මේ වනවිට නව උරග විශේෂ 15ක් සහ උභය ජීවී විශේෂ 11ක් ලොවට හඳුන්වා දී ඇති මෙන්ඩිස් වික්‍රමසිංහ, වසර 135කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවෙන් වඳවී ගොස් තිබූ බවට විශ්වාස කෙරුණු ජීවීන් තිදෙනකු සිය විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ නැවත ලොවට හඳුන්වා දීමටද සමත් විය.
6 ශේ්‍රණියේ සිට 11 ශේ්‍රණිය දක්වා විද්‍යා විෂය නිර්දේශයේ පරිසර අධ්‍යාපනය පිළිබඳ නව විෂය නිර්දේශයට අනුකූලව රජයේ පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය 2017-2021 යටතේ විද්‍යා ගුරුවරුන් හා ගුරු උපදේශකවරුන් දැනුවත් කිරීමේ ජාතික වගකීමද ඔහුට පැවැරී ඇත.
ඔහු යුනෙස්කෝ සංවිධානයේ මධ්‍යම කඳුකරයේ ස්වාභාවික ලෝක උරුම ව්‍යාපෘතියේ සහ ජාතික සත්ත්වෝද්‍යානයේ උපදේශකයකු ලෙසද කටයුතු කරයි.
දක්ෂ වනජීවී ඡායාරූප ශිල්පියකුද වන මෙන්ඩිස් වික්‍රමසිංහ 2016 වසරේදී ප්‍රකාශයට පත් කළ අඥනඥපබධඪපඥ නම් කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් විය.
ජෛව විවිධත්ව සංරක්ෂණය උදෙසා පිරිනැමෙන ජනාධිපති සම්මානය 2017 වසරේද වනජීවී පර්යේෂණ සඳහා පිරිනැමෙන ජනාධිපති සම්මානය 2013 වසරේදීද ඔහුට පිරිනැමිනි.
යුද්ධ හමුදාවේ කොමාන්ඩෝ බළකාය, නාවික හමුදා විශේෂ යාත්‍රා බළගණය සහ විශේෂ බළකාය (SF) ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයන්ට වනයේ නොනැසී ජීවත් වීම සඳහා අවශ්‍ය ජීවිතාරක්ෂක පුහුණුව දශකයකට අධික කාලයක් තිස්සේ ලබාදීමටද මෙන්ඩිස් වික්‍රමසිංහ දායක වී ඇත. දශක දෙකහමාරක් තිස්සේ වනජීවී පර්යේෂණ කටයුතුවල නිරත ඔහු දුෂ්කර ප්‍රදේශවල පාසල් වෙත කිසිදු මුදල් අය කිරීමකින් තොරව සිය දැනුම බෙදා දෙයි.
කළුතර, වස්කඩුවේ උපත ලබා තිස්ස මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මෙන්ඩිස් වික්‍රමසිංහ, කුඩා කාලයේදී පාසල් අධ්‍යාපන කටයුතුවලට වඩා ප්‍රිය කළේ සර්පයන්ටය. එබැවින් පාසල් කාලය තුළ ඔහු බොහෝ විට පන්ති කාමරයේ නොවීය.
වෙනස් ගති ලක්ෂණ සහිත මේ සිසුවා හට අවශ්‍ය මඟපෙන්වීම ලබාදීම නොකඩවා වසර පහක් ඔහුගේ පන්ති භාර ගුරුතුමිය වන කේ. ජයන්ති ද සිල්වා ගුරු මාතාව නොපිරිහෙළා ඉටු කළාය. සමහර අවස්ථාවන්හි පාසලෙන් හෝ අවට පරිසරයෙන් හමුවන සර්පයකු ආරක්ෂිත ස්ථානයකට මුදාහරින තෙක් ආරක්ෂාකාරීව පන්ති කාමරය තුළ රඳවා ගැනීමට ඔහුට අවස්ථාව දුන් සිද්ධි විරල නොවීය.
උසස් පෙළ සඳහා වාණිජ විෂය තෝරාගත් මේ දඩබ්බර සිසුවා අද ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ සිටින විද්‍යා ගුරුවරුන්ට මඟපෙන්වන ගුරුවරයෙකි.
