Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
26
"මම ඔය බෑග් එකක් කරේ දාගෙන ආපු මාමාව දැක්කා. එයා පල්ලියට එනවා මම දැක්කා..." - පාස්කුදා ප්‍රහාරයෙන් පසු කම්පනයට පත් වූ පුංචි පැටවුන්ගේ සංවේදී කතාව

- "මම ඔය බෑග් එකක් කරේ දාගෙන ආපු මාමාව දැක්කා. එයා පල්ලියට එනවා මම දැක්කා..." - පාස්කුදා ප්‍රහාරයෙන් පසු කම්පනයට පත් වූ පුංචි පැටවුන්ගේ සංවේදී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,371 Views
"අම්මේ පල්ලියේ බෝම්බයක් පිපිරුණා.. දෝණි අක්කා නැහැ..."
 
"දෝණිව සතුටින් තියන්න එයාලා මොනවද නොකළේ..?"

“දුවට පොඩි කම්පනයක් වෙලා. ළමා රෝහලේ. බය වෙන්න එපා.” 
 
අදටත් කටුවාපිටිය ශුද්ධ වූ සෙබස්තියන් දෙව්මැඳුර දැඩි රැකවල් මධ්‍යයේ පසුවන භූමියක් වී හමාරය. වෙනදාට හිතේ සැනසුමෙන් දෙව්මැඳුර වෙත ගොස් යාඥා කළ කතෝලික බැතිමතුන් අද ඒ හිතේ සැනසීම නැත. තවමත් දෙව්මැඳුරේ බිත්ති පුරා දක්නට ඇත්තේ පාස්කු ඉරිදාවේ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ආදරණීයයන්ගේ රැව සහිත බැනරයන්ය.
 
දින කිහිපයක්ම කටුවපිටිය දේවස්ථානයත්, අසරණ වූ කටුවපිටිය ගම්වාසීන්ගේ නිවෙස්වලටත් ගොඩවැදුණු දේශය මෙවර අරමුණ වූයේ මේ විපතින් තවමත් පීඩා විඳින, කම්පනය වුණු සහ රෝගී වුණු කුඩා දරුවන්ගේ දුක සැප විමසා බැලීමටය. මෙම ගමනේදී අපිට මඟ පෙන්වූයේ තුෂාර සම්පත් පියතුමාය.

පුංචි දුලාංජි මිදුලේ ඇවිදිමින් සිටියාය. පියතුමන් දුටු එකවරම අපූරු සිනහවක් නැගුවාය. “කොහොමද පුතේ.. දැන් හොඳද?”
 
පියතුමන් ආදරයෙන් පුංචි දුලංජිගෙන් ඇසීය.
 
“හොඳයි..” ඉතා ලැජ්ජාශීලීව ඇය කෙටි වචනයකින් උත්තර දුන්නාය.
 
දුලාංජි තම මවත් සමඟ දෙව්මැඳුරට පාස්කු ඉරිදාවේ උදෑසනින්ම ගියාය. දෙව්මැඳුරේ අසුන්ගෙන සිටි දුලාංජි මහප්පාද (පියාගේ අයියා) දෙව්මැඳුරේ මිදුලේ සිට දේව මෙහෙයට සහභාගී වෙමින් සිටියහ.
 
“මම දැක්කා මේ දෙන්නා ඉටිපන්දම් එළියේ ඉඳන් පත්තු කරලා ආයෙත් පල්ලිය ඇතුළට යනවා. හැබැයි ඒ වෙනකොට මේ දෙන්නා වාඩිවෙලා හිටපු බංකුවේ වෙන අය වාඩිවෙලා. ඒ නිසා මේ දෙන්නා ආයෙත් ඉස්තෝප්පුවේ වාඩිවෙලා. මම ඒක දැනගෙන හිටියේ නැහැ. මම පුංචි පල්ලියට ගියා. ඒ වෙලාවේ තමයි මේ බෝම්බ ප්‍රහාරය සිද්ධ වුණේ. මට හිතාගන්නත් බැරි වුණා. මට එකපාරටම මතක් වුණේ පල්ලිය ඇතුළට ගිය මේ දෙන්නයි.”
 
දුලාංජිගේ මහප්පා ඒ අතීතය මතකයට නැගුවේය.
 
මොකද්දෝ වාසනාවකට එදින දෙව්මැඳුර තුළට යාමට දුලාංජිටත් මවටත් ඉඩ හරස් විය. යම් හෙයකින් ඉටිපන්දම් දල්වා නැවතත් සුපුරුදු අසුන්වල ඔවුන් වාඩි වූවානම් අද ඒ මවත් පුංචි දුලාංජිත් ජීවතුන් අතර නැත.
 
බෝම්බය පිපිරීමත් සමඟ මහප්පා දෙව්මැඳුර තුළට දිව ගියාය. ඔහු කුඩා දුලාංජිගේත් මවගේත් ඇඳුම්වල මතකයන් ඔස්සේ ඔවුන් සොයා දෙව්මැඳුරේ පිස්සෙකු සේ දිව ගියේය. නමුත් ඔහුගේ ඇසට ඔවුන්ව නොගැටුණි. නමුත් දෙව්මැඳුරට එල්ල වූ ප්‍රහාරයත් සමඟම දුලාංජිත් ඇගේ මවත් විසි වී වැටී සිටියහ. ඇගේ මවගේ දෙඅතම දරුණු ලෙස ආබාධ වූ අතර එක් පාදයක්ද දරුණු ආබාධයකට ලක්වුණි. සිහිය නොලබා සිටි මව ප්‍රදේශවාසීන් විසින් රෝහල්ගත කෙරුණු අතර දුලාංජි වහාම කොළඹ ළමා රෝහලට ගෙන ගොස් තිබුණි. නමුත් රෝහලට රැගෙන යාමට පෙර දෙව්මැඳුරේ එහාමෙහා දුවමින් යන මහප්පාව ඇය දුටුවාය. ඇය “මහප්පේ” යැයි කෑගැසුවද ඒ හඬ පිට නොවුණේය. බෝම්බය පිපිරීමෙන් ඊයම් බෝල කිහිපයක් අතට, පිටට සහ කකුලට වැදී ඇයට දැඩි ලෙස තුවාල වී තිබිණි. මීගමු රෝහලට ගෙනගිය දුලාංජි පසුව ළමා රෝහලට මාරුකර යවනු ලැබීය.
 
දුලාංජිට දැන් සුවය. නමුත් ඇය දෙව්මැඳුරට යන්නට දක්වන්නේ දැඩි අකමැත්තකි. එපමණක්ම නොව ඇය පාසැල් යාමටද දැන් එතරම් කැමැත්තක් නැත.
 
“මම නම් ආයෙ පල්ලි යන්නේ නෑ”
 
ඇය නිතරම කියන්නීය. ඇය ගිරවියකි. ගෙදර සුරතලීය. රූපවාහිනියේ පෙන්වූ දසුන් දැක “මම ඔය බෑග් එකක් කරේ දාගෙන ආපු මාමාව දැක්කා. එයා පල්ලියට එනවා මම දැක්කා” යැයි ඇය ඉඳහිට කියන්නීය. නමුත් වෙනදා තරම් ඇය සෙල්ලමට කැමැත්තක් නොදක්වයි. දුලාංජිට දැන් සුව වුවද තවමත් ඇගේ මවට එතරම් සුවයක් නැත. ඇය අදටත් සිටින්නේ ඇඳටම පමණක් සීමා වීය. අත් දෙක සහ පාද වෙලා ඇති නයනාට තමන්ගේ කටයුතුවත් තනිවම කරකියා ගන්නට බැරිය. නිතර දුලාංජි ඇඳ අසලට පැමිණ අම්මාගේ සුවදුක් විමසන්නීය. අම්මාගේ හිස අත මෙන්ම පාදය ද අත ගායි. රෝහලට රැගෙන ගිය මොහොතේදී නයනාට සිහිය නොතිබුණි. සිහිය ආ සැණින් ඇය තම චූටි දියණිය ඉල්ලා රෝහල් වාට්ටුව දෙවනත් වනතුරු කෑගසා හැඬුවාය. නමුත් ඇය අසලට ගෙන එන්නට පුංචි දුලාංජිට බැරිය. ඒ වනවිටත් දුලාංජි සිටියේ රෝහල්ගත කොටය. “දුවට පොඩි කම්පනයක් වෙලා. ළමා රෝහලේ. බය වෙන්න එපා.” සියල්ලෝම ඇයව අස්වැසුවාය. මැයි මස දෙවැනි දින ඇය රෝහලෙන් නිවසට පැමිණියාය. නමුත් ඇයට දුලාංජි දැකබලාගත නොහැකි විය. ඇය තම දියණියව සොයමින් හැඬුවාය. ඊට දින කිහිපයකට පසුව දියණියවද එදින නිවසට ගෙනාවාය. එදින නයනා චූටි දූ වැළඳ හඬා වැටුණාය. නයනාගේ බෙල්ල පසාරු කරමින් කුඩා ඊයම් බෝලයක් ඇතුළට ගොස් තිබුණද එය පිටතට ගැනීම ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට අවදානමක් ඇතිවිය හැකි බව වෛද්‍යවරු පවසති.
 
දුලාංජිගේ උපන්දිනය යෙදී තිබුණේ අප්‍රේල් දහනව වැනිදාය. දෙව්මැඳුරට ගොස් පැමිණ පාස්කු දිනය දා හවස උපන්දිනය සැමරීමට නිවසේ සැවොම සිතා සිටිය ද අවසානයේදී ඔවුන්ට නතර වීමට සිදුවූයේ රෝහල් ඇඳන් මතය.
 
දුලාංජි ශාන්ත ජෝසප් විදුහලේ දෙක වසරේ ඉගෙනුම ලබන පුංචි දියණියකි. ඇය තම නිවසේ අයට දෙව්මැඳුරේදී සිදුවූ සිදුවීම කියන්නට උත්සාහ ගන්නා සෑම මොහොතකම එයින් දරුවා මඟහරවා ගැනීමට නිවසේ අය උත්සාහ ගනිති. එයින් දවසක ඇයට ඒ සිදුවීම අමතකව යනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.
 
ස්නේහා මින්දනී පාස්කු ඉරිදා දෙව්මැඳුරට ගොස් තිබුණේ තම බාල සහෝදරයා සමඟිනි. ඔවුන් දෙව්මැඳුරේ සීනු කනුව අසල සිටිනා විට එක්වරම බෝම්බය පිපිරී ගියේය. ස්නේහා අසල සිටි කුඩා සහෝදරයා බිම ඇද වැටුණේය. හනික නැගිටගත් ඔහු එක පිම්මේම ගෙදර ගියේය.
 
“අම්මේ පල්ලියේ බෝම්බයක් පිපිරුණා.. දෝණි අක්කා නැහැ” කියමින් ඔහු එක හුස්මට කියවාගෙන ගියේය. ඒවනවිටත් ස්නේහාගේ නිවසට එක්වරම විශාල ශබ්දයක් ඇසුණද එය පල්ලියෙන් පෙරහර පිටත් වීමේදී ගසනා රතිඤ්ඤා බව මව නිගමනය කර තිබුණි. බිම වැටුණු ස්නේහා කවුදෝ පිරිමි තැනැත්තකු ඉතා ඉක්මනින් ත්‍රීවිලරයක ආධාරයෙන් මීගමුව රෝහල කරා ගෙන ගියේය. එයද ස්නේහාට හොඳට මතකය. ස්නේහාව මීගමු රෝහලෙන් ප්‍රතිකාර කරද්දී ස්නේහා වමන කළාය. හිසේ වෙලූ වෙළුම් පටි අතරින් රුධිරය ගලා ගියේය.
 
“දෝණිගෙ තාත්තා ඩොක්ටර්ලට කියලා තිබුණා ඩොක්ටර් මේ මගේ දුව එයාට අමාරුයි” කියලා. ඒ වෙලාවේ රුපියල් දාහත්දාහක් තියෙනවද කියලා අහලා “ඔව්” කිව්වහම පෞද්ගලික රෝහලකින් දුවගේ හිස ස්කෑන් කරලා තිබුණා. මීගමුවේදී ආයෙමත් රිපෝට් බලපුවහම තමයි ඩොක්ටර්ලාට මේකේ බරපතළකම තේරිලා තියෙන්නේ. ඊට පස්සේ දුවව කොළඹ මහ රෝහලට මාරු කළා”
 
දෝණිගේ මව ඒ අතීතය මතකයට නැගුවාය.
 
එතැන් සිට ස්නේහාට ප්‍රතිකාර කරන ලද්දේ කොළඹ ජාතික රෝහලේය. ඇය දින හතරක් සිහින නොමැතිව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවාය. ස්නේහාගේ හිස් කබලේ ඉදිරි කොටසට බෝම්බ ප්‍රහාරයෙන් හානි සිදු වූ අතර වෛද්‍යවරුන් විසින් එය සැත්කමකින් ඉවත් කර එම කොටස මිනිස් පටක රෝපණ බැංකුවේ තැන්පත් කර ඇති අතර, එය මාස තුනකට පසුව නැවත ස්නේහාගේ හිසෙහි සැත්කමකින් සවි කිරීමට නියමිතය.
 
අද වනවිට ස්නේහා නිවසේ ජීවත් වේ. නමුත් ඇය ඉතා හොඳින් පරිස්සම් විය යුතු වේ. දූවිල්ලෙන්, විෂබීජවලින් පරිස්සම් වීම පමණක් නොව, මොළය වෙහෙසා ක්‍රියා කිරීමද ඇයට තහනම්ය.
 
“ඩොක්ටර්ලා ඇත්තටම දෙවිවරුන්. ජාතික රෝහලේදී මගේ දුවව හොඳට බැලුවා. දෝණිව සතුටින් තියන්න එයාලා මොනවද නොකළේ. “දෝණි පැටියෝ” කිය කියා දුවව හැමවෙලේම බලන්න ආවා. එයා ආස දේවල් ගෙනත් දුන්නා. දුවට කැවුවා. පෙව්වා. ඩොක්ටර්ලාගේ නර්ස්ලාගේ ෆෝන් පවා දුවට දුන්නා. අපි මේ ඉන්නේ කුලී ගෙදරක. මේ ගෙදරට දුව ගේන්න හොඳ නෑ කියලා වෛද්‍යවරු කිව්වා. දුවගේ තාත්තාගේ වඩු මඩුව තියෙන්නෙත් ගේ ඉස්සරහමයි. ඒකෙ දූවිලි යනවා කියලා ඒවා දුවට හොඳ නෑ කිව්වා. ඒ නිසා අපි වෙන ගේකට යන්න හැදුවත් ඉස්පිරිතාලේ ඉඳන් දෝණිට මෙහෙටම එන්න ඕනෙ කිව්වා. ඒ නිසා අපිට බොහෝ දෙනා ආධාර කළා. ඒ අය අපේ මේ ගේ අලුත්වැඩියා කරලා දුන්නා.” යැයි ස්නේහාගේ මව පවසන්නීය.
 
අද ස්නේහා මලක් මෙන් පරිස්සම් කිරීමට සිදුව තිබේ. ස්නේහාට ඒ සිදුවීම හොඳට මතකය. නමුත් අද ඇය තනිවම කාමරේ සිටීමට අකමැතිය. රෝහලේ සිටිනා කාලයේදී ස්නේහාට පොඩි දේටත් කේන්ති ගියාය. නමුත් දැන් සියල්ල යථා තත්ත්වයට පත්වෙමින් පවතී.
 
පුංචිම පුංචි ඩැල්මේෂන් බලු පැටවකු මුලින්ම අපේ නෙත ගැටුණි. ඒත් සමඟම සිනාමුසු මුහුණෙන් පියතුමා අසලට පැමිණි නෙතුදිනි ලබන සතියේ පාසල් යාමට පියතුමාට පොරොන්දු වූවාය. ඇය අම්මා සමඟ පාස්කු දිනය දා කටුවපිටිය දෙව්මැඳුරට ගියාය. නමුත් බෝම්බ ප්‍රහාරයෙන් ඇගේ කුසට දැඩි ලෙස තුවාල සිදුවිය. දින ගණනාවකට පසුව ඇය රෝහලෙන් ගෙදරට පැමිණියාය. නමුත් ඒ වනවිටත් පුංචි නෙතුදිනීගේ මව ඇයවත් අයියාවත් හැරදමා දෑස් පියාගෙන තිබුණි. මීගමුවේ ශාන්ත පීතර විදුහලේ හතර වසරේ ඉගෙනුම ලබන නෙතුදිනීට අද අම්මාගේ ආදරය, රැකවරණය අහිමිය. ගෙදර හුරතල් වුණු පුංචි කෙල්ලට ඇගේ සහෝදරයා පුංචි බලු පැටවකු ගෙන ආ‍වේය. දැන් නෙතුදිනීට වයිටා සමඟ සෙල්ලම් කළ හැක. ඉඳහිට ඇයට මව ගැන මතකය මඳක් අමතකව ගියද අන් සෑම මොහොතකම මව නැති සොවින් ඇය දුක්වේ.
 
සයුරු සත්සරද අවුරුදු පහක පුංචි පුතෙකි. දියණියන් තිදෙනකුට පසුව පවුලට එකතු වුණු සයුරුගේ මව දරුවන් හැරදමා යද්දී සයුරුට එතරම් තේරුමක් තිබුණේ නැත. කුලී වැඩ කරමින්, වඩු වැඩ කරමින් දරුවන් රැකී සයුරුගේ පියා අද පසුවන්නේ දැඩි අපහසුතාවයකිනි. ස්නේහා මෙන්ම සයුරුගේ හිස් කබලේද ඉදිරි කොටස බෝම්බ ප්‍රහාරයෙන් අනතුරට ලක්වූ අතර එම කොටස ද මේ වනවිට මිනිස් පටක රෝපණ බැංකුවේ වැඩීමට තබා ඇත. එපමණක්ම නොව සයුරැගේ එක් පාදයක යටි පතුලේද බෝම්බ ප්‍රහාරයෙන් ඊයම් බෝල කිහිපයක්ම පසාරු කරගෙන ගොස් තිබිණි. සයුරු විශාල ශබ්දවලට අද බියය;. ගොරවමින් වසිනා විට ඔහු දෑතින් කන් වසා ගනී. “මට බයයි” යැයි කියයි. වෛද්‍යවරුන් පෝෂ්‍යදායී ආහාර ගන්නා ලෙස නියම කළද සයුරු ආහාර ගැනීමට දක්වන්නේ මැලිකමකි. ඔවුන් ද ජීවත් වන්නේ කුලී නිවසකය. ආර්ථික අපහසුතා එමට තිබුණද අද බොහෝ දෙනකු සයුරුට උදව් වේ. නමුත් සයුරුගේ ජීවිතය තීරණය කරනුයේ දෙවියන් වහන්සේ විසිනි. දින කිහිපයක් යනතුරු සයුරුගේ ජීවිතය පසුවූයේ අවිනිශ්චිතවය. රෝහල් වෛද්‍යවරුන් සයුරු ගැන අසනා සෑම මොහොතකම “අපි බලමු” යැයි කියා සිටියේය. අද සයුරු නිවසේ ඇඳ මත සිට නිවසට එන අමුත්තන් දෙස බලා සිටී. වෙනදාට දුව පැන නැටූ පුංචි කොලු පැටියට අද ඇවිදීමට බැරිය. ඇඳට පමණක් ඔහුගේ ජීවිතය තාවකාලිකව හෝ සීමා විය.
 
“මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව බොහෝ දෙනකුගේ ජීවිත බොහෝ වෙනස් වුණා. විශේෂයෙන් මව්පියන් නැතිවුණු දරුවන් මානසික ආතතියකින් පසුවන්නේ. දරුවන්ට තවමත් හරියට කතා කරන්න බැහැ. ඒ වගේම අවුරුදු දහනවයේ විස්සේ දරැවනුත් ගොඩක් වෙලාවට ඉන්නේ ලොකු මානසික ආතතියකින්. ඒ අය කියන්නෙම “ෆාදර් අපිට මොන දේ ලැබුණත් අපේ අම්මා, තාත්තා, සහෝදරයා ආයෙ එන්නෙ නෑ” කියලයි. මේ දරුවන් වෙනුවෙන් අපි කොච්චර කවුන්සිලිං කළත් මේ දරැවන්ව යථා තත්ත්වයට පත්කරන්න ගොඩක් අමාරුයි. අද වෙද්දී මම ගෙවල් දෙසියවිසි පහකට විතර ගිහින් තියෙනවා. සමහර ගෙවල්වලට තුන් හතරපාරක් විතර ගියා. ඒ යන හැම සැරයකම ඒ අයට සිදුවීම අමතක වීමක් වෙලා නැහැ. තාම ඒ අයට ඒක අද ඊයෙ වුණා වගෙයි. ඒ අය හිතන්නේ තාමත් ඒ අයගේ අම්මා තාත්තා ඉන්නවා වගේ කියලයි. හැබැයි ඒ අය කියපු දෙයක් තමයි “ෆාදර් හෙට පල්ලියේ පූජාව තිබ්බත් අපි පල්ලියට එනවා” කියලයි. ආරක්ෂක හේතූන් මත සුමාන දෙකක් විතර පල්ලිය වහන්න සිදුවුණා. ඒත් ඒ මිනිස්සු ඉල්ලුවේ ඒ අයගේ දරුවන්, අම්මලා නැතිවුණු පල්ලියේ භූමියේ ඉටිපන්දම් පත්තු කරන්න ඉඩ දෙන්න කියලයි. ඒ වගේම ගමේ බෞද්ධ ජනතාව මේ මිනිස්සුන්ගේ හිත් හදන්න අපිත් එක්ක එකතු වුණා.”
 
බොහෝ මිනිසුන්ට මෙන්ම පියතුමන්ලාට ද බොහෝමයක් රටේ දේශපාලනය පිළිබඳව ඇත්තේ විශාල කලකිරීමකි.
 
“මේ රටේ බෞද්ධ, කතෝලික අපි හැමෝම එකතු වෙලා ඉන්නවා. නමුත් දේශපාලන පිරිසක් විතරක් මේ ජනතාව මගේ කියන දේ තාමත් තේරැම්ගෙන නෑ. ඒ අය දේශපාලන වාසි නිසා ජනතාව මෙහෙයවනවා. සමහර තරුණ දරුවන්ට ගෙදර ඉන්නට අපහසුතාවයක් ඇතිවෙලා. ඔවුන් කවුන්සලිං පවා ප්‍රතික්ෂේප කරනවා. සමහර තරුණ දරුවෝ මේ අම්මා, තාත්තා නැතිවුණු දුක තුනී කරගන්න මත්පැනට යොමු වෙලා. ඇත්තටම මේ හොඳ තරුණ ජීවිත. එයාලා කියන්නෙම “ෆාදර් මම වැඩට ගිහින් එනකොට අම්මා ගේට්ටුව ළඟ ඉන්නවා. දැන් මට අම්මා නැහැ” කියලයි. මේ බෝම්බ ප්‍රහාරයෙන් වැඩිපුරම නැතිවුණේ අම්මලා සහ ගැහැනු දරුවනුයි. අම්මලා තමයි පල්ලියට ආවම ඇතුළට ගිහින් ඉන්නේ. ගෙවල්වල විදුලිය වහන්න දරුවො දැන් කැමති නෑ. ඒ අය දැන් අන්ධකාරයට බයයි. තනියම නාන කාමරයට යන්නෙ නෑ. අපි දැන් දිගටම උපදේශන වැඩසටහන් පවත්වනවා. ඒවට බොහෝ දෙනා යොමු වුණාට එහෙම යොමු නොවුණු පිරිසකුත් ඉන්නවා. සමහර පුංචි දරුවෝ මේ පල්ලියට “බෝම්බ පල්ලිය” කියලත් කියනවා. ඒ අය මේකට එන්න දැන් බයයි. ඒ මානසිකත්වය නැති කරන්න තව අවුරුදු ගණනාවක් යාවි. ඒ නිසා මම දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින්නේ මේක මෙතැනින්ම නවතලා දාන්න. තවත් අහිංසක ජීවිත බිලිගන්නට ඉඩ දෙන්න එපා. මේක හරිම වේදනාකාරී තත්ත්වයක්.” යැයි තුෂාර සම්පත් පියතුමා පැවසීය.
 
කටුවපිටිය දෙව්මැඳුරේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සියලුම බැතිමතුන් ප්‍රාණ පරිත්‍යාගවරුන් ලෙසින් හැඳින්විය හැක. තමන්ගේ ආගම වෙනුවෙන් ඔවුහු ජීවිතය පූජා කළෝය. මොවුන් ශුද්ධවන්තයෝ වූහ. මොවුන් දෙව්මැඳුරට පැමිණ දිව්‍ය සප්‍රසාදය ලබා ඔවුන්ගේ විශ්වාසයේ පොරොන්දුව අලුත් කර අවසන් මොහොතේදී මියගියහ. මේ නිසා මොවුන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය වූ ස්වර්ගරාජ්‍යයට ඇතුළු වන්නට ඇති බව විශ්වාසයයි. මේ නිසාම කටුවපිටිය දෙව්මැඳුරෙන් ද එසේ ප්‍රාණ පරිත්‍යාගවරුන් වූ ශුද්ධවන්තයන් බිහිවන්නට ඇති බවට විශ්වාස කළ හැක.
 
මේ සම්බන්ධව කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක මහතා මෙලෙස අදහස් දක්වයි
 
මේ සම්බන්ධව කතා කිරීමේදී එවැනි දරුවන් වර්ග දෙකකට බෙදිය හැක. ඒ සෘජුවම එම සිද්ධියට මුහුණ පෑ, ඒ සිදුවීම දැකපු දරුවන් සහ පුවත්පත්වලින්, එකිනෙකාගේ කතාබස්වලින් ඒ සිදුවීම හිතට දැනුණු දරුවන් ලෙසයි. බෝම්බ ප්‍රහාරයක් හෝ සොභාදහමෙන් සිදුවන ආපදාවක් වැනි සිදුවීමක් එකවරම සිදුවීමෙන් ඇතිවන පළමු තත්ත්වය වන්නේ දැඩි ලෙස බයක් ඇතිවීමයි. මෙහිදී ශරීරය තුළ හෝමෝන වර්ග රාශියකගේ වෙනස්කම් සිදුවේ. මෙවැනි සිද්ධියට මුහුණ දුන්නු දරුවෝ මෙම බයත් සමඟ විශාල කම්පනයකට මුහුණ දෙති. එය ශාරීරිකව සහ මානසිකව කම්පන ලෙස බෙදිය හැක.
 
දරුවන්ගේ බය සියයට පනහක් ඇති කරන්නේ නිවසේ සිටින මාපියන් සහ වැඩිහිටියන්ය. සිදුවුණු සිදුවීම ගැන දරුවන් ඉදිරියේ නිතර නිතර කතා කිරීමෙන් දරුවා තවත් බයට පත්වේ. මෙවැනි දරුවන්ට නින්ද නොයාම, නින්දෙන් භයානක හීන පෙනීම, නොසන්සුන් බව, කලබල ගතියක් පෙන්නුම් කිරීම, නිතරම තරහා යාම වැනි තත්ත්වයන් ඇතිවිය හැක. මෙවැනි දරුවන් තනිවීමට බියක් දක්වයි. බෝම්බයක් වැනි අපදාවක් ඇතිවීමෙන් ඇතිවන මෙම ලක්ෂණ සාමාන්‍ය ආතති ලක්ෂණ ලෙස හැඳින්විය හැක. මෙම ආතති ලක්ෂණ බොහෝ දුරට පළමු පැය හතළිස් අට අතරතුරේදී බොහෝ දුරට වැඩිවීමක් පෙන්නුම් කරයි. පසුව ක්‍රමක්‍රමයෙන් මෙම ආපදා ලක්ෂණ අඩු වේ. මෙම තත්ත්වය මාසයක් ඇතුළතදී සම්පූර්ණයෙන්ම අඩු වී යයි.
 
“මෙම මාසය ඇතුළතදී දරුවා කෑගසා හඬයිනම් එය කිසිදාක නතර නොකරන්න. දරුවට “අඬන්න එපා” යැයි තරවටු කරන්න එපා. කිසිම මොහොතක මෙම හැසිරීම්වලදී දඬුවම් නොකරන්න. දරුවාව මෙම සිදුවීම සම්පූර්ණයෙන්ම සඟවා තබාගන්න එපා. එවැනි සිදුවීමක් වූ බව සම්බන්ධව දරුවන් සමඟ කතා කරන්න. නමුත් ඒ සිදුවීමට අදාළ ඇතැම් රූපවාහිනී දර්ශන දරුවන්ට පෙන්වීමෙන් වළකින්න. දරුවා ආදරය කරන සමීපම කෙනකු දරුවාට අහිමි වූවානම් දරුවාට ඒ මියගිය තැනැත්තා පිළිබඳ කතා නොකරන්න. ඒ තුළින් දරුවාගේ හිතේ හිරකර තියෙන දුක තුනී කරගන්න උදව් කරන්න. දරුවාට තරහා යන්නේනම් කිසිම මොහොතක එයට තරවටු කරන්න එපා. එවැනි ලක්ෂණ අසාමාන්‍ය ලක්ෂණ බව දරුවාට හඟවන්න එපා. මෙවැනි මොහොතක දරුවන් එක්ක වැඩිපුර සෙල්ලම් කරන්න. ඔවුන් කැමැති තැන්වල දරුවාව එක්කගෙන යන්න.
 
නමුත් එවැනි සිදුවීමක් වීමෙන් මාසයක් පසුවුවත් දරුවාගේ මානසිකත්වය මෙලෙසම වේනම් සුදුසුකම් ලත් මානසික වෛද්‍යවරයකුට දරුවාව පෙන්වන්න. හීනෙන් බයවීම, අධික කෝපය නිසා බඩු පොළොවේ ගැසීම, එක්වරම තරහ ඇති වී අධිකව දහඩිය දැමීම, පාසලේදී බලාගත් අත බලාසිටීම, කෑම අරුචිය, හුදෙකලා වීමට වැඩි කැමැත්තක් දැක්වීම, විෂයන්වලට අඩු ලකුණු ගැනීම වැනි ලක්ෂණ ඇති වේනම් දරුවාට තරවටු හෝ දඬුවම් නොකර මනෝ වෛද්‍යවරයකුට යොමු කරන්න.”
 
විශේෂ ස්තූතිය
තුෂාර සම්පත් පියතුමන්ට (ජේසු නිකාය)
ක්ලීටස් මෙන්ඩිස් කලාකරුවාණන්ට.
 
►දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ
(දේශය පුවත්පත)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  427 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,738 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  41,240 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  38,839 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,956 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,284 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,163 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,555 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,874 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,776 Downloads



Top 10 Commenters

Latest Comments

Top