තිස්හත් වියැති මේගන් Grace Wales bonner නිම කළ ක්‍රීම් පැහැති කෙටි ගවුමකින් හා manolo Blahnik නිර්මාණය කළ අඩි උස පාවහන් යුගලකින් සැරසී සිටියාය. GH Hort & Son සමාගම නිර්මාණය කළ බැටළු ලොම්වලින් සැකසූ සුදු පැහැති බ්ලැන්කටයකින් සුව පහසු ලෙස ඔතාගත් අලුත උපන් බිළිඳා අතදරාගත් හැරී හැඳ සිටියේ ළා අළු පැහැති ඇඳුමකි.
හැරී සහ මේගන් යුවළ තම පුතුට යෙදූ නම කිසිවකුත් බලාපොරොත්තු නොවූ ආකාරයේ නමක් බවයි කියැවෙන්නේ. “ආවි” යන නාමය බ්‍රිතාන්‍ය රජ පවුල හා එතරම් රාජකීය අදහසක් නොපෙන්වන බව සමහරුන්ගේ අදහසයි. “හැරිසන්” යන්න රාජකීය පවුල සඳහා එක්වන අලුත්ම නාමයක් බව කියැවේ. හැරිසන් යන්න ඇමෙරිකානු හුරුවට කියැවෙන නාමයක් ලෙස සැලකුනත් “ආවි” යන නම බ්‍රිතාන්‍යයටත් වඩා ඇමෙරිකාවේ ජනප්‍රිය නාමයක් සේ ගැනේ. අව්‍යාජ, නිර්භීත යන්න ඉන් අරුත් ගැන්වේ.
රජ පවුලේ අන් අයගේ නම්වලට වඩා “ආචි” යන නම ජනප්‍රිය වෙතැයි බොහෝ දෙනා මත පළ කරති. හැරී සහ මේගන්ගේ ආදරයේ ජීවමාන සංකේතය වූ “ආචි” මෙලොව උපත ලැබුවේ ඉකුත් 6 වැනිදා එරට වේලාවෙන් උදෑසන 5.26ට පමණය. මේගන් සිය මන්දිරයේදී දරු ප්‍රසූතිය සිදුකළ බව පැවසුණද ඇය ලන්ඩනයේ පෝට්ලන්ඩ් රෝහලේදී දරු ප්‍රසූතිය සිදුකළ බව කියැවේ. රාජකීය පවුලට එක්වුණු අලුත් බිළිඳාගේ සුවිශේෂීත්වය වනුයේ ජාතීන් දෙක සම්මිශ්‍රණයෙන් බිහිවුණු පළමු රාජකීයයා ආචි වන නිසාය.
රජ පවුලට අලුතින් එක්වුණු ආචි රජ කිරුළේ හත් වැනි උරුමකරු වුවත් 'කුමරා' යන්න භාවිත කිරීමේ අයිතිය ඔහු වෙතින් ගිලිහී ගොස් ඇත්තේ එයට රජ පවුලේ එක්තරා සම්ප්‍රදායක් හරස් වීම නිසාය. ආචිට හැරී කුමරුගේ දෙවැනි නම්බු නාමයක් වන 'Earl of Dumbarton' යන්න භාවිත කළ හැකි වුවත් එය තම පුත් කුමරුට භාවිත නොකිරීමට හැරී - මේගන් යුවළ තීරණය කොට තිබේ.
“ඒක මැජික් එකක්. හරිම ආස්වාදනීයයි. මේ ලෝකේ ඉන්න හොඳම පුද්ගලයෝ දෙන්නා ඉන්නේ මට. ඉතින් මම ඇත්තටම සතුටින්.”
වින්ඩ්සර් මන්දිරයේදී පුංචි ආචි එක්ක ප්‍රසිද්ධියේ පෙනී සිටීමේ මොහොතෙදී මේගන් එහෙම කියලා තිබුණේ හිනහා වෙවී. “ඔහු ඇත්තටම හරිම සන්සුන්” මේගන් හැරී දිහා බලද්දි “මම දන්නේ නැහැ එයා කාගෙන් ඒ දේ ගත්තද කියා පවසමින්” මහ හයියෙන් දෙන්නත් එක්ක හිනා වෙලා තිබුණා.
හරිම සැහැල්ලුවෙන් මේ දෙන්නා මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියදී පුංචි ආචි හිටියේ සුව නින්දක. සුදු පාට බ්ලැන්කට් එකක් ඇතුළට වෙලා ආචි නිදාගනිද්දි එතැන හිටිය මාධ්‍යවේදීන් විමසලා තිබුණේ පුංචි ආචි කවුරු වගේද කියලයි.
