සුනේත්‍රා සරච්චන්ද්‍ර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්‘ විසින් අපේ කලා ලෝකයට දායාද කළ දියණියක්. කලක සිට ඇය වෙසෙන්නේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලෝස් ඇන්ජලිස් නුවර. සුනේත්‍රා අපේ වේදිකාව, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ක්‍ෂේත්‍රයන්හි කළ රංගනයන් අපට කිසි දිනක අමතක නොවේ. තම පියාගේ නිර්මාණයක් වන ‘කපුවා කපෝතියි‘ වේදිකා නාට්‍යයේ රගමින් සුනේත්‍රා රංගන ක්‍ෂේත්‍රයට පිවිසියාය. ‘වෙස් මුහුණු‘ රංගනය ඇය හොඳම නිළිය බවට පත් කෙරිණි. ඉන් පසුවද ඇය රාජ්‍ය සම්මාන කීපයකින් පුද ලැබුවාය.
සුනේත්‍රා සරච්චන්ද්‍ර දැන් ජීවන ගමනේ හැත්තෑවෙනි වසරට පා තබා ඇත. මේ ඇය ගැනයි
ජීවිතය දෙස අවුරුදු හැත්තෑවක අතීතය දෙස ආපසු හැරී බැලූවොත්.?
මම මුලින්ම රගපෑවේ ළමා නාට්‍යවල. ඒකට හේතුව මගේ අම්මා හොඳ ළමා නාට්‍ය නිෂ්පාදිකාවක්. ඒ නිසා වයස අවුරුදු හයේදී හතේදී ඉඳලම මම අම්මා හැදු නාට්‍යවල රගපෑවා. ප්‍රසිද්ධ වේදිකාවට මුලින්ම පා තැබුවේ අවුරුදු දහයෙදි. ඒ තාත්තා හැදු ‘කපුවා කපෝතියි’ නාටයයෙන්.
වඩාත් තෘප්තිමත් වූ රංගනයන්.?
වේදිකාවේ එක නාට්‍යයක් විශේෂයි කියා කියන්න අමාරුයි. හැම එකකම කුමක් හෝ විශේෂත්වයක් තිබුණා. ‘වෙස්මුහුණු’ ගත්තොත් මට පළමුවෙන්ම සම්මානයක් ලැබුණු නාට්‍යය. ඒක නිෂ්පාදනය කළේ ධම්ම ජාගොඩ. ඒ ඇමරිකානු නාටයයක පරිවර්තනයක්. ඒ වගේමයි ‘මූදු පුත්තු’ එය හාත්පසින්ම වෙනස් නාට්‍යයක්. මේ හැම නාට්‍යයකම චරිත මම බොහෝම කැමැත්තෙන් රස විදිමින් රගපෑවා.
සිනමා රංගනය ගැන කතා කළොත්.?
මම සිනමාවේ දායක වුණේ ඉතාමත් හොඳ අධ්‍යක්‍ෂවරුන් යටතේ විතරයි. සුමිත්‍රා පීරිස්, වසන්ත ඔබේසේකර, ධර්මසේන පතිරාජ, තිස්ස අබේසේකර වැනි අධ්‍යක්‍ෂවරුන්ගේ නිර්මාණ. තිස්ස අබේසේකරගේ ‘විරාගය’ චිත්‍රපටයේ මේනකාගේ චරිතය මම හරිම ආසාවෙන් රගපෑවා. ඒක හරිම ප්‍රබල චරිතයක්. ඒ වගේම ‘කැඩපතක ඡයා’ චිත්‍රපටයේ සහ අනෙක් චිත්‍රපටවල ලැබුණු චරිතත් හරිම හැගුම්බරයි. ‘සාගර ජලය’ ලැබුණේ බොහෝම සැර පරුෂ චරිතයක්.
රූපවාහිනී රංගනය මීට වඩා වෙනස්.?
ඇත්තටම ඔව්. මුල්ම ටෙලිනාට්‍යය තමයි සුමිත්‍රා රාහුබද්ධගේ ‘බුමුතුරුණු‘’ ඒක ලස්සන චරිතයක් ඒත් මම ප්‍රේක්‍ෂකයන් අතරට ගියේ ‘දු දරුවෝ’ ටෙලි නාට්‍යයෙන් ඒක හරිම ස්වභාවික තාත්වික චරිතයක්.
පියාගෙන් සහ මවගෙන් ඔබේ රංගන දිවියට ලැබුණු ආශිර්වාදය කෙබඳුද.?
ඒ දෙදෙනා මගේ ගමනට විශාල රුකුලක් වුණා. තාත්තා ‘මනමේ’ කරද්දී මට වයස අවුරුදු හතයි. ඒ දවස්වල අපේ ගෙදර නිතරම ඇහෙන්නේ නාඩගම් ගීත. ශාස්ත්‍රීය ගීත, බෙර ගහනවා. නාට්‍ය පුහුණු වෙනවා. මම ඒ පසුබිමට නිරායාසයෙන් හුරු වුණා. අමුතුවෙන් යමක් ඉගෙන ගන්න ඕනෑ වුණේ නැහැ. බටහිර වාදනය පවා අම්මාගෙන් ඉගෙන ගත්තා. මට පසු කාලයේ කලාකාරියක් වෙන්න ඒ පරිසරය බලපෑවා.
ගතවූ කාලය ගැන තෘප්තිමත්ද?
ඔව්. මම හරිම සතුටුදායක තත්ත්වයක ඉන්නේ. මම කලා ලෝකයේ ඉහළම තැනක සිටිද්දී තමයි ලංකාව හැරදා එන්න වුණේ. ‘උත්තමාවී’ වේදිකා නාට්‍යයේ චරිතයට සම්මානයකුත් ලැබිලා, සිනමාවේත් හොඳ චරිත කරලා ඉහළම තත්ත්වයකට ආ කාලයේ තමයි මම ඇමරිකාවට ආවේ. ආපසු හැරිලා දුක්වෙන්න දෙයක් නැහැ. මම මෙහි ඇවිත් ඇමෙරිකාවේ සිටින ශ්‍රී ලාකිකයන්ට ඒ අවස්ථාව ලබා දෙන්නට හැකි වීම ලොකුම සතුටක්.