පෙට්‍රල් මිල ඉහළ දැමීමත් සමඟ කුලී ත්‍රිරෝද රථ පළමු කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 10කින් ඉහළ දැමීමට ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය තීරණය කර තිබෙනවා.
අද පැවති විධායක සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි එහි සභාපති සුනිල් ජයවර්ධන සඳහන් කළේ.
මේ දක්වා අදාළ සංගමයේ ත්‍රිරෝද රථ පළමු කිලෝමීටරය සඳහා රුපියල් 50ක මුදලක් අය කළ අතර, නව මිල ගණන් යටතේ පළමු කිලෝමීටරයට රුපියල් 60ක් අය කිරීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේ වෙතත්, ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් රෝහණ පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ තම සංගමයේ ත්‍රිරෝද රථ ගාස්තු මිල ඉහළ දැමීමක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බවයි.
එමෙන්ම, තම සංගමය ද ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට බලාපොරොත්තු නොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියා.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 3කින් ඉහළ දැමුණා. ඒ අනුව එම පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 138ක් වන අතර, අනෙකුත් ඉන්ධන වර්ගවල මිල මෙහිදී වැඩි කර නැහැ.
මේ අතර, ලංකා අයි.ඕ.සී. සමාගම ද පෙට්‍රල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 7කින් වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 147 ක්.