2019 එංගලන්ත-වේල්ස ලෝක කුසලානය දැන් ඇරඹී හමාරය. තරග උණුසුම, දිනුම - පැරදුම හයේ හතරේ පහරවල් මෙන්ම තිරයෙන් පිටුපස සිදුවන බොහෝ දේ පිළිබඳව ප්‍රේක්ෂක අවධානය යොමුවෙයි. ඒ අතරින් බොහෝ දෙනාගේ උනන්දුවට පාත්‍ර වී ඇත්තේ රූපවාහිනි තිරයෙන් පන්දුවට පිත්තට පණ දෙන කාන්තා කටහඬ කිහිපය වෙතයි. එනම් මෙවර ලෝක කුසලාන විස්තර විචාරක මඬුල්ලට එක්වී සිටින කාන්තාවන් තිදෙනා වෙතය.
මේ අපූරු කාන්තා කටහඬ තුන අයිති වන්නේ හිටපු එංගලන්ත ක්‍රීඩිකා ඊෂා ගුහා, හිටපු ඕස්ට්‍රේලියා ක්‍රීඩිකා මෙලනි ජෝන්ස් හා ප්‍රවීණ එංගලන්ත හා BBC නිවේදිකා ඇලිසන් මිචෙල්ටය. මොවුන් තිදෙනා මෙසේ එක්වීම විශේෂ වන්නේ එබඳු කාන්තා නියෝජනයක් ලෝක කුසලානයට සමගාමීව සිදුවන පළමු අවස්ථාව මෙය බැවිනි.
රූපවාහිනි නිවේදනය සම්බන්ධව ගත් කල මේ තිදෙනාගෙන් වඩාත් පළපුරුදුකාරිය වන්නේ විවිධ ක්‍රීඩා වෙබ් අඩවි, විස්ඩන් ක්‍රිකට් සඟරාව, ටයිම්ස් හා ද ගාර්ඩියන් වැනි පුවත්පත් සමඟ ලේඛිකාවක ලෙසද කටයුතු කරන ඇලිසන් මිචෙල්ය.
ඇලිසන් මිචෙල් දක්ෂතා දක්වන්නේ ක්‍රිකට් පිටියේ සිදුවන දෑ වචනවලට හරවන්නට පමණක් නොවේ. ඇය මලල ක්‍රීඩා, ටෙනිස්, ගොල්ෆ්, ජිම්නාස්ටික් ආදී වශයෙන් වූ විවිධ ක්‍රීඩා සජීවීව ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නට තම කටහ¾ඩින් දායක වන්නීය. ගුවන් විදුලි නිවේදනයෙන් තම ආගමනය සිදුකළ මිචෙල් කිසි දිනෙක තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී තිබුණු තැනැත්තියක නොවේ.
විවිධ ක්‍රීඩා පිළිබඳ අෑ සතු වූ මේ අපූරු දැනුමත් අවබෝධයත් හේතුවෙන් එකිනෙකට වෙනස් වූ බොහෝ ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් ආවරණය කිරීම සඳහා ඇගේ කටහඬ යොදා ගැනිණ. විම්බල්ඩන් ටෙනිස් තරගාවලි, 2014 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල, බීජිං ඔලිම්පික් උළෙල, කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය, ICC චැම්පියන්ස් ක්‍රිකට් තරගාවලිය ආදී වශයෙන් ඉන් කිහිපයක් සඳහන් කරන්නට පුළුවන.
බී.බී.සී. ගුවන් විදුලිය සමඟින් ක්‍රීඩා විස්තර විචාරයට අත්පොත් තැබූ ඇය අද වනවිට චැනල් සෙවන්, චැනල් ෆෝ, ස්කයි ස්පෝට්ස්, ඊ.එස්.පී.එන්., ස්ටාර් ස්පෝර්ට්ස් වැනි විවිධ ආයතන සමඟ කටයුතු කරන්නීය.
දෙවැන්නිය වන්නේ හිටපු එංගලන්ත ක්‍රීඩිකා ඊෂා ගුහාය. ටෙස්ට් තරග අටකදී හා එක්දින තරග 83කදී එංගලන්තය නියෝජනය කළ ඊෂා ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් සමුගත්තේ 2012 වසරේදීය. 2009 වසරේ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය තම රට වෙනුවෙන් දිනා ගන්නට එංගලන්ත පිල සමත් වෙද්දී ඊට දායකත්වය සැපයූ ක්‍රීඩිකාවක් ලෙසද ඇය හඳුනාගන්නට පුළුවන. එක්දින තරග කඩුලු සියය ඉක්මවා දවාගන්නට සමත්වූ ඊෂා විස්තර විචාර අට්ටාලයට පා තබන්නේ 2012 වසරේදීය. ඒ ITV ක්‍රීඩා විකාශන ජාලයත් සමඟයි. ඒ වසරේදීම ඇයට තවත් සුවිශේෂී කටයුත්තකට සම්බන්ධ වන්නට ලැබෙන්නේ මේ ITV නාළිකා සමූහය හරහාය. ඒ එම වසරේම ITV 4 නාළිකාව හරහා ඉන්දීය ප්‍රිමියර් ලීගය හා සම්බන්ධ වීමෙනි. ඉන්පසු ඇය තවත් පියවරක් තබමින් 2018 වසරේදී ස්කයි ස්පෝට්ස් සමඟ එක් වූවාය. ඇගේ කටහඬ ක්‍රිකට් ක්‍රීඩාවට කොපමණ වැදගත් දැයි ඔප්පු කරන්නට මෙන් ඒ වසරේදීම ෆොක්ස් ස්පෝර්ට්ස් ජාලයද ඇය තම විස්තර විචාර කටයුතුවලට එක්කර ගත්තේය.
Ashes Cricket 17 නමැති පරිගණක ක්‍රීඩාව ඔබ උත්සාහ කර ඇත්තේ නම් මේ තුන් දෙනාගෙන් අනෙක් කටහඬ නොදන්නවා විය නොහැකිය. ඒ ඕස්ට්‍රේලියාවේ මෙලනි ජෝන්ස්ය. 2007 අවුරුද්දේ චැනල් නයින් සමඟ ක්‍රිකට් විස්තර විචාරයට පය තැබූ මෙලනි ජෝන්ස් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගත්තේ 1997 වසරේදීය. පිතිකාරිනියක ලෙස දස්කම් පෙන්වූ මෙලනි ජෝන්ස් ඊට වසරකට පසුව ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම ද දිනාගන්නට සමත් වූවාය. ටෙස්ට් ශතකයකටද හිමිකම් කී ජෝන්ස් සරේ ප්‍රාන්තයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමද නියෝජනය කළාය.
2015 වර්ෂය ඇගේ ක්‍රිකට් විස්තර විචාර ජීවිතයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කළ එකක් වූයේය. ඊට හේතුව වූයේ 2015 ඉන්දියානු ප්‍රිමියර් ලීගයේ විස්තර විචාරිකාවක් ලෙස කටයුතු කරන්නට ඇයට අවස්ථාව හිමි වීමයි. ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම කාන්තා ක්‍රිකට් ඉසව්ව වන කාන්තා බිග් බෑෂ් ලීගය සමඟද ඒ වසරේ එක්වූ ඇයට ඊළඟ තරග වාරයේදී බිග් බෑෂ් පිරිමි තරගාවලියේ විස්තර විචාරක අසුනක් හිමිවිය. 2018 වසරේ ජ්ධය ඉනධපබඵ විකාශන ආයතනය සමඟද එකතු වන්නට ඇය අවස්ථාව උදා කර ගත්තාය.
ඕස්ට්‍රේලියානු ස්වදේශිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක වන සෞඛ්‍ය වැඩසටහනකටද දායකත්වය සැපයූ ජෝන්ස් සමාජ සේවිකාවක ලෙසද නමක් දිනා සිටින්නීය.
"මව්බිම" පුවත්පතෙනි.