ආණ්ඩුවට එරෙහිව තමන් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වූවද, තවදුරටත් ජනතා විරෝධී ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
ඔවුන් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ඊයේ වැඩි ඡන්ද 27 කින් පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වූ අතර, විපක්ෂව ඡන්ද 119 ක් සහ පක්ෂව ඡන්ද 92 ක් හිමිවුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ඒකාබද්ධ විපක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළා.
ආණ්ඩුව සමඟ එක්ව දෙමළ ජාතික සන්ධානය ඡන්දය භාවිත කළේ යෝජනාවට විපක්ෂවයි.
මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ සිට පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඒකාබද්ධ විපක්ෂය සමඟ එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් ආනන්ද අළුත්ගමගේ හැර අන් කිසිදු මන්ත්‍රීවරයෙකු ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ නොසිටි බව සඳහන්.
ඒ අනුව, දුනේෂ් ගන්කන්ද සහ අශෝක ප්‍රියන්ත ඡන්ද විමසීමට සහභාගි වූයේ නැහැ.
එමෙන්ම, නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මෙන්ම මහින්ද සමරසිංහ සහ විජේදාස රාජපක්ෂ යන මන්ත්‍රීවරුන්ද ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ඩග්ලස් දේවානන්දා, චන්ද්‍රසිරි ගජධීර, එස්.බී. නාවින්න, මොහාන් ලාල් ගේ‍්‍රරු, ශිවශක්ති ආනන්දන් සහ රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන්ද ඡන්ද විමසීමට එක්ව සිටියේ නැහැ.
විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීමෙන් අනතුරුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ සිය ජයග්‍රහණය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා.