ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.
අප ගුවන්තොටුපල වාර්තාකරු ප්‍රකාශ කළේ පෙරවරු 11 ඔහු දිවයිනට පැමිණි බවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරත වනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිලිගැනීමේ උත්සවය අද දහවල් ජනාධිපති කාර්යාලයේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
දෙරටේ රාජ්‍ය නායකයින්ගේ නිල හමුවෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිළිගැන්වීමට ද නියමිතයි.
දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි පළමු රාජ්‍ය තාන්ත්‍රික හමුවට එක්වූයේ ද ජනාධිපතිවරයා සමග වන අතර, එහිදී කළ නිල ආරාධනයට අනුව ඔහු මෙරට සංචාරයක නිරත වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව මෙරට සංචාරය කරන පළමු විදේශීය රාජ්‍ය නායකයා වන්නේ ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයායි.
මේ අතර, අසල්වැසියාට ප්‍රමුඛත්වය ලබාදීමේ ප්‍රතිපත්තිය යටතේ තමා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සංචාරය කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ප්‍රකාශ කළා.
සිය සංචාරය ආරම්භ කිරීමට පෙර අදහස් දැක්වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශවික සබදතා මෙම සංචාරයෙන් තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ සහ කොළඹ අවට මාර්ග කිහිපයක ගමනාගමනය අද සීමා කෙරෙනවා.
ඒ අනුව, පෙරවරු 11 සිට මධ්‍යහ්න 12 දක්වා සහ පස්වරු 1.45 සිට පස්වරු 3 දක්වා අවස්ථා දෙකකදී අදාළ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වනු ඇති.
කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය, පෑලියගොඩ ගුවන් පාලම, ඔරුගොඩවත්ත, දෙමටගොඩ, බොරැල්ල හරහා කනත්ත වටරවුම දක්වා බේස්ලයින් මාර්ගයේත්, බොරැල්ල ඩී.එස්.සේනානායක හන්දියේ සිට හෝර්ටන් පෙදෙස, නෙලූම් පොකුණ වටරවුම, ආනන්ද කුමාර ස්වාමි මාවත, පිත්තල හන්දිය, යෝක් වීදිය, බාරොන් ජයතිලක මාවත, ලෝටස් පාර, බැංකු මාවත, ජනාධිපති මාවත, ගාලූපාරේ ගාලූ-මුවදොර වටරවුමේ සිට පරණ පාර්ලිමේන්තුව දක්වාත් මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරෙනු ඇති.