Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
22
"සාජන් මුතුකුමාරණගේ පිස්තෝල වෙඩි පහරකින් ප්‍රභාකරන් මැරුම් කෑවා..." - ප්‍රභාකරන් සහ LTTEයේ අවසන් මොහොත, යුද බිමේ සිටි රණවිරුවකු හෙළි කරයි - Photos

- "සාජන් මුතුකුමාරණගේ පිස්තෝල වෙඩි පහරකින් ප්‍රභාකරන් මැරුම් කෑවා..." - ප්‍රභාකරන් සහ LTTEයේ අවසන් මොහොත, යුද බිමේ සිටි රණවිරුවකු හෙළි කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

61,901 Views
වෛද්‍ය ප්‍රතිකාර නොලබාම සටන් බිමේ සිටිය සෙබළු ඕනෑතරම් සිටියා..
 
අපි උන්වත් මරාගෙන මැරෙමු කියා කියනවා අපේ අයට ඇසුණා...
 
වන්නි මානුෂිය මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ 2007 සැප්තැම්බර් මාසයේ 1 වැනිදාය.
 
ඒ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙළිකොප්ටර් යානා හයකින් පැමිණි යුද හමුදා විශේෂ බළකායේ වීරෝදාර රණවිරුවෝ කණ්ඩායමක් මන්නාරමේ සිලාවතුර ප්‍රදේශයේ කොටින්ගේ මහ බළකොටු අත්පත් කර ගනිමිනි.
 
එසේ ආරම්භ කරනු ලැබූ වන්නි මානුෂිය මෙහෙයුමේ නිරතව සිටි රණවිරුවෝ සියලු අභියෝග ජය ගනිමින් ඇස් හිස් මස් ලේ අතපය පමණක් නොව ජීවිත ද මව්බිම වෙනුවෙන් පූජා කර අභීත ලෙස සටන් වැද කොටින්ගේ මහ බළකොටු බල ප්‍රදේශ කොටින්ගේ අධි ආරක්ෂිත භූගත මන්දිර අත්පත් කර ගනිමින් විජයග්‍රාහී ලෙස මෙහෙයුම අවසන් කරනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හුමදා ඉතිහාසයට නව පරිච්ඡේදයක් සනිටුහන් කරමිනි.

ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම ලෙස මෙය ලෝක යුද ඉතිහාසයට එක් වී අවසන්ය. වන්නි මානුෂීය මෙහෙයුමේ සැලසුම්කරු මෙන්ම ප්‍රධාන නියමුවා වූයේ එවකට යුද හමුදාපතිවරයාව සිටි ජෙනරාල් සරත් ​ෆොන්සේකා මහතාය.
 
කොටි බලය සුනුවිසුනු කර දැමීමේ මේ මානුෂීය මෙහෙයුම ආරම්භයේ සිට විජයග්‍රාහී ලෙස අවසන් කරන තෙක් එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හමුදාපතිවරයාට ලැබුණේ යෝධ බල යෝධ ශක්තියකි.
 
එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලැබුණු නිවැරැදි දේශපාලන නායකත්වය නොවන්නට මෙවැනි විජයග්‍රහණයක් ලැබීම සැබැවින්ම සිහිනයක් වන්නට ඉඩ තිබිණි.
 
වන්නි මානුෂිය මෙහෙයුම ආරම්භයේ සිට එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ඉහළම පෙළේ කොටි නායකයන් නායිකාවන් එකෙක් නෑර කොටු කර ගන්නා තෙක් යෙදූ සංග්‍රාමික උපක්‍රම ප්‍රභාකරන්ගේ බලගතු යැයි කියා ගත් බුද්ධි අංශයට ද සිතා ගැනීමට නොහැකි තරමට අතිශය ප්‍රබල ඒවා විය.
 
බටහිරින් හා උතුරෙන් පෙරට ආ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා යටතේ පැවැති 53 වැනි සේනාංකය හා බ්‍රිගේඩියර් (වර්තමානයේ මේජර් ජෙනරාල්) ශවේන්ද්‍ර සිල්වා මහතා යටතේ පැවැති 58 වැනි සේනාංකයේ හමුදා රණවිරුවෝ මුලතිව් නන්දිකඩාල් කළපු පෙදෙසේ අභීත ලෙස සටන් කරමින් ඉදිරියට ගමන් කරද්දී බ්‍රිගේඩියර් ප්‍රසන්න සිල්වා මහතා යටතේ පැවැති 59 වැනි සේනාංකයේ රණවිරුවෝ නන්දිකඩාල් කළපුව තරණය කරමින් චලෙයි ප්‍රදේශය ද පසුකර ඊසාන දිග මුහුදු වෙරළ තීරය ඔස්සේ පෙරටම ගොස් ප්‍රහාර එල්ල කරනු ලැබුවේ කොටි ත්‍රස්තයන් අන්දමන්ද කරමින්ය.
 
මෙවැනි සංග්‍රාමික උපක්‍රමයක් කොටි නායකයෝ කිසිසේත් බලාපොරොත්තු වී නැත.
 
නන්දිකඩාල් කළපු මෝය පසු කරමින් 59 වැනි සේනාංකය මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟම ප්‍රභාකරන් ඇතුළු කොටි නායක නායිකාවෝ එතෙක් කාලයක් මිනිස් පළිහක් වශයෙන් තබාගෙන සිටි සාමාන්‍ය වැසියන් දහස් ගණනින් යුද හමුදා පාලන ප්‍රදේශයට කළපුව තරණය කරමින් ඇදී එන්නට පටන්ගෙන ඇත.
 
කොටින්ගේ ග්‍රහණයෙන් මිදී කළපුවේ බැස රජයේ පාලන ප්‍රදේශයට දරුමල්ලන් ද කරපින්නාගෙන ඇදී එද්දී ප්‍රභාකරන්ගේ අණදීමට අනුව ඒ සිවිල් වැසියන් වෙත ගිනියම් වූ වෙඩි උණ්ඩ එක දිගට මුදා හැරියේ ගමන වැළැක්වීමටය.
 
දරු පැටවු ද කරපින්නාගෙන කළපුව තරණය කරමින් සිටි සාමාන්‍ය වැසියන් සිය ගණනක් මිය ගියේ කොටින්ගේ ඒ උණ්ඩවලට බිලිවීමෙනි.
 
නන්දිකඩාල් කළපුව රත් පැහැ ගැන්වී ගියේ කොටින්ගේ වෙඩි ප්‍රහාරවලට ගොදුරු වී කළපුවේ ඇද වැටී මියගිය සාමාන්‍ය වැසියන්ගේ රුධිරයෙනි.
 
මන්නාරම දිස්ත්‍රික්කයේ බටහිර මුහුදුබඩ ප්‍රදේශය හරහා ගමන් අරඹා කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කය හරහා කොටි ත්‍රස්තයන් හා බිහිසුණු සටනක නියැළෙමින් කොටි බළකොටු අත්පත් කර ගනිමින් මුලතිව් නැගෙනහිර වෙරළ තීරය දක්වා නොනවතින මෙහෙයුම් සිදු කළ 58 වැනි සේනාංකය වැඩිම භූමි ප්‍රමාණයක් අල්ලා ගත් හා වැඩිම දුර ප්‍රමාණයක් ගමන් කළ සේනාංකය විය.
 
බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අණදීම යටතේ ගිය 58 වැනි සේනාංකයේ රණවිරුවෝ ගමන් කර ඇති දුර ප්‍රමාණය කිලෝ මීටර් ප්‍රමාණය 190කට ආසන්නය.
 
වන්නි මානුෂීය මෙහෙයුම පළමුවෙන් ඇරැඹූ ප්‍රධාන සේනාංකය වන මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා යටතේ පැවැති 57 වැනි සේනාංකය වවුනියාව, මන්නාරම හා කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක ඔස්සේ මුලතිව් දිස්ත්‍රික්කය තෙක් කොටින්ගේ මහ බළ කොටු සුනු විසුනු කරමින් ජයග්‍රහණ රැසක් හිමිකරගත් සේනාංකයකි.
 
වන්නි මානුෂීය මෙහෙයුමේදී සුවිශේෂී ජයග්‍රහණ රැසක් හිමිකර ගත් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා යටතේ පැවැති 53 වැනි සේනාංකයට ගුවන් සංග්‍රාමික බළසේනාව ද අයත් විය.
 
තිස් වසරක් තිස්සේ රටම භීතියෙන් මුසපත් කළ ලේ ගංගාවක් කළ රුදුරු ත්‍රස්ත නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මැරුම් කෑවේද 53 වැනි සේනාංකය යටතේ පැවැති ගුවන් සංග්‍රාමික බළකායේ නිලධාරියකුගේ වෙඩි ප්‍රහාරයකට ගොදුරු වීමෙනි.
 
ප්‍රභාකරන් කොටුකර ගැනීමේ මෙහෙයුමට සක්‍රීය ලෙස දායක වූ 53 වැනි සේනාංකය යටතේ පැවැති ගුවන් සංග්‍රාමික බළකායේ රාජකාරි කළ යුද හමුදා සැරයන් සී.කේ. යහම්පත් මහතා හමුවූයේ මීට වසර 10කට ඉහතදී ප්‍රභාකරන් කොටු කිරීමේ ඒ මෙහෙයුමේ කතාව අසා දැනගැනීමටය.
 
53 වැනි සේනාංකයේ ගුවන් සංක්‍රමණික බළ සේනාවට අයත් 5 වැනි ගැමුණු හේවා බළ ඇණියේ රාජකාරි කළ යහම්පත් මහතා යුද හමුදාවට බැඳී ඇත්තේ 1990 වසරේ අගෝස්තු මාසයේ 8 වැනිදාය.
 
හමුදා සේවයෙන් 2012 වසරේ පෙබරවාරි මාසයේ 08 වැනිදා පුහුණුව ලැබූ යහම්පත් මහතා හමුදාවේ රාජකාරි කළ කාලය තුළ වසර 18ක්ම ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිට ඇත.
 
මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවකු වන යහම්පත් මහතා පදිංචිව සිටින්නේ හෝමාගම පනාගොඩ ප්‍රදේශ​යේය.
 
විශ්‍රාමික හමුදා සැරයන් සී.කේ. යහම්පත් මහතා මානුෂිය මෙහෙයුම ගැන ඔහුගේ මතකය වචනවලට පෙරළුවේ මෙසේය.
 
"මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට දරුණු සටන් මැද්දේ කොටි බළකොටු එකිනෙක විනාශ කරමින් ඉදිරියටම ගියා. පලෙයි නගරය අත්පත් කර ගැනීමේ සටනේදී කොටි අටවා තිබූ පීඩන බෝම්බයක් පුපුරායාමෙන් අපේ අණදෙන නිලධාරියාව සිටි නලින්ද කුමාරසිංහ සර් එක්ක හමුදාවේ හය දෙනෙක් මිය ගියා. දෙවැනි අණ දෙන නිලධාරියාව සිටි මේජර් අනුරුද්ධ රත්නායක සර් හා මම පීඩන බෝම්බය පුපුරා යාමෙන් ඇතිවූ කම්පනය නිසා ටික වේලාවක් යනකම් සිහි නැතිව ඉඳලා තිබෙනවා. සර්ටයි මටයි සුළු තුවාල සිදුවී තිබුණා. පියවි සිහිය ලැබුණු විගසම වෛද්‍ය ප්‍රතිකාර නොලබාම අපි යළිත් මෙහෙයුමට එක්වුණා...."
 
"කොටි ත්‍රස්තවාදීන්ගේ දරුණු ප්‍රහාර මැද්දේ අපි උන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් බුරුතු පිටින් මරා දමමින් ඉදිරියට ගොස් පුදුකුඩිරිප්පු නගරයේ බලය අත්පත් කරගත්තා. අවුරුදු 16 සහ 18 අතර වයසේ කොටි කොල්ලෝ කෙල්ලෝ පවා අපට ප්‍රහාර එල්ල කිරීමට ආවා. උන්ට හරියට වෙපන් එකවත් හසුරුවා ගන්න බැරි බව පෙනී ගියා..."
 
පුදුකුඩිරිප්පු නගරය හා ඒ අවට ප්‍රදේශ අල්ලා ගැනීමට ඉදිරියට එද්දී ඉදිකර තිබූ සුවිසල් පස් බැමි අත්පත්කර ගැනීමට ද දරුණු සටනක් කිරීමට හමුදා කණ්ඩායම්වලට සිදුවී ඇත.
 
​මේ සුවිසල් පස් බැමි කොටි කල්තියාම ඉදිකර තිබුණේ හමුදාවේ ඉදිරි ගමන වැළැක්වීමේ අරමුණ ඇතිවය.
 
එහෙත් ඒ පස් බැමි සුනුවිසුනු කර දමා පුදුකුඩිරිප්පු නගරය අත්පත් කර ගැනීමට අවසානයේ අපේ රණවිරුවෝ සමත් වූහ.
 
"විශාල පස් බැම්මක් අත්පත් කර ගැනීමට අපිට ලොකු සටනක් කරන්න සිද්ධ වුණා. එදා උදේ ඉඳලා හවස් වෙනකම්ම ඒ පස් බැම්ම සහිත ප්‍රදේශයේ දරුණු සටන් පැවතියා. අවසානයේ ඒ විශාල පස් බැම්ම බිඳ දැමීමට අපට හැකියාව ලැබුණා. මේ වගේ ලොකු පස් බැමි පහක් විතර බිඳ දමා තමා පුදුකුඩිරිප්පු නගරයේ බලය අප තහවුරු කර ගත්තේ...."
 
"පුදුකුඩිරිප්පු නගරයේ බලය තහවුරු කරගත්තාට පස්සේ අපි වෙල්ලමුල්ලිවෛක්කාල් ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීමේ මෙහෙයුම ආරම්භ කළා. වෙල්ලමුල්ලිවෛක්කාල් ප්‍රදේශයේ බලය රැක ගැනීමටත් කොටි ත්‍රස්තයන් විශාල පස් බැම්මක් ඉදිකර තිබුණා. අපේ ඉදිරි ගමන වළක්වා ගැනීමටයි මේ පස් බැම්මක් ඉදිකර තිබුණේ. අපි මේ පස් බැම්ම කඩා බිඳගෙන ඉදිරියට යාමට උත්සාහ කළ අවස්ථාවේ එහිදීත් ලොකු සටනක් ඇවිළී ගියා. උදේ ඉඳන් හවස් වෙනකම් එක දිගට පැවැති දරුණු සටනකින් පස්සේ ඒ පස් බැම්මත් අපි අල්ලා ගත්තා. මේ සටනේදී කොටින් විශාල පිරිසක් මිය ගොස් තිබුණා. අපේ අයටත් හානි සිදුවී තිබුණා. පස් බැමි අල්ලන සටනේදී අපේ 40ක් විතර මිය ගියා. 100කට විතර තුවාල සිදුවී තිබුණා. තවත් සේනාංකයක් ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට එමින් සිටියා...."
 
"මැයි මාසයේ 15 වැනිදා 8.00ට විතර තමා අපේ උසස් නිලධාරියෙක් මේ පස් බැම්ම අල්ලන්න මෙහෙයුම් කරන්න නියෝග ලබා දුන්නේ. ඒ වනවිටත් ධාරාණිපාත වර්ෂාව. කිසිම ‘රෙකී’ එකක් නොකර මහරෑම පස් බැම්ම ඇල්ලීමේ මෙහෙයුම ආරම්භ කළා. කර වටක් කළපු වතුරේ බැහැගෙන ගිහින් තමා පස් බැම්ම විනාශ කළේ. මහ වැස්සේ කළපු වතුරේ කර වටක් බැසගෙන කළ මේ සටන හරිම දුෂ්කර වුණත් අපි ඒ දුෂ්කරතා සියල්ල විඳගනිමින් පස් බැම්ම බිඳ දමා ඒ ප්‍රදේශයේ බලය අල්ලා ගත්තා....."
 
"මැයි මාසයේ 15 වැනිදා රෑ ඉඳලා ඊට පසු දින හවස් වෙනකම් කොටි හා අප අතර සටන පැවැත්වුණා. පස් බැම්ම බිඳ දමා එහි බලය තහවුරු කර ගත්තාට පස්සේ ඒ සතුටින් උද්දාමයට පත්වුණ අපේ ගුවන් සංග්‍රාමික බළ සේනාවේ දෙවැනි ලුතිනන් අමරසිංහ සර් පස් බැම්ම තිබුණ තැනට එක් වරම දුවගෙන ගිහින් කැඩී ගොස් තිබුණ පස් බැම්මේ කොටසක් බදා ගත්තා. ඒත් එක්කම එතැන අටවා තිබූ බෝම්බ වැළක් පුපුරා යාමෙන් දෙවැනි ලුතිනන් අමරසිංහ සර් මිය ගියා.." යැයි ද විශ්‍රාමික හමුදා සැරයන් යහම්පත් මහතා පැවැසුවේ හැඟුම් බරවය.
 
"සටනේදී තුවාල ලැබූ සැරයන් ඒකනායකට තුවාලවලට ප්‍රතිකාර ලබාගන්න එයාට සටන් භූමියෙන් පිටුපසට යන ලෙස ඉහළ නිලධාරීන් උපදෙස් ලබා දුන්නා. ඔහු ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කර දිගටම මෙහෙයුමට සම්බන්ධවීමට අවශ්‍ය බව තරයේම කියා සිටියා. සැරයන් ඒකනායක එදිනම සටනේදී මිය ගියා. වෛද්‍ය ප්‍රතිකාර නොලබාම එක දිගට සටන් බිමේ සිටිය සෙබළු ඕනෑතරම් සිටියා. ඒ තරමට ඔවුන් ලොකු කැප කිරීම් කරමින් මව්බිම වෙනුවෙන් සටන් කළා" යැයි ද යහම්පත් මහතා පවසයි.
 
පුදුමාතලන් අල්ලා ගත්තාට පස්සේ හමුදා බළ ඇණි වෙල්ලමුල්ලි වයික්කාල් බලා ගොස් ඇත.
 
සාමාන්‍ය වැසියන් මිනිස් පළිහක් වශයෙන් යොදාගෙන කොටි ත්‍රස්තයන් ඉදිරියට ඇදෙන සේනාංක වෙත ප්‍රහාර එල්ල කළත් හමුදාව ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත්තේ බොහොම පරිස්සමින්ය.
 
ඒ වෙන කිසිවක් නිසා නොව සාමාන්‍ය වැසියන්ට සිදුවිය හැකි හානි ගැන සැලකිල්ලට ගනිමිනි.
 
බර අවි යොදා ගනිමින් ප්‍රහාර එල්ල කිරීමෙන් ද හමුදාව වැළකී සිටියේ අහිංසක සාමාන්‍ය වැසියන් ගැන කල්පනාකර බලාය.
 
කොටි ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡත්වය කොතරම්ද යත් ඔවුන් සාමාන්‍ය වැසියන් ඉදිරියට දමා ප්‍රහාර එල්ල කර ඇත්තේ ජීවිතය ගලවා ගැනීමේ අන්තිම තුරුම්පුව වශයෙනි.
 
"වෙල්ලමුල්ලිවෛක්කාල් ප්‍රදේශයේ කුඩා බිම් තීරුවකට ඒ වෙනකොට ප්‍රභාකරන් ඇතුළු ඉතිරිව සිටි කොටි නායක නායිකාවන් සිරවෙලා හිටියේ. ඔවුන් සාමාන්‍ය වැසියන් අතරේ සැඟව සිටියා. අපි ශබ්දවාහිනි යන්ත්‍ර යොදාගෙන සාමාන්‍ය වැසියන්ට අපේ පාලන ප්‍රදේශයට එන්න කියා දැනුම් දීමක් කළා. අපේ දැනුම්දීමට අනුව සාමාන්‍ය වැසියෝ වැල නොකැඩී කළපුව තරණය කරගෙන අපි ඉන්න පැත්තට එන්න පටන් ගත්තා. එතකොට තමා කොටි ඉවක් බවක් නැතිව සාමාන්‍ය වැසියන්ට වෙඩි තියන්න පටන් ගත්තේ. සාමාන්‍ය වැසියෝ අතරේ හොඳට සිංහල දන්න අයත් හිටියා. ‘මහත්තයෝ කොටි සාමාන්‍ය වැසියන්ට එන්න ඉඩ දෙන්නේ නැහැ. උන්ගේ නියෝග නොතකාලන අයට වෙඩි තියනවා’ කියා ඔවුන් අපිත් එක්ක කිව්වා..."
 
"මැයි මාසයේ 18 වැනිදා අලුයම 1.00ට විතර පිරිසක් අපෙන් ඉල්ලීමක් කළා. රජයේ පාලන ප්‍රදේශවලට එන්න ඉඩ දෙන්න කියා. අපි කිව්වා මේ වෙලාවේ ඇතුළට ගන්න බැහැ. උදේ 6.00 විතර ඇතුළට ගන්නම් කියා. ඒත් ඔවුන් කිව්වා විශාල පිරිසක් රජයේ පාලන ප්‍රදේශයට එන්න බලාගෙන ඉන්න නිසා කොහොම හරි ඇතුළට ගන්න කියා බැගෑපත් වෙන්න පටන් ගත්තා. අපි ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. සාමාන්‍ය වැසියන් පිරිසක් අතරේ කොටි ත්‍රස්තවාදීන් කණ්ඩායමක් ඇවිත් තමා මේ ඉල්ලීම ඉදිරිපත් කර තිබෙන්නේ. ඒ කොටි කණ්ඩායම සිවිල් වැසියන් ලෙස වෙස්වළාගෙන වෙපන් අරගෙන ඇවිත්. අපි උන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළාට පස්සේ දිගට හරහට වෙඩි තියන්න පටන් ගත්තා. කොටි කණ්ඩායම වෙඩි තියාගෙන ඉදිරි ආරක්ෂක වළල්ල කඩාගෙන එක්වරම ඇතුළට පැන්නා..."
 
"එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට අපිත් ප්‍රති ප්‍රහාර එල්ල කළා. උන් දැනගෙන හිටියේ නැහැ හමුදාවේ දහස් ගණනක් ඒ වෙනකොට අපිත් එක්ක ඉන්නවා කියා. දෙපාර්ශ්වය අතර සෑහෙන වේලාවක් යනකම් ලොකු සටනක් ඇවිළී ගියා. කොටින්ගේ පාර්ශ්වයෙන් වෙඩි ප්‍රහාර එල්ලවීම නතර වුණා. ඊට පස්සේ හමුදා භට කණ්ඩායම් සටන පැවැති ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කළා. වෙඩි කා මැරී වැටී සිටි කොටින්ගේ සිරුරු සොයා මෙහෙයුම් ආරම්භ කළා. එතකොට අපිට කොටි මළ සිරුරු අතරේ තිබී හොඳින් වැඩුණු සුදුපාටට හුරු මළ සිරුරක් ද සොයා ගැනීමට හැකියාව ලැබුණා. මෙය විශේෂිත කෙනෙකුගේ සිරුරක් බව පෙනී ගියා. පස්සේ අපි ඒ මළ සිරුර ප්‍රභාකරන්ගේ පුතා චාල්ස් ඇත්තනිගේ බවට හඳුනා ගත්තා. ප්‍රභාකරන්ගේ පුතාගේ මළ සිරුරත් එක්ක තවත් කොටි මළ සිරුරු 11ක් තිබී සොයා ගත්තා. චාල්ස් ඇන්තනි ඇතුළු කොටි කණ්ඩායම අපි ඉන්න තැනින් පැනලා මුහුද පැත්තට ගිහින් එහි සිට උන්ගේ සබ්මැරීන් එකකින් ඉන්දියාවට පැන ගන්න තමා සූදානම්වෙලා ඉඳලා තියෙන්නේ කියා පසුව දැන ගැනීමට ලැබුණා. තාත්තාට පැන ගන්න පාරක් තියෙනවාද කියා බලා ගන්නත් එක්ක තමා චාල්ස් ඇන්තනි ඇතුළු කොටි කණ්ඩායම ඇවිත් තියෙන්නේ කියාත් පසුව අපි අල්ලා ගත් කොටින්ගෙන් හෙළිකර ගත්තා..."
 
චාල්ස් ඇන්තනි මැරුම්කා වැටී සිටි ස්ථානයේ තිබූ බ්‍රීෆ් කේස් එකක රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක පමණ මුදලක් ද තිබී සොයාගෙන ඇත.
 
"ඇතුළට කඩා වැදිලා නන්නත්තාර වෙලා හිටිය කොටි ත්‍රස්තවාදීන් හුඟ දෙනෙක් ගිනි අවි අපට භාරදීලා මරන්න එපා සර් කියා දණ ගහලා වැන්දා. යටත් වූ කිසිම කෙනෙකුට වෙඩි තිබ්බේ නැහැ. අපි ඔවුන්ව කඳවුරුවලට යැව්වා...."
 
"මම තවත් විශේෂ යමක් මෙහිදී කියන්න අවශ්‍යයි. මැයි මාසයේ 18 වැනිදා අලුයම අපේ තුවාලකරුවන් අරගෙන ගිය ගිලන් රථයක් ආවා. ඇතුළට ඇවිත් හිටිය කොටි කණ්ඩායමක් මේ ගිලන් රථය අල්ලා ගත්තා. කොටි ගිලන් රථය අල්ලා ගන්න එද්දි හමුදා ගිලන් රථ රියැදුරා හා තුවාලකරුවන් එළියට පැන ගත්තා. කොටි ඒ ගිලන් රථයට බෝම්බ ගසා පුපුරුවා හැරියා. ගිලන් රථ රියැදුරා සහ හමුදාවේ තුවාලකරුවන් බඩගාගෙන ගිහින් කෝවිලකට රිංගා ගත්තා. පස්සේ ඒ ඇම්බියුලන්ස් එක අල්ලන්න ආපු කොටින්ටත් අපේ කට්ටිය වෙඩි තබා මරා දැම්මා...."
 
ඒ විශ්‍රාමික සැරයන් යහම්පත් මහතාගේ හඬයි.
 
නන්දිකඩාල් කළපුවේ දූපත් හයක් පිහිටා තිබෙන අතර ප්‍රදේශයේ දරුණු සටන් ඇවිළී යද්දී ප්‍රභාකරන් ඇතුළු කොටිනායක නායිකාවන් මේ දූපත් හයෙන් එකකට පැනගොස් ඇත.
 
ඒ දූපතේ කඩොලාන කැලෑවේ ප්‍රභාකරන් ඇතුළු කොටි නායක නායිකාවන් සැඟව සිට ඇත්තේ ඔහුගේ ශරීර ආරක්ෂකයන් වූ මරාගෙන මැරෙන කළු කොටි 30 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් ද සමගය.
 
"කඩොලාන කැලෑවේ ප්‍රභාකරන් හැංඟිලා ඉන්නවා කියා අපට ආරංචියක් ආවා. ඒ ආරංචියට අපි කඩොලාන කැලෑව වැටලුවා. කොටි වටකරගෙන හිටිය බ්ලැක් ටයිගර්ස්ලාගෙන් එකෙක් කිව්වා හමුදාව වටකරලා තියෙන්නේ. අපි උන්වත් මරාගෙන මැරෙමු කියා කියනවා අපේ අයට ඇසුණා. එහෙම කියලා උන් අපිට ෆයර් කරන්න පටන් ගත්තා. අපිත් ෆයර් කළා. එහිදී දෙපාර්ශ්වය අතර ලොකු සටනක් ඇවිලී ගියා. සාජන් මුතුකුමාරණ පිස්තෝලයකින් තැබූ වෙඩි ප්‍රහාරයකින් තමා ප්‍රභාකරන් මැරුම් කෑවේ. ප්‍රභාකරන්ගේ සිරුර දැක්කට පස්සේ අපට ඇති වෙච්ච සතුට කියා නිම කරන්න බැරිව ගියා. ඊට පස්සේ කඩොලාන කැලෑවේ ඉඳලා ප්‍රභාකරන්ගේ සිරුර ඔසවාගෙන අපි ආවා...."
 
දශක තුනක් තිස්සේ රටම ලෙයින් තෙත් කළ දහස් සංඛ්‍යාත අහිංසක මිනිසුන්ගේ, ගැහැනුන්ගේ, කිරි දරුවන්ගේ ලේ රස බැලූ මරාගෙන මැරෙන බෝම්බ සංස්කෘතිය ලෝකයට හඳුන්වා දුන් ලෝකයේ සිටි භයානකම ත්‍රස්තවාදී නායකයා වූ ප්‍රභාකරන්ගේ සිරුර අපේ හමුදාව සොයා ගත්තේ 2009 වසරේ මැයි මාසයේ 19 වැනිදා. එනම් අද වැනි දවසක උදේ 10.55ට පමණය.
 
පී.ඒ. චන්ද්‍රසිරි, ජගත් ජයසූරිය, ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස්, කමල් ගුණරත්න, ප්‍රසන්න සිල්වා, නන්දන උඩවත්ත හා මෙන්දක සමරසිංහ යන සෙන්පතිවරු ද වන්නි මානුෂීය මෙහෙයුමේදී සුවිශේෂී දායකත්වයක් ලබාදුන් අය අතරේ පෙරමුණේ සිටියහ.
 
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාව සිටි එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා, නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක, පොලිස්පති ජයන්ත වික්‍රමරත්න සහ සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් සරත් වීරසේකර යන මහත්වරුන් ද වන්නි මානුෂීය මෙහෙයුම ආරම්භයේ සිට අවසානය දක්වා ලබා දුන් සහාය කියා නිම කළ නොහැක.
 
පාබළ සේනාංක ගොඩබිමෙන් ප්‍රහාර එල්ල කරද්දී ගුවන් හමුදාව කොටින්ගේ මර්මස්ථාන කඳවුරු සංකීර්ණවලට බෝම්බ හෙළා විනාශ කළහ.
 
කොටි දේශපාලන අංශයේ නායක තමිල් චෙල්වම් මැරුම් කෑවේද ගුවන් ප්‍රහාරවලිනි.
 
ශ්‍රී ලංකා නාවික හමුදාව කොටින්ගේ අවි නැව්වලට, ප්‍රහාරක යාත්‍රාවලට ප්‍රහාර එල්ල කර විනාශ කර දමමින් කළ මෙහෙය ද සුවිශේෂීය.
 
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
-ඉරිදා ලංකාදීප-


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,116 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,164 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  11,280 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  848 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  510 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,513 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,511 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,000 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,431 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,318 Downloads



Top 10 Commenters

Latest Comments

Top