“මගේ ජීවිතයේ පළමු හැරවුම් ලක්ෂ්‍යය වුණේ 1990දී විතර මම තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයට සම්බන්ධ වීම. දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වුණු තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය තුළින් මම සතුන් පිළිබඳ ක්‍රමානුකූල අධ්‍යාපනයක් ලැබුවා. එහිදී තමයි මට මගේ බිරිය “නෙතූ” මුණ ගැහෙන්නේ. පසුව මම ලෝක සංරක්ෂණ සංගමයට (IUCN) සම්බන්ධ වුණාට පසුව ජාතික මට්ටමේ පර්යේෂණවලට දායක වෙන්න අවස්ථාව ලැබීම තමයි ජීවිතයේ දෙවැනි හැරවුම් ලක්ෂ්‍යය. මට විද්‍යාත්මක ලෙස සතුන් අධ්‍යයනයට ආචාර්ය චන්න බඹරදෙණිය මහතා විශාල මඟ පෙන්වීමක් කළා” යනුවෙන් මෙන්ඩිස් වික්‍රමසිංහ බීබීසී සිංහල සේවය සමඟ සිය මතකය අවදි කළේය.
මෙන්ඩිස්ගේ සොයාගැනීම් අතරින් සුවිශේෂී ස්ථානයක් හිමි වන්නේ 2012 වසරේදී ලොවට හඳුන්වා දුන් දැනට දන්නා තොරතුරු අනුව රත්නපුර, ගිලීමලේ රක්ෂිතයෙන් පමණක් හමුවන “රන්වැල්ලගේ ගස් ගෙම්බා” හඳුන්වාදීමය. ශ්‍රී ලංකාවේ ජීවත් වූ පරිසර හිතකාමී වෛද්‍යවරයකු වූ සංජීව රන්වැල්ල සිහිවීම පිණිස එම ජීවියා නම් කිරීමට හේතුවූ කරුණ මෙන්ඩිස් මෙලෙස විස්තර කළේය.
“සංජීව අයියගේ පළමු පත්වීම රත්නපුර, ගිලීමලේ රෝහල. ඒ නිසා දවසක් අපි ගිලීමලේ රක්ෂිතයේ ඇවිද යනකොට තමයි මේ අලුත් උභය ජීවියා මුලින්ම දැක්කේ. මෙම සොයා ගැනීම ලෝකයට හඳුන්වා දෙන දවස වෙනකොට සංජීව අයියා ජීවතුන් අතර නෑ. ඒ වගේම එදා ඒ ගමනට එකතු වුණු ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාසත් ජීවත් වෙලා හිටියේ නෑ” යනුවෙන් ඔහු වේදනාබරව පැවැසුවේය.
රන්වැල්ලගේ ගස් ගෙම්බාගේ චර්යාව පිළිබඳ අධ්‍යයනයේදී නෙතූ වික්‍රමසිංහටද ජීවිතයේ කිසිදා අමතක නොවන අත්දැකීමක් ලැබී තිබේ. ඒ ඇය මහ කැලයේ තනිකර මෙන්ඩිස් ගෙම්බන් පසුපස ගිය කතාවකි.
මෙන්ඩිස්ට බිරිය සමඟ කැලයට ඇතුළු වූ බව මතක් වී තිබුණේ පසුදා උදෑසනය. පර්යේෂණ කටයුතු සඳහා මහ වනයේ දින ගණන් දුෂ්කර ජීවිතයක් ගෙවූ නෙතූ සිය හඬ මෙලෙස අවදි කළාය.
“ගිලීමලේ කැලේදී රෑ 10ට විතර ගෙම්බන් කෑ ගහන සද්දය ඇහුණා. මට හෙල්ලෙන්නේ නැතුව ඔහොම ඉන්න කියලා මෙන්ඩිස් කැලය ඇතුළට ගියා. තනිකරම කළුවරයි. දැන් රෑ 12යි. පාන්දර එකයි, බැරිම තැන මම එහෙම්ම ඉඳගත්තා. බිම තෙතමනයකුත් දැනුණා. අෑතින් වතුර පාරක් ගලාගෙන යන සද්දයකුත් ඇහුණා. මට එතන නින්ද ගිහින් තිබ්බා. උදේ හයට විතර තමයි මෙන්ඩිස් ඇවිත් නෙතූ අපි යං කිව්වේ. ඒ වෙලාවේ තමයි එයාට මතක් වෙලා තියෙන්නේ බිරියත් එක්ක ආපු බව” යනුවෙන් නෙතූ පැවැසුවාය.
මෙන්ඩිස් වික්‍රමසිංහ සහ නෙතූ විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ ලෝකය ජය ගත්තද සිය දරුවන් පාසල් යවන්නේ නැත.
සිය දරුවන්ට සොබාදහම තුළින් ජීවිතාවබෝධය සහ නව ලෝකයේ දැනුම ලබා දෙන මේ සුවිශේෂී විද්‍යාඥ යුවළ වත්තල ප්‍රදේශයේ වාසය කරයි.
විද්‍යාව හා විද්‍යාත්මක ලෝකය සමඟ ගනුදෙනු කළද ඉතා සරල දිවිපෙවතක් ගත කරන මේ විද්‍යාඥ පවුල විශේෂයෙන් සර්පයන් හා උභය ජීවීන් පිළිබඳ පර්යේෂණ කටයුතු සිදු කරයි.
මෙන්ඩිස් ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් සොයාගනු ගනු ලබන සතුන් නව විශේෂ බවට තහවුරු කිරීමට අදාළ ජාන විද්‍යාත්මක පර්යේෂණ නෙතූ සිදු කරන්නීය.
ඔවුන්ට අමත සහ ගගන නමින් පුතුන් දෙදෙනෙක් හා අරංගා නමින් දියණියක් සිටිති. අවුරුදු දෙකක් වයසැති කුඩා දියණියටද සර්පයන් හුරුය. එම දැරිය සර්පයන් ස්පර්ශ කරන අයුරු ඉතා විස්මයජනකය.
එමෙන්ම දවසේ වැඩි කාලයක් සර්පයන් හා උභය ජීවීන් සමඟ ගත කරන පුතුන් දෙදෙනාද මෙන්ඩිස් සමඟ දුෂ්කර ප්‍රදේශවලට ගොස් සර්පයන් පිළිබඳ දේශන සඳහා සහභාගි වෙති.
බොහෝ දෙනා සර්පයන් ගැන කරුණු හරියාකාරව නොදන්නා නිසා ගැර¾ඩියකු දුටු විටද අප්‍රසන්න බවක් හා බියක් ඇති කරගන්නා නමුත් සර්පයන් කිසිදු චකිතයකින් තොරව ඇල්ලීමට අමත සහ ගගන සමත් වෙති.
අමත සහ ගගන දරු දෙදෙනා බොහෝ විට නිවෙසේ නැත. ඒ වටපිටාවේ හූනන්, හිකනලයන්, ගෙම්බන්, පණුවන් හෝ වෙනත් සතුන් සොයාගෙන යන නිසාය. මේ පුංචි විද්‍යාඥයන් වටපිටාවෙන් ගෙදරට රැගෙන ආ සත්ත්ව විශේෂ තුනක් ලෝකයට අලුත් සතුන්ය. උන් විද්‍යාත්මක ලෝකයට හඳුන්වා දීමේ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.
“මගේ දරුවෝ තරගකාරී පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව තමයි අධ්‍යාපනය ලබන්නේ. දෙන්නම නිදහසේ ඉගෙන ගන්නවා. ගෙදරට පොල් කඩන්න කවුරු හරි ආවොත් මේගොල්ලෝ ඒ අයගෙන් වුණත් ජීවිතයේ අරුත ඉගෙන ගන්නවා. ඔය වගේ විධියට තමා ඉගෙන ගන්නේ,” යනුවෙන් මෙන්ඩිස් පවසද්දී නෙතූ ඒ කතාව මෙසේ විස්තර කළාය.
“අද අපේ අධ්‍යාපන ක්‍රමය තුළ තියෙන්නේ දැඩි තරගකාරී තත්ත්වයක්. ඒ තුළ ළමයි ආත්මාර්ථකාමී පැත්තටයි යන්නේ. අපේ ළමයින්වත් ඒ පැත්තට ඇදලා දාලා ඔවුන්ගේ නිදහස නැති කරන්න, ළමා කාලය උදුරගන්න අපට ඕන නෑ. දරුවකු දැනුමින් සන්නද්ධ කරන්න ඕන වෙලාවක පුළුවන්. ඒත් හැකියාවෙන් හා ආකල්ප එහෙම දෙන්න බෑ” යන්න නෙතූගේ අදහසයි.
ඇය වැඩිදුරටත් පැවැසුවේ, තමන්ගේ දරුවා “ලොකු මිනිසකු” කිරීමට බොහෝ මවුපියන් උත්සාහ කළද හොඳ මිනිසකු කිරීමට එතරම් උත්සාහයක් නොගන්නා බවය.
මෙන්ඩිස් සහ නෙතූ දරුවන්ට මඟ පෙන්වන්නේ රැකියාවක් නොකර තමා කැමැති ක්ෂේත්‍රය විනෝදාංශයක් කරගෙන ඉන් සමාජ මෙහෙවරක්ද සිදුකරමින් ආදායම් මාර්ගයක් සලසා ගන්නා ආකාරය පිළිබඳවය.
මේ ප්‍රකාශය ඇසෙත්ම මා හට පෙරළා ප්‍රශ්නයක් පැනනැඟිණි. ඒ දරුවන්ට මේ ක්‍රමය තුළ හොඳ අධ්‍යාපනයක් ලැබෙන බවට ඔවුන්ට ඇති සහතිකය කුමක්ද යන්නය. ඊට පිළිතුරු ලැබුණේද දරුවන්ගේ අම්මාගෙන්ය. “ඒ ගැන පොඩ්ඩක්වත් බයක් නෑ. හොඳම උදාහරණය තමයි මෙන්ඩිස් අයියා. බලන්න අද එයා ඉන්න තැන” යනුවෙන් ඇය පැවැසුවේ දැඩි විශ්වාසයකිනි.
“සහතික තියාගෙන ප්‍රායෝගිකව වැඩක් කරන්න බැරි කී දෙනෙක් දවසකට ඔබට හමුවෙනවාද? උදාහරණයක් විධියට නිසි කලෙක වර්ෂා වනාන්තරයකට නොගිය ගුරුවරයෙක් ඔහු මවා ගත් චිත්ත රූප ඔස්සේ, සිංහරාජ වනාන්තරය ගැන එහි කවදාවත් නොගිය ළමයකුට විස්තර කරද්දී ඒ දරුවා වටහා ගන්නේ මොන වගේ දෙයක්ද? අපි ළමයින්ට දිය යුත්තේ ප්‍රායෝගික අධ්‍යාපනයක්” යනුවෙන් නෙතූ පැවැසුවාය.
ශ්‍රී ලංකාවේ වනජීවී පර්යේෂණ ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳවද මෙන්ඩිස් වික්‍රමසිංහ බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වීය. එහිදී ඔහු පෙන්වා දුන්නේ පර්යේෂණ කළ යුතු සත්ත්ව කාණ්ඩ සිටියද ඒ ගැන උනන්දුව හා කැපවීම ඇති පිරිස හිඟ බවය.
“උදාහරණයක් විධියට පත්තෑයෝ, කූඹි, හැකරැල්ලෝ, කඩි, දිමි, සළඹයෝ ගැන කවුරුවත් වැඩ කරන්නේ නෑ. අලුතෙන් පිරිස් එනවා. ඉක්මන් ගමනක් යන්න ගිහින් ඒ අය ගමන කෙටි කර ගන්නවා. ඒක හොඳ ප්‍රවණතාවක් නොවේ. නමුත් දැනට වැඩ කරන ටික හරියට ඒ වැඩ ටික කරගෙන යනවා.”
දුලාන් රංග විදානපතිරණ, ගිහාන් රජිව් යන අයද මෙන්ඩිස් හා නෙතූගේ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයන්ය. එමෙන්ම ආචාර්ය චන්න බඹරදෙණිය, ආචාර්ය ඩේවිඩ් ගවර්, ආචාර්ය සමීර සමරකෝන් සහ මහාචාර්ය කමනි තෙන්නකෝන් යන පිරිසද ඇතැම් පර්යේෂණ කටයුතු සඳහා දායකත්වය සපයති.
මෙන්ඩිස් වික්‍රමසිංහගේ පර්යේෂණවලින් අත්වී ඇති ප්‍රතිඵල
ශ්‍රී ලංකාවෙන් නව ජීව විශේෂ ලොවට හඳුන්වා දීම නිසා ලංකාවේ ජෛව විවිධත්වයේ වටිනාකම ඉහළ ගියේය.
ශ්‍රී පාද අඩවියේ සිදුකළ පර්යේෂණවලදී නව ජීවීන් අට දෙනකු හඳුන්වා දීමේ දත්ත පදනම් කරගෙන ශ්‍රී පාදයේ මාර්ග ව්‍යාපෘතියක් හා හෙලිකොප්ටර් ගොඩබස්වන ස්ථානයක් ඉදිකිරීමේ සැලැස්ම අත්හිටුවන ලදී.
මුළු ලොවින්ම රත්නපුර, ගිලීමලය රක්ෂිතයේ පමණක් දක්නට ලැබෙන “රන්වැල්ලගේ ගස් ගෙම්බා” සොයා ගැනීමට අදාළ පර්යේෂණ දත්ත මත රත්නපුරයේ ගංවතුර පාලනයට මල්වල ප්‍රදේශයේ බැම්මක් ඉදිකිරීමේ තීරණය වෙනස් කිරීමට සමත් විය.
වෙඩිතලතිව් අභය භූමියට හානිදායක ඉස්සන් කොටු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ඔවුන්ගේ පර්යේෂණ ඉවහල් විය.
රක්ෂිත ප්‍රදේශ ගැසට් කිරීමට මෙන්ම ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් රැම්සා තෙත් බිම් ප්‍රකාශයට පත් කිරීමේදීද මෙන්ඩිස් වික්‍රමසිංහගේ පර්යේෂණ දත්ත ප්‍රයෝජනයට ගන්නා ලදී.
(උදාහරණ - බුන්දල,කුමන, ආනවිලුන්දාව යන රැම්සා තෙත් බිම්)