පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පිරිස ප්‍රාණ පරිත්‍යාගීන් ලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ සැලසුම් කරන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.
උන්වහන්සේ මේ බව සදහන් කළේ අද පැවැති ඉරුදින දේව මෙහෙයට එක්වෙමින්.
කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනන් රංජිත් හිමිපාණන් ඉරුදින දේව මෙහෙයට එක් වුණේ බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේදී.
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිපත් කරමින් අද දින යාඥාවේ සහ උපවාසයේ දිනය ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ප්‍රකාශයට පත්කර තිබුණා.
ඊට සමගාමීව පැවැති දේව මෙහෙයට එක්වෙමින් කාදිනල් හිමිපාණන් සදහන් කළේ සෑම කෙනෙකුම ආගමික ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීම අත්‍යාවශ්‍ය බවයි.
"දැන් ඇති මේ වගේ අපරාධ කරන්න එපා. මේක දෙවියන්වහන්සේගේ නාමයෙන් කරන්න බැහැ. ආගමක් වෙනුවෙන් කිසි කෙනෙකුව මරන්න අපිට අයිතියක් නැහැ. කිසි කෙනෙකුට හානියක් කරන්න අපිට අයිතියක් නැහැ. අපට තිබෙන වගකීම වන්නේ හැම මනුස්සයෙකුගේම ජීවිතය අගය කිරීමයි. ඔහුට හෝ ඇයට සේවය කිරීමයි. මේ ධර්මය කියලා කියන්නේ අන්න ඒකයි. ආගම කියලා කියන්නේ අන්න ඒකයි. ආගම කියන්නේ කෝට් එකක් නෙමෙයි. අපිට ඕන වෙලාවට දාගන්න පුළුවන් අනිත් වෙලාවට ගලවලා තියන්න පුළුවන් එහෙම එකක් නෙමෙයි. සමහර රටවල සමහර උදවිය උත්සාහ කරනවා කියන්න ආගම කියන්නේ ප්‍රයිවට් ලයිෆ්, පෞද්ගලික දෙයක් පමණයි කියලා. සමාජ ජීවිතයට ඒක බලපාන්නේ නෑ කියලා කියනවා ඒ ගොල්ලෝ. ඒක වැරදියි. අපි ආගමක් අදහනවානම් හැම මොහොතකම ඒ ආගමික ප්‍රතිපත්තිවලට අනුව අපි ජීවත් වෙන්න ඕන. මේ ශ්‍රී ලංකාද්වීපයට අවශ්‍ය වන්නේ අන්න ඒකයි. ශ්‍රී ලංකාද්වීපය කියලා කියන්නේ ආගම් අදහන මිනිස්සුන්ගෙන් පිරුණු රටක්. මේ රට වෙන් කරන්න බැහැ. අපේ මේ එදා කොච්චිකඩේ, එහෙම නැත්නම් කටුවාපිටියේ එහෙම නැත්නම් සියෝන් දේවස්ථානයේ එහෙම නැත්නම් ඒ ආපනශාලාවල සේවය කරන්නට ගිය ඒ අයත් තමන්ගේ ණය යුතුකම් ඉටු කරන්නටයි ගියේ. ඒ නිසයි හැම කෙනෙක්ම අපිට වටිනා වස්තුවක්. ඒ නිසා අපි අගරදගුරු පදවිය පුරාවට සලැසුම් කරනවා යම් දවසක මේ අපේ සහෝදර සහෝදරියන් ප්‍රාණ පරිත්‍යාගීන් ලෙස ප්‍රකාශයට පත්කරන්න".
VIDEO