පසුගියදා සිදුවූ පිපිරීම්වලට සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කර තිබූ වෑන් රථයක් සහ යතුරුපැදියක් වරකාපොල නිවසක තිබී පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා.
එම බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ට ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ අදාළ වැටලීම සිදුකරනු ලැබුවේ විශේෂ කාර්ය බලකායේ කෑගල්ල කඳවුරේ පොලිස් පරීක්ෂක රෝහණ විජිතකුමාර ඇතුලු නිලධාරීන් කණ්ඩායමක්. වරකාපොල - අඟුරුවැල්ල පාරේ මස්ජිඞ් මාවතේ 9 ඒ, දරණ නිවස තුළ සඟවා තිබී මුලින්ම සොයාගනු ලැබුවේ 144 - 2446 අංකය සහිත තැඹිලි පැහැති ටේ්‍රල් වර්ගයේ යතුරුපැදියයි.
පසුව SGPH 3779 අංකය සහිත වෑන් රථය සොයාගැනුනා.
සෝදිසියෙන් සිටින ලෙස පොලිස්පතිවරයා ඊයේ දැනුම්දුන් වාහන හතරට මෙම යතුරුපැදිය සහ වෑන් රථයද අයත්ව තිබුණා.
පසුව නිවස පරීක්ෂා කිරීමේදී සන්නිවේදන කටයුතු සඳහා යොදාගන්නා වෝකි ටෝකි හතරක්ද සොයාගැනුනු අතර, ඒවා ක්‍රියාත්මක තත්ත්වයේ පැවති බවයි වැටලීම සිදුකළ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු සඳහන් කළේ.
අනතුරුව අදාළ නිවසේ සිටි 47 හැවිරිදි මොහොමඞ් ජුනයිඞ් මොහොමඞ් ආම්න් නැමති සැකකරුවෙකