Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
10
ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්‌ෂේප කළ මහා දාර්ශනික සොක්‍රටීස්ගේ නොදත් කතාව - Photos

- ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්‌ෂේප කළ මහා දාර්ශනික සොක්‍රටීස්ගේ නොදත් කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,809 Views
ඔහු ලෞකික දේ කෙරෙහි ඇල්මක්‌ නොවූ අයෙක්....

නිසොල්මනේ පැය ගණනක්‌ කල්පනාවේ නිමග්නව සිටිනවා....

ග්‍රීක දර්ශනය ආරම්භ වන්නේ සුළු ආසියාවේ මිලෙටස්‌ නම් නගරය කේන්ද්‍ර කරගෙන ක්‍රි.පූ. 6 වන ශතවර්ෂයේදී පමණ ය. ග්‍රීක දර්ශනයේ පළමු දාර්ශනිකයා ලෙස සැලකෙන තේල්ස්‌ගේ පටන් මැසිඩොනියාවේ මහා ඇලෙක්‌සැන්ඩර් රජුගේ ගුරුවරයා බවට අත්වූ ඇරිස්‌ටෝටල් දක්‌වා කාලය තුළ ලෝකයට ඉතාමත් උසස්‌ සහ ඵලදායී දාර්ශනික මතවාදයන් බිහිවිය.

සොක්‍රටීස්‌, ග්‍රීක දර්ශනයේ මුල් අවධියේ හමුවන්නා වූ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයන් කීපදෙනා අතරින් එක්‌ අයෙකි. ඔහුට පෙර සිටි දාර්ශනිකයන් විශ්වයේ පැවැත්ම සහ ක්‍රියාවලිය කෙරෙහි තම අවධානය යොමු කළත්, ඉන් ඔබ්බට ගොස්‌ ආචාරධර්ම පිළිබඳව, එනම් වඩාත් පැහැදිලිව දක්‌වන්නේ නම් මිනිසාගේ හැසිරීම කෙබඳු විය යුතුද යන්න පිළිබඳව අදහස්‌ ඉදිරිපත් කිරීමට යොමු විය.

ඔහු ඉදිරිපත් කරන අර්ථයෙන්, ආචාරධර්ම (Ethics) පිළිබඳ අදහස්‌ සහ පැවැත්ම (conduct) පිළිබඳව අදහස්‌ අදටත් ලොව පුරා සාකච්ඡාවට බඳුන් වෙන අතරම මෙතෙක්‌ කාලයක්‌ බටහිර දර්ශනයේ වර්ධනයට අතිමහත් බලපෑමක්‌ කිරීමටද සමත් වී තිබේ.

ප්ලේටෝගේ ඇපොල නම් සංවාදයට අනුව සොක්‍රටීස්‌ ඉපදෙන්නේ ක්‍රි.ව. 470 දී ය. ඔහු ස්‌වභාවයෙන්ම තේරුම් ගැනීමට අපහසු චරිතයක්‌ වූ අතර ඔහු තරුණ කාලයේදී එක්‌තරා ගුප්ත හඬක්‌ ඔහුට ඇසෙන බව ඔහු විශ්වාස කළේ ය. ඔහු ලෞකික දේ කෙරෙහි ඇල්මක්‌ නොවූ අයෙකි. එකම වර්ගයේ ඇඳුම් පැළඳුම් අඳිනු ලැබූ ඔහු ශීත සෘතුවේදී පවා ඒ ඇඳුමට අමතරව කිසිදු විශේෂිත ඇඳුමක්‌ පාවිච්චි නොකළ බව කියෑවේ.

විටෙක නිසොල්මනේ පැය ගණනක්‌ කල්පනාවේ නිමග්නව සිටින සොක්‍රටීස්‌ අනතුරුව සාමාන්‍ය පරිදි තම කටයුතු සිදුකළ බව ප්ලේටෝ තම සංවාදවල සඳහන් කර තිබේ. සොක්‍රටීස්‌ තම අදහස්‌ කිසි දිනෙක ලියා තැබුවේ නැත. එනිසා ඔහුගේ දාර්ශනික අදහස්‌ අධ්‍යනයට නම් ප්ලේටෝගේ සංවාද වෙත යොමු විය යුතු ය.

ප්ලේටෝ යනු සොක්‍රටීස්‌ගේ ශිෂ්‍යයෙක්‌ වූ අතර ඔහුගෙන් පසුව ග්‍රීක දර්ශනයේ වඩාත් වැදගත් මෙන්ම වටිනා දාර්ශනික අදහස්‌ ගෙන දැක්‌වූ දාර්ශනිකයෙකි.

සොක්‍රටීස්‌ට අනුව දර්ශනයේ අරමුණු විය යුත්තේ පරම ඥානය (absolute knowledge) සහ පරම සාධූත්වය (absolute goodness) යන ඒවා ළඟාකර ගැනීමයි. එනිසා සොක්‍රටීස්‌ගේ මාර්ගය නිරන්තරයෙන් යොමු වූයේ ඥානය සහ සර්ව සාධාරණත්වය කේන්ද්‍ර කරගෙන ය. ඔහු කිසිවිටෙක තමා ලබාදුන් දැනුමට මුදලක්‌ අය කළේ නැත.

එකල සිටි විතණ්‌ඩවාදීන් විසින් සදාචාරය සාපේක්‌ෂ අර්ථයකින් ('man is the measure of all things') ගෙනහැර දැක්‌වූවත්, එම සංශයවාදී (skeptic) සහ නාස්‌තිකවාදී (nihilistic) අදහස්‌ නිවැරදි නොවන බව තරුණ සමාජයට පහදා දීමට සොක්‍රටීස්‌ට අවශ්‍ය විය. සොක්‍රටීස්‌ මුළුමනින්ම අවංක සහ සත්‍යවාදී පුද්ගලයෙක්‌ විය. නමුත් අවසානයේ ඇතැන්ස්‌ සමාජය ඔහුගේ සත්‍යවාදීබවට කෘතගුණ සලකන්නේ ඔහු මරණයට කැපකරමින් ය.

සොක්‍රටීස්‌ සඳහන් කරන ආකාරයට සද්භාවය යන්න මූලිකවම දැකගත හැක්‌කේ භෞතිකමය අභිලාශයන් මුදුන්පමුණුවා ගැනීම තුළ නොව, මනුෂ්‍ය සහසම්බන්ධතා, ප්‍රේමය, මිත්‍රත්වය වැනි දේ මතයි. සොක්‍රටීස්‌ යනු පළමුවරට දර්ශනයට ප්‍රායෝගික සහ දේශපාලනිකමය ස්‌වරූපයක්‌ ලබාදුන් දාර්ශනිකයා ද වන්නේ ය. එනම් ඔහුට පෙර දර්ශනය කේන්ද්‍රගත වූයේ පාරභෞතිකවාදය (metaphysics), ආගම (religion), සහ විද්‍යාව වැනි විෂයන් වෙත වුවත්, සොක්‍රටීස්‌ පළමු වතාවට දර්ශනය විෂය මනුෂ්‍යයා පදනම් කරගත් දැනුමක්‌ බවට පෙරලීය. එපමණක්‌ නොව සොක්‍රටීස්‌ගේ ඉගැන්වීම් ප්ලේටෝවාදය (Platonism), ස්‌ටොයික්‌වාදය (Stoicism) වැනි දර්ශනවාදයන්ගේ සහ දාර්ශනික ගුරුකුලවල පසුබිම සකස්‌කරදීමට ද සමත් වී තිබේ.

සොක්‍රටීස්‌ගේ ආචාරධර්ම පිළිබඳ ඉගැන්වීම්

සොක්‍රටීස්‌ විශ්වාස කළ ආකාරයට, දර්ශනයේ ප්‍රධාන අරමුණක්‌ විය යුත්තේ මිනිසා තම ජීවිතය ගෙවිය යුත්තේ කෙසේද? කුමන ආකාරයේ ක්‍රියාවන් වඩා යහපත් ද? පුද්ගලයන් ප්‍රජාවක්‌ තුළ හෝ රාජ්‍යයක්‌ තුළ එකට එක්‌ව ජීවත් විය යුත්තේ කෙසේ ද වැනි ගැටලුවලට පිළිතුරු සෙවීමයි. මේ සඳහා සොක්‍රටීස්‌ තමා විසින්ම නිර්මාණය කරගත් ක්‍රමවේදයක්‌ අනුගමනය කළේ ය.

ඒ හරහා ඔහු සදාචාර සම්පන්න සහ ආචාරධර්මීය චර්යාවන් යන්න නිර්වචනය කිරීමට උත්සහ කළේ ය. ඔහුගේ මතය අනුව, ඥානය ළඟා කරගැනීම සඳහාත් යහපත් ආචාරධර්මික පුද්ගලයෙක්‌ බවට පත්වීම සඳහාත් නිවැරදිම ක්‍රමවේදය වූයේ, විෂයික මූලධර්මයන් පිළිබඳව විවිධ පුද්ගලයන් සමඟ අර්ථසම්පන්න සාකච්ඡාවල නිරත වීමයි. සොක්‍රටීස්‌ වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ ඔහුගේ මෙම ක්‍රමවේදය නිසා ය. ඔහු ඇතැන්ස්‌ නගරයේ වෙළඳපළ ආශ්‍රිතව සාමාන්‍ය ජනයා සමඟ ඉතා දිගු සාකච්ඡාවල නිරත විය.

ඔවුන් සමඟ යුක්‌තිය, යහපත හා සදාචාරය වැනි මාතෘකා පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළේ ය. මේ ක්‍රමය ‘dialect' නම් විය. මෙමගින් දාර්ශනික ගැටලු පිළිබඳ සාකච්ඡාව තනි පුද්ගල ප්‍රකල්පනයකට (contemplation) වඩා ඉහළ මට්‌ටමක තත්ත්වයකට පත් විය.

සොක්‍රටීස්‌ ඥානය, සද්ගුණය සමඟ සමානකොට දක්‌වයි. එනම් 'ඥානය සද්ගුණය වන අතර, සද්ගුණය ඥානයයි' (knowledge is virtue, virtue is knowledge). මෙමගින් ඔහු ඥානය/සද්ගුණය මගින් ආචාරධර්මික පැවැත්ම ඇතිවන බව දක්‌වයි. එමෙන්ම ඔහු ජීවත් වීම සඳහා සුදුසු වන්නාවූ ප්‍රතිපත්තීන් සහ ක්‍රියාවන් පිළිබඳව අදහස්‌ ඉදිරිපත් කරයි. එමගින් තීරණ ගත යුත්තේ ආචාරධර්මමය පදනමක්‌ මත පිහිටාගෙන ය. ඔහු විශ්වාස කළ ආකාරයට, පුද්ගලයෙකුට සතුටින් ජීවත් වීමට නම් සද්භාවය පිළිබඳ ඥානය පමණක්‌ ප්‍රමාණවත් ය.

එනම් සද්භාවය පිළිබඳ අවබෝධයකින් පසුවීමයි. ඔහු දක්‌වන පරිදි යහපත පිළිබඳ වූ ඥානය සැමවිටම සමානවන්නේ ඉහළ අධ්‍යාත්මික මට්‌ටමකට ය. ඔහුට අනුව කිසිදු පුද්ගලයෙක්‌ තම ජීවිතයේ වටිනාකම පිළිබඳව හොඳින් අවබෝධයෙන් සිටින්නේ නම් කිසිදු විටෙක තවත් අයෙකුට ස්‌ව-කැමැත්තෙන් හානියක්‌ කිරීමට උත්සහ දරන්නේ නැත.

සද්භාවය හෝ සතුට යන්න පුද්ගලයෙකුගේ සම්බන්ධතාවල යහපැවැත්ම මත පදනම් වන බව සොක්‍රටීස්‌ගේ ඉගැන්වීමයි. එනම් එම සම්බන්ධතාවන් ඥානය සමග සම්බන්ධ විය යුතු ය.(ඉහතින් දැක්‌වූ පරිදි) සාමාන්‍ය පුද්ගලයන් දක්‌වන පරිදි යහපත් යනු, සෞඛ්‍ය, ධනය, රූමත්බව, සහ ගුණධර්ම ආදියයි. ඒවා සාමාන්‍ය මනුෂ්‍යයා අවබෝධ කරගන්නේ සද්භාවය හා සම්බන්ධ කරගෙනයි. නමුත් සොක්‍රටීස්‌ට අනුව මෙම සෞඛ්‍ය, ධනය, රූමත්බව ආදිය මනුෂ්‍යයෙකුට අත්‍යවශ්‍ය ලෙස ප්‍රයෝජනවත් නොවේ.