“හැමෝම කියනවා ඉපදිලා සති දෙකක් යද්දි පුංචි බබාලා හුඟක් වෙනස් වෙනවා කියලා. තව මාසයක් විතර යද්දි එයා හුඟක් වෙනස් වෙයි. දවස ගාණෙම එයා වෙනස් වෙනවා. කවුද දන්නේ කවුරු වගේ වෙයිද කියලා.”
හැරී එහෙම කියලා පුංචි ආචිගේ මුහුණ කැමරාවලට තවත් නිරාවරණය කරමින් හිනාවෙලා තිබුණා. “දැනටමත් එයාගේ මුහුණේ පුංචි පුංචි කෙස් ගස් වැවිලා.” හැරී ඒ අතරේ ඔය වගේ පුංචි විහිළුවකුත් කරලා.
ආචිගේ නම හරිම අහම්බයක්. රජ පවුලේ ඉපදෙන අලුත් කුමාරයට ඇලෙක්සැන්ඩර්, ආතර්, ඇල්බර්ට්, එඩ්වර්ඩ්, පිලිප් වගේ නමක් තෝර ගනී කියලා හිතුවත් ඒ නම් සියල්ල අලුත මවුපිය පදවි ලැබූ රාජකීය යුවළ කපා හැරලා තිබුණා. “සාම්ප්‍රදායික නමකටත් වඩා එයාලා ආදරේ කරන නමක් තෝරාගෙන තිබුණා.”
CNN සේවයේ රාජකීය පවුලේ වාර්තාකරු කියලා තිබුණේ ඒ විදියට.
රජ පවුලේ අලුත් බිළිදා මාධ්‍යයට නිරාවරණය කරලා පැය කිහිපයක් ගත වෙද්දි ඔහුගේ නම ප්‍රකාශයට පත්කෙරුණේ නිල ඉන්ස්ටර්ග්‍රෑම් අඩවිය හරහා. ඒ ආචි හැරිසන් මවුන්ට්බැටන් වින්ඩ්සර් යන්නය. හැරීට පිරිනැමුණු නම්බු නාමවලින් එකක් පුංචි ආචිට නිතැතින්ම හිමි වුණත් මේ යුවළ ඒ කිසිවක් අලුත උපන් බිළිදාට නොදෙන්න තීරණය කර තිබුණත් කවදාහරි චාල්ස් කුමරුට සිංහාසනය හිමි වූ දිනෙක පුංචි ආචිට රජකුමරකුගේ ගෞරව නාමය නිතැතින්ම හිමිවෙනවා.
පුංචි ආචිව බලන්න මුලින් ඇවිත් තිබුණේ අනුතුන් වියැති මිත්තණිය සහ මුත්තණුවන්. එළිසබෙත් මහ රැජන හා එඩින්බරෝ ආදිපාදවරයා එයාලගේ අටවැනි මී මුනුපුරා මුලින්ම මුණගැහිලා තිබුණේ වින්ඩ්සර් මන්දිරයේදී. මේ අවස්ථාවට මේගන්ගේ අම්මා ඩෝරියාත් එක්වෙලා තිබුණා.
ආචිගේ අනිත් සහෝදරයන්ට වඩා ආචිගේ උපත් බර අඩු අගයක් පැවැතුණ බව හෙළිවෙනවා. 2018 ජුලි මාසයේදී ඉපදුණු ජෝර්ජ් කුමාරයාගේ උපත් බර සටහන් වුණේ කිලෝ ග්‍රෑම් 3.8ක් ලෙස. 2015 මැයි මාසයේදී වයලට් කුමරිය ඉපදුණේ කිලෝග්‍රෑම් 3.7ක බරක් සහිතව. ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේදී ඉපදුණු ලුවිස් කුමාරයා කිලෝ ග්‍රෑම් 3.8ක බරකින් ඉපදිලා. නමුත් ආචිගේ උපත් බර සටහන් වෙලා තියෙන්නේ කිලෝග්‍රෑම් 3.2ක් ලෙස.
මේගන් කියන්නේ රාජකීය පවුලට එක්වුණු ඇමෙරිකානු - අප්‍රිකානු සම්භවයක් සහිත අයෙක්.
අලුත උපන් බිළිඳා මිශ්‍ර සම්භවයකට උරුමකම් කියන අමෙරිකානු මවකටත් - බ්‍රිතාන්‍ය පියකුටත් දාව උපන් නිසා ද්විත්ව පුරවැසිභාවයක් වුවත් දැරිය හැකියි කියලා වාර්තා පළ වෙනවා.
එළිසබෙත් මහ රැජනගේ අටවැනි මී මුනුපුරා ලෙස ආචි හැඳින්වුවත් ඩෝරියාගේ (මේගන්ගේ මව) පළමු වැනි මුනුපුරා පුංචි ආචි නිසා ඇය බොහෝම සතුටින් සහ ආඩම්බරයෙන් මේ දිනවල කල් ගෙවනවා කියලා වාර්තා පළ වෙනවා.