ඝාතකයාම පොලීසියට පැමිණිලි කරලා.....
පැමිණිල්ල කළ අයගේ හැසිරීම පිළිබඳව සැකයක් ඇති වුණා.....
දේපළ තණ්හාවෙන් සුළු මව මැරූ නරුම පුතෙක් එම ඝාතනය සිදුකර දින දෙකක් ඇතුළත සිරිපාගම පොලිසියේ නිලධාරීන් හා රත්නපුර නොවිසඳුණු ඒකකයේ නිලධාරීන් එක්ව අත්අඩංගුවට ගෙන ඇත.
ඇය විශ්‍රාමික ගුරුවරියකි. අවිවාහක ඇය ඉඩකඩම් හිමි තැනැත්තියක් වන අතර මෙම ඝාතනය කළ සැකකරු කුඩා කලදීම නීත්‍යනුකූලව ලබාගෙන ඇති දැඩි කර ඇත.ටික කලකට පෙර සිට මෙම විශ්‍රාමික ගුරුවරියත් සැකකරුත් කාන්තාව සතු නිවාස දෙකක වෙන වෙනම ජීවත්ව ඇත. මෙම ඝාතනය කළ සැකකරුම සිරිපාගම පොලිසියට (12දා) පැමිණිල්ලක් කර කියා ඇත්තේ තමන්ගේ මව යම් කිසිවකු විසින් ඝාතනය කර දේපළ සොරාගෙන ගොස් ඇති බවයි.
රත්නපුර භාර නියෝජ්‍ය පොලිස්පති පද්මසිරි මුණසිංහ මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ කොට්ඨාස භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් අනුව සිරිපාගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න නානායක්කාර මහතා හා රත්නපුර නොවිසඳුණු අපරාධ ඒකකයේ නිලධාරීන් එක්ව මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ මෙම ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගැනීමටයි.
සිරිපාගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න නානායක්කාර මහතාට පැමිණිල්ල කළ අයගේ හැසිරීම පිළිබඳව සැකයක් ඇති වී ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයේ සුල මුල හෙළිවී ඇත. පොලිස් පරීක්ෂක ප්‍රසන්න නානායක්කාර මහතා මෙම ඝාතනය හා එම ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙසේ පැවැසීය.
“නියෝජ්‍ය පොලිස්පති පද්මසිරි මුණසිංහ මහතාගේ හා පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් අනුව මා අපේ නිලධාරීන් හා රත්නපුර නොවිසඳුණු අපරාධ ඒකකයේ නිලධාරීන් එක්ව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළේ මෙම ඝාතකයා නීතියේ රැහැනට කොටුකර ගැනීමටයි.
ඒ අනුව මෙම පැමිණිල්ල කළ අය පිළිබඳව ලොකු සැකයක් ඇතිවුණා. වහාම ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනය පිළිබඳව සියලු තොරතුරු ඔහු පවසා සිටියා.
ඒ අනුව ඔහුගෙන් ලද තොරතුරු මත එම තැනැත්තා පදිංචිව සිටි නිවෙසේ තිබූ මෙම ඝාතනයට යොදාගත් පොරවද ලේ තැවරුණු සරමක් හා ටී ෂර්ට් එකක්ද, එම කාන්තාවගේ නිවෙසින් හොරකම් කර රැගෙන ගොස් තිබූ ඔප්පු හා ලේඛන කිහිපයක්ද සොයා ගැනීමට හැකි වුණා.
වැඩිදුරටත් මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී පොලිසියට ඔහු පවසා ඇත්තේ මෙවැන්නකි. “හදාගත් මවට ඉඩකඩම් රැසක් තිබෙනවා. ඇය පදිංචිව සිටි නිවෙස සහිත අක්කරයක් පමණ වන ඉඩමත් මා හට ලියා දුන්නා. ඊට යාබදව ඇති ඉඩම වෙනත් අයකුට ලියා දේවි යන සැකය මත ඇය මරා ඔප්පු රැගෙන ගොස් ඒ ඉඩමත් මට අයිතිකර ගැනීමට අවශ්‍ය වුණා. ඒ නිසයි ඇයව ඝාතනය කළේ.”
34 හැවිරිදි අවිවාහකයකු වන මොහු ළඟදී විවාහවීමට අපේක්ෂාවෙන් සිට ඇති අතර මෙම සැකකරු 15 දින රත්නපුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි.
"මව්බිම"
කුරුවිට - කේ.ඒ.එස්. පියතිලක