මීට මාසයකට පමණ පෙර පුලස්තිපුර ප්‍රදේශයේදී අතුරුදන්වු තරුණියකගේ බවට සැකකරන පිළිස්සූණු අවයව කොටස් පොළොන්නරුව - ලක්ෂ උයන ප්‍රදේශයේ පිහිටි වෙල්යායක තිබී ඊයේ (12) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.
ඒ, අදාළ තරුණිය සේවය කළ පොළොන්නරුව ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවය කර ඇති ඇගේ පෙම්වතා බව කියන විවාහක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණය වූ කරුණු වලට අනුවයි.
එහිදි තරුණියගේ ඝාතනය තමන් විසින් සිදුකළ බව ඔහු පොලිසියට පාපොච්චාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
පුලස්තිපුර - බී ඕ පී ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි මෙම තරුණිය පසුගිය අප්‍රේල් 10 වනදා සිට නිවසින් අතුරුදන්ව ඇති බවට ඇගේ පියා පුලස්තිපුර පොලිසියට පැමිණිලි කර තිබුණා.
ඒ අනුව විමර්ශණ පැවැත්වූ පොලිසිය පොළොන්නරුව - සේවාගම ප්‍රදේශයේ පදිංචි ඇයගේ පෙම්වතා බවට පැවසෙන පුද්ගලා අත්අඩංගුවට ගනු ලැබුවා.
මීට මාස 3කට පමණ පෙර දෙදෙනා අතර පෙම් සබදතාවක් ආරම්භ වී ඇති අතර, සිය පෙම්වතා විවාහකයෙකු බව තරුණිය දැනගෙන ඇත්තේ ඇය අතුරුදන් වන්නට සති කිහිපයකට පෙරදීයි.