මෙය වඩාත් පැහැදිලි කරන්නේ නම්, එවැනි තත්ත්වයන් ඥානය සමග සම්බන්ධ නොවී ඉදිරිපත් කෙරෙන විට එය මනුෂ්‍යයාට හානිදායක විය හැකි ය. එසේ නම් සත්‍යවශයෙන්ම යහපත යන්න ප්‍රයෝජනවත් විය යුතු ය.

එනිසා සාමාන්‍ය ලෝකය තුළ යහපත් යෑයි ගැනෙන බොහෝ දේ ප්‍රයෝජනවත් නොවන නිසා එය සැමවිටම යහපත් නොවේ. සොක්‍රටීස්‌ පවසන පරිදි නිරන්තරයෙන් ප්‍රයෝජනවත් සහ යහපත් වන්නේ ඥානය පමණි.

සොක්‍රටීස්‌ පැවසුවේ මනුෂ්‍යයා තුළ ස්‌වභාවයෙන්ම සද්ගුණය පවතින බවයි. එනම්, සද්ගුණය මගින් සෑම පුද්ගලයෙක්‌ තුළම සදාචාරය ඇතිකරන බවකි. එසේ නම් සදාචාරය සෑම කෙනෙකුටම පොදු තත්ත්වයකි. ඔහු දක්‌වන ආකාරයට යමෙක්‌ දාර්ශනිකයෙක්‌ නම්, ඔහු සිදුකළ යුත්තේ ඉහත කී සහජ තත්ත්වයන් සාමාන්‍ය ජනයාට පැහැදිලිකොට ඥානය ප්‍රචලිත කිරීමයි. එසේනම් ඥානය නිරන්තරයෙන් ඉන්ද්‍රිය මූලික නොවිය යුතු ය.

මේ නිසා, ඥානය. යන්න ආත්මීය ස්‌වභාවයෙන් මුද්වාගෙන එය විෂය මූලික සහ වාස්‌තවික තත්ත්වයක්‌ යටතට ගෙන ඒමට සොක්‍රටීස්‌ උත්සහ කළේ ය. සොක්‍රටීස්‌ගේ දර්ශනයට අනුව ඥානය ඉන්ද්‍රිය මූලික නොවේ. පවතින ඕනෑම යමක්‌ වේ නම් එය බුද්ධිමය තත්ත්වයක්‌ පමණක්‌ වේ. මෙහිදී ඥානය බුද්ධිමය තත්ත්වයක්‌ යටතට ගැනීම යනු ඥානය, ගණිතය. බවට පත්වීම නොවේ. එනම් ඥානය යනු ගණිතය නොවේ. එයට හේතුව ඥානය යනු සද්භාවය නම්, සද්භාවය යනු ගණිතය වීමට නොහැකි නිසාවෙනි. සොක්‍රටීස්‌ට අනුව සෑම පුද්ගලයෙක්‌ටම ඉන්ද්‍රියගෝචර අංශයකුත්, බුද්ධිගෝචර අංශයකුත් පවතී. මේ නිසා ඔහු සෑමවිටම ඉන්ද්‍රියගෝචර තත්ත්වයන්ට අනුකූල නොවිය යුතු ය. එනම්, ඔහුට බුද්ධියක්‌ පවතී. එහිදී මනුෂ්‍යයා ඉන්ද්‍රියගෝචරව ලබාගන්නා සංවේදනයන් ඥානය නොවේ. ඔහුට අනුව 'සියලු ඥානය වන්නේ සංකල්පයන්ගෙන් ලැබෙන ඥානයයි).

ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්‌ෂේප කිරීම

ප්ලේටෝගේ 'The Republic' ග්‍රන්ථය අනුව සොක්‍රටීස්‌ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්‌ෂේප කළ අයෙකි. සොක්‍රටීස්‌ දක්‌වන්නේ රාජ්‍ය පාලනය කළ යුත්තේ දාර්ශනිකයන් විසින් බවයි. ඇතැන්ස්‌ නගරයේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක්‌ නොව දාර්ශනිකයන් විසින් පාලනය කළ තම කල්පිත රාජ්‍යයට විරෝධී වූ ඕනෑම ආකාරයක රාජ්‍ය ක්‍රමයකට ඔහු විරුද්ධ විය. එනම්, ප්‍රජාව පාලනය කිරීමට වඩාත් සුදුසු කණ්‌ඩායම වන්නේ දාර්ශනිකයන් ය ('ideals belong in a world that only the wise man can understand'). ඔහු පෙන්වාදෙන ආකාරයට තීරණ ගැනීමේ යාන්ත්‍රණය තුළ සියලුදෙනා ඒකමතික වීම අවශ්‍ය දෙයක්‌ නොවේ, නමුත් වඩාත් වැදගත් වන්නේ ගන්නා තීරණ තාර්කික පදනමකින් යුත්, හේතු සහිත ඒවා වීමයි. මෙම අදහස්‌ ප්ලේටෝගේ (The Republic) හි එන නිසා සමහර විද්වතුන් පවසන්නේ මේවා සොක්‍රටීස්‌ගේ අදහස්‌වලට වඩා ප්ලේටෝගේ අදහස්‌ වීමට ද ඉඩ ඇති බවයි.

සොක්‍රටීස්‌ට අනුව ඡන්දය ලබාදීම යනු කුසලතාවයකි. එනම් අනෙක්‌ සෑම කුසලතාවයක්‌ ලෙසම එය ප්‍රජාවට ප්‍රථමයෙන් ක්‍රමානුකූලව ඉගැන්විය යුතු ය. නමුත් ප්‍රජාව තුළ මිනිසුන් අධ්‍යාපනයකින් තොරව ඡන්දය ලබාදීම සඳහා පෙළඹවීම ඔහු සමාන කරන්නේ කුණාටු සහිත අවස්‌ථාවක හබල් නැවකින් සමෝස්‌ වෙත යාත්‍රා කිරීමකට ය. අනෙක්‌ අතට ගතහොත් අවාසනාවකට මෙන් සොක්‍රටීස්‌ට තම ජීවිත කාලය තුළ මෙම අත්දැකීම විඳගැනීමට හැකිවිය. තරුණ මනස දූෂණය කරන්නෙක්‌ වශයෙන් සොක්‍රටීස්‌ට විරුද්ධව ඇතැන්ස්‌ වැසියන් 500කගේ ජූරියක්‌ ඉදිරියේ පෙනී සිටීමට සිදු විය. එහි අවසාන ඵලය වූයේ මේ දාර්ශනිකයා හෙම්ලොක්‌ විෂ පානය කිරීමෙන් මරණයට පැමිණවීමට නියම වීමයි.

සොක්‍රටීස්‌ගේ අදහස වන්නේ ඡන්දය ලබාදීම සිදුවිය යුත්තේ ඥානය මත පදනම්ව බවයි. පැණිරස වෙළෙන්දෙකු සහ වෛද්‍යවරයෙකු අතර ඡන්දයක්‌ පැවැත්වුවහොත් බොහෝවිට ජනතාව පැණිරස වෙළෙන්දා තෝරාගනු ඇතැයි සොක්‍රටීස්‌ පවසයි. පැණිරස වෙළෙන්දා තම ප්‍රතිවාදියා වන වෛද්‍යවරයා හඳුන්වා දෙනු ඇත්තේ මිනිස්‌සුන්ට හානිකරන, වේදනා පමුණුවන තැනැත්තෙක්‌ ලෙසයි. එමෙන්ම වෛද්‍යවරයා කෙදිනකවත් රසවත් දෙයක්‌ ජනතාවට ලබා නොදෙනු ඇති බව පැණිරස වෙළෙන්දා පවසනු ඇති. නමුත් සොක්‍රටීස්‌ දක්‌වන පරිදි වෛද්‍යවරයාගේ සැබෑ ස්‌වරූපය වන්නේ රෝගීන්ගේ වේදනාකාරී තත්ත්වයන් පරීක්‌ෂා කරමින්, ඒවා සමනය කිරීමත්, රෝගීන්ට උදව් කිරීමත් ය. මේ නිසා ඥානය මත පදනම්ව මනා අධ්‍යාපනයක්‌ හා අවබෝධයක්‌ සහිතව ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නැංවීම වඩාත් යෝග්‍ය වේ. නමුත් සමස්‌තයක්‌ ලෙස පෙනෙන ආකාරයට, ලෝකයේ වඩාත් සුලබව දක්‌නට ලැබෙන පරිදි, වැඩි වශයෙන් බලයට පැමිණෙන්නේ රසකැවිලි වෙළෙන්දන් මිස වෛද්‍යවරුන් නොවේ.

අනෙක්‌ අතට සොක්‍රටීස්‌ රාජ්‍ය පාලනයට හෝ වෙනයම් ආකාරයේ දේශපාලන කටයුත්තකට සම්බන්ධ වීම සෑමවිටම ප්‍රතික්‌ෂේප කළ අයෙකි. ඔහු නිතරම ඒ සම්බන්ධයෙන් පැවසුවේ ඔහුට තමාවත් තේරුම්ගැනීමට නොහැකිව තිබියදී අනෙක්‌ අයගේ ගැටලු වෙත අවධානය යොමුකිරීමට හෝ මිනිසුන්ට නිවැරදිව ජීවත් වන ආකරය ඉගැන්වීමට ඔහු අසමත් බවයි. මෙම දාර්ශනිකයා සත්‍යලෙසම ප්‍රඥාවට ආදරය කළ අයෙකි. නමුත් තමාගේ නොදැනුවත්කම ගැන නිරන්තරයෙන් පැකිලීමකින් තොරව ප්‍රකාශ කළ අයෙකි.

සොක්‍රටීස්‌ දක්‌වන ආකාරයට මිනිසුන් බොහෝවිට තමා තුළ ඥානය පවතින බව සිතා මුලාවට පත් වුවත් ඔවුන් තුළ පවතින්නේ අදහස්‌ සමූහයක්‌ පමණි. මේ අදහස්‌ තාවකාලින මතවාදයන්, විශ්වාස පමණක්‌ වන අතර සත්‍ය ලෙසම ඥානය යන්නෙන් ඔහු අදහස්‌ කරන්නේ වෙනස්‌ නොවන, පරම සත්‍ය වූ දෙයකි. සොක්‍රටීස්‌ට අනුව ඥානය ලෙස සැලකෙන්නේ සැබෑ ලෝකයයි. මෙම ඥානය අවබෝධ කරගැනීමේ ක්‍රියාවලිය යනු පුද්ගලයෙක්‌ මනුෂ්‍ය ආත්මයේ පවතින සදාතනික ස්‌වභාවය හඳුනාගැනීමට සමාන ය. මෙම අවබෝධය පුද්ගලයාව සදාකාලික තත්ත්වයන් වෙත යොමු කිරීමකුත්, ආධ්‍යාත්මික මානයකට ඇතුළු කිරීමත්, භෞතික තත්ත්වයන්ට අනුකූලවූ සවිඥානය ආධ්‍යාත්මික විෂයක්‌ සමග සම්බන්ධ කිරීමකුත් වන්නේ ය. මෙය පුද්ගලයෙකුගේ සවිඥානය සහ ස්‌ව-සවිඥානිකත්වය පැහැදිලිවම වෙනතකට යොමු කරවන්නකි. සමහර විද්වතුන් දක්‌වන ආකාරයට මෙම ඉගැන්වීම් සාංදෘෂ්ටිකවාදී දර්ශනය (Existentialist Philosophy) තුළත් බුදු දහම තුළත් දැකගත හැකි ය.

සොක්‍රටිස්‌ ආත්මයේ අමරණීයබව පිළිබඳව විශ්වාස කළ නිසා මරණයට නොබියව මුහුණදීමට හැකි බව ඔහු පවසා තිබේ. ඒ. ඩී. පී. කලන්සූරියගේ, ග්‍රීක දර්ශනය. නම් කෘතියේ එන පරිදි, සොක්‍රටීස්‌ගේ මරණය පිළිබඳව ඉතමත් ශෝචනීය විස්‌තරයක්‌ සහිත ප්ලේටෝගේ "Phaedo' නම් සංවාදයේ සොක්‍රටීස්‌ පිළිබඳව ප්ලේටෝ දක්‌වන්නේ මෙසේ ය. 'ඔන්න ඔහොමයි, එක්‌රේව්ස්‌, අපේ මිත්‍රයාගේ ගමනෙහි අවසානය සිදු වුණේ. මා දන්නා මිනිසුන් අතරෙන් ඉතාමත් ඥානවත්, යහපත් සහ ධර්මිෂ්ඨ තැනැත්තා සොක්‍රටීස්‌ තමයි, මිත්‍රයා.'

"දිවයින"
මියුරංගනී කරුණාරත්න




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,366 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,010 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,695 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,726 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,586 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,070 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,351 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,509 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top