එංගලන්තයේ ටෙලිග්‍රාෆ් පුවත් පත හෙළිකරයි.....
ක්‍රිකට් තරඟවලදී සිදුවන ක්‍රියාකාරකම් මුදලට යට කිරීම සම්බන්ධයෙන් ඉදිරි මාස දෙක ඇතුළතදී ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව තව තවත් චෝදනා එල්ල විය හැකි බව එංගලන්තයේ ටෙලිග්‍රාෆ් පුවත් පත වාර්තා කරනවා.
ටෙලිග්‍රාෆ් පුවත් පතේ මාධ්‍යවේදී නික් හෝල්ට් සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් අතර පැවැති සාකච්ඡාවකදීයි මේ බව හෙළිදරව්වී ඇත්තේ.
ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විවිධ පුද්ගලයන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳව වසරකට ආසන්න කාලයක් තිස්සේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය පරීක්‍ෂණ පවත්වනවා.
මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්‍ෂණ මේ වසර අගභාගය දක්වාම පැවැත්වෙන බවද ටෙලිග්‍රාප් වාර්තාවේ සඳහන්.
මීට දින කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පරිගණක විශ්ලේෂකයකු වූ සනත් ජයසුන්දර මහතාට එරෙහිව දූෂණ චෝදනා ගොණු කළ අන්තර්ජාතික ක්‍රිකට් සභාව අනතුරුව ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධනට එරෙහිවද දූෂණ චෝදනා එල්ලවී ඇති බව ප්‍රකාශ කළා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ටී-10 තරගාවලියකදී ඇතිවූ බව සඳහන් සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අවිශ්ක ගුණවර්ධනට එරෙහිව මෙලෙස චෝදනා එල්ල වුවද, පසුව ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළා.
එහිදී අවිශ්ක ගුණවර්ධන සඳහන් කළේ තමන්ට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවයි.