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
පසුව සැකකරු විසින් ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයාගේ සිරුර පුත්තලම - පුලිදිවාසල් ප්‍රදේශයේ පොල් ඉඩමක වළ දමා තිබියදී පොලීසිය ඊයේ සොයා ගනු ලැබුවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම - විරුතෝඩේ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙක්.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු ද එම ප්‍රදේශයේම පදිංචි අයෙකු වන අතර, ඔහු අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.