"සමහර දාට මටත් දැන් ඉඳලා වැඩක් නැහැ කිය කියා තනියම අඬනවා.."
"දැන් අවුරුදු එකහමාරකට විතර උඩදී වස බීලත් අමාරුවෙන් තමයි බේරා ගත්තේ.."
සිය බිරිඳ මියගිය ශෝකයෙන් සිත් තැවුලට පත් අසූ දෙහැවිරිදි පුද්ගලයකු දඹුල්ල, රත්මල්ගහඇල මහවැවට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල රත්මල්ගහඇළ පදිංචි කුඩාබාලගේ පියසේන නමැති තිදරු පියෙක් බවයි සදහන් වන්නේ. ඔහු දහවල් සිට නිවසින් අතුරුදන්ව සිට ඇති අතර පසුව ඔහුගේ සෙරෙප්පු යුගලක් එම වැවේ නාන තොටුපළ අසල තිබීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දියයට කිමිදී කළ සොයා බැලීමේදී මළ සිරුර හමුවී ඇති බවයි පැවසෙන්නේ.
මෙම මරණය පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණය දඹුල්ල නාගරික හදිසි මරණ පරීක්‍ෂක ඩී. ඩබ්ලිව්. ඡේ. බණ්‌ඩාර මහතා ඉදිරියේ දඹුල්ල මූලික රෝහලේදී පැවැති අතර එහිදී සාක්‍ෂි දුන් මියගිය තැනැත්තාගේ පුත්‍රයා වන කුඩාබාලගේ නිමල් දයාවංශ (50) නමැත්තා කියා සිටියේ,
"මේ මියගියේ මගේ තාත්තා. මට අක්‌කලා දෙන්නෙක් විතරයි ඉන්නේ. අපි හැමෝම විවාහකයි. මට පාසල් යන දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ තාත්තා කලින් රැකියාවට කළේ වඩු කර්මාන්තයයි. දැන් වසර හතරකට විතර උඩදී මගේ අම්මා මියගියා. මගේ අම්මයි තාත්තයි ගොඩාක් ආදරෙන් හිටියේ. අම්මා මියගියාට පස්‌සේ තාත්තා ගොඩාක්‌ම කලකිරීමට පත්වුණා. සමහර දාට මටත් දැන් ඉඳලා වැඩක් නැහැ කිය කියා තනියම අඬනවා. දැන් අවුරුදු එකහමාරකට විතර උඩදී වස බීලත් අමාරුවෙන් තමයි බේරා ගත්තේ.
සිද්ධිය වූ දින මමයි බිරිඳයි දෙන්නා වැඩට ගියා. දරුවෝ දෙන්නා පාසල් ගියා. තාත්තා දවල්ට තනියමයි ගෙදර ඉන්නේ. දුව පාසල් ගිහින් ඇවිත් බලද්දී මගේ තාත්තා ගෙදර ඉඳලා නැහැ. හවස තුන විතර වෙනකම් බලලත් ඒත් නැති නිසා අපේ තාත්තගේ නංගිලාගේ ගෙදරට ගිහින් කියලා, මට නැන්දා කෝල් කරලා ඒ බව කිව්වා. මම ඒ ගමන්ම ගෙදර එනකොට ගමේ අය හැම තැනම තාත්තා හොයනවා. අපි වැව්පිටිවල කැලෑ රොදවල්වලත් තාත්තා හෙව්වත් හම්බ වුණේ නැහැ. ඒ නිසා පැමිණිල්ලක් දාන්න පොලිසියට ගිහින් ඉන්න කොට තමයි ආරංචි වුණේ තාත්තාගේ මළ සිරුර රත්මල්ගහඇළ මහවැවේ තිබිලා හම්බවුණා කියලා. නාන තොටුපළේ තාත්තාගේ සෙරෙප්පු දෙක රෑ වෙන තුරු තිබුණු නිසා තමයි කට්‌ටිය එතනින් වැවට බැහැලා හොයලා තියෙන්නේ. මට තාත්තාගේ මරණය ගැන කිසිම සැකයක් නැහැ. තාත්තාට තිබුණු මානසික පීඩනය නිසාම වැවට පැනලා මිය යන්න ඇති කියලා මම හිතනවා..."
මෙහිදී මියගිය තැනැත්තාගේ දියණියක වන කුඩාබාලගේ විමලා චාන්දනී නමැත්තිය ද මෙහිදී සාක්‍ෂි ලබා දී තිබෙනවා.
මෙම මරණය පිළිබඳ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්‍ෂණය දඹුල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඒ මේනගාන්ත් මහතා විසින් සිදුකළ අතර ඉදිරිපත් වූ සාක්‍ෂි හා පශ්චාත් මරණ වෛද්‍ය පරීක්‍ෂණ වාර්තා සසදා බැලූ දඹුල්ල නාගරික හදිසි මරණ පරීක්‍ෂක ඩී. ඩබ්ලිව්. ඡේ. බණ්‌ඩාර මහතා මෙය රත්මල්ගහඇළ මහවැවේ දියේ ගිලී හුස්‌ම හිරවීමෙන් සිදුවූ හදිසි මරණයක් බවට නිගමනය කර තිබෙනවා.