කේම්බ්‍රිජ් ආදිපාද යුවල එහෙමත් නැත්නම් එංගලන්තයේ විලියම් කේට් යුවල, හරිම විනෝදජනක ජීවිතයක් ගෙවන පවුලක් විදිහට ප්‍රසිද්ධයි. විටින් විට එළියට එන පවුලේ ඡායාරූප වගේම පැපරාසි ඡායාරූපවලිනුත් ඒ බව හොඳින් දැකගන්න පුළුවන්.
ලුවී කුමාරයාගේ අයියයි අක්කයි වන ජෝර්ජ් කුමාරයාත් චාලට් කුමරියත් මේ වෙද්දි ටිකක් ලොකු මහත් වෙලා හුරතල් ගති ටික ටික අඩු වෙද්දි ලුවී කුමාරයාගේ හුරතලේට හැමදෙනෙක්ගෙම අවධානය යොමුවෙලා කිව්වොත් වැරදි නැහැ.
පහුගියදා මේ පොඩ්ඩන් තුන්දෙනාගේ පවුල කේට් කුමරිය විසින් පවත්වාගෙන යන චෙල්සි ෆ්ලවර් උද්‍යානයට ගියේ එළිමහනේ විනෝදයෙන් කාලය ගෙවන්නයි. එතැනදීත් ලුවී කුමරයා කැපිලා පෙනුණේ ඔහු ඒ මේ අත ඇවිද යමින් කෙළිදෙලෙන් කාලය ගත කිරීම නිසායි.
දැන් පස් හැවිරිදි වියේ පසුවන ජෝර්ජ් කුමරයාත් සිව් හැවිරිදි වියේ පසුවන චාලට් කුමරියත් හරිම සතුටින් උද්‍යානයේ කාලය ගෙවූ බව පෙනෙන්න තිබුණා.
කොටින්ම කකුල්වල තිබුණු සපත්තු ගලවලා දාලා මඩ සහිත පොළොවේ ඒ මේ අත දුව පනිමින් ඔවුන් පුදුම නිදහසක් අත්වින්ද බව පෙනෙන්න තිබුණා.
අසල ගහක සවිකරලා තිබුණු පැද්දෙන කඹයක ආධාරයෙන් ජෝර්ජ් කුමාරයා හ චාලට් කුමරිය විතරක් නෙමෙයි, කේට් කුමරිය සහ විලියම් කුමාරයාත් විනෝද වෙන අයුරු දකින්න ලැබුණා. අනිත් හැමෝම කඹයක එල්ලිලා පැද්දෙනවා දැකපු ලුවී කුමාරයාටත් කඹයේ එල්ලෙන්න ඕන වුණා. අන්තිමට අවුරුද්දක් වයසැති තමන්ගේ පොඩි පුතාවත් කඹයේ වාඩි කරවලා චුට්ටක් එහාට මෙහාට පද්දන්න, විලියම් කුමාරයාට සිද්ධ වුණා.
ටික වෙලාවකින් නටලා නටලා මහන්සි වෙච්ච ජෝර්ජ් කුමරයා උද්‍යානයේ තිබුණු කුඩා දොළ පාරට උඩින් තිබුණු ලී පාලමේ වාඩි වුණා. ඊට පස්සේ තමන්ගේ කකුල් දෙක සීතල වතුර පාරට දාගෙන හිටියේ මහන්සි නිවාගන්න වගෙයි. ඒක දැකපු චාලට් කුමරියත් තමන්ගේ අයියා ළඟින් ඇවිත් වාඩි වුණා. ඊට පස්සේ එයාත් දොළ පාරට කකුල් දාන්න ලෑස්ති වුණා. හැබැයි කකුල් දිග මදි. අන්තිමේදී අඩමානෙට ඉඳගෙන එක කකුලක් වතුරට දාගෙන එයත් අයියා කරපු දේම කළා.
පොඩ්ඩන් තුන්දෙනා විවේකයෙන් විනෝදයෙන් ගතකරපු මේ කාලය ගැන කේට් කුමරියත් පසුව අදහස් දක්වලා තිබුණා. “මුලදි ඇත්තටම මට තිබුණේ ලොකු චකිතයක්. මෙයාලා උද්‍යානයේදී මොනවා කරයිද, කොහොම හැසිරෙයිද කියලා මට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. ඒත් එයාලා ඉතාම හොඳට උද්‍යානයට හුරු වුණා. ගල් එහාට මෙහාට විසිකරමින්, පෙඳ පාසි අල්ලමින්, දොළ පාරේ කකුල් පද්දමින් එයාලා හොඳට කාලය ගත කළා” කේට් කුමරිය කීවා.
“මං හිතන විදිහට හැම දරුවෙක්ටම සොබාදහමත් එක්ක කාලය ගෙවන්න වැඩි ඉඩක් වෙන් කළ යුතුයි. එහෙම වුණාම එයාලගේ බුද්ධිය හොඳින් වර්ධනය වෙනවා” ඈ වැඩිදුරටත් ප්‍රකාශ කළා.
සටහන: සුරංග/ 'දේශය' පුවත්පත