කොත්මලා ඔයට ජලය සැපයෙන ඇල මාර්ගයක තිබී මෙම සිරුර හමුවූ බවයි හිරු හැටන් වාර්තාකරු සඳහන් කළේ.
පාසල නිමවී යළි නිවෙස් වෙත පැමිණෙමින් සිටියදී සිසුවියන් දෙදෙනෙකු ජල පහරට හසුව අනතුරට ලක්වූ අතර, එක් සිසුවියගේ සිරුර ඊයේ පස්වරුවේම සොයා ගනු ලැබුවා.
අධික වර්ෂාපතනය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගයේ ඔරුතොට ප්‍රදේශයේදී යතුරුපැදියක් මතට ගසක් කඩා වැටීමෙන් ඊයේ රාත්‍රියේ 29 හැවිරිදි පුද්ගලයෙකු ද ජීවිතක්ෂයට පත්වුණා.
මේ අතර, ලක්ෂපාන, කුකුළේගඟ, ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු කිහිපයක් ද මේ වනවිට විවෘත කර තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කැළණි, කළු, ගිං, නිල්වලා, කිරිඳිඔය, මාදුරුඔය, යාන් ඔය ඇතුළු ගංඟා සහ අතු ගංඟාවල ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි.
මේ අතර, ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ රත්නපුර ප්‍රදේශයට බලපා තිබූ ගං වතුර අවදානම මේ වන විට සුළු අඩුවීමක් දක්නට ලැබෙන බවයි.
ගාල්ල වරාය ආසන්නයේදී අයහපත් කාලගුණයත් සමඟ ග්ලෝරි - 2 - ගෝ නැමති යාත්‍රාව අනතුරට ලක්වූ අතර, එහි සිටි නැවියන් 09 දෙනෙකු නිරුපද්‍රිතව මුදා ගැනීමට නාවික හමුදාව ඊයේ කටයුතු කළා.
කෙසේ වෙතත්, එම යාත්‍රාව තවදුරටත් එම ස්ථානයේම රැදී තිබෙන අතර එය ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළේ.
මේ අතර, අද උදෑසන 8.30න් අවසන් වූ කාලසීමාව තුළ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය - ඩන්කිල් වතුයායට ලැබී තිබෙනවා.
එය මිලිමීටර් 251.5ක්. කැනියොන් ප්‍රදේශයට මිලිමීටර් 248.5ක්, නොර්ටන්බිජ් ප්‍රදේශයට මිලිමීටර් 246.7ක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, අධික වර්ෂාව සහ සුළං සමඟ ගස් කඩා වැටීම හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක විසන්ධි වී තිබූ විදුලිබලය ද යථා තත්ත්වයට පත් කරමින් සිටින බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.
කෙසේ වෙතත්, වැසි සහ සුළං සහිත කාලගුණය අදත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
විශේෂයෙන් බස්නාහිර, දකුණ,මධ්‍යම, සබරගමුව ඇතුළු පළාත් කිහිපයකට පැයට කිලෝමීටර් 70ත්, 80ත් අතර තද සුළං ඇති විය හැකියි.
මධ්‍යම, සබරගමුව පළාත් මෙන්ම කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මීලිමීටර් 150 දක්වා ඉතා තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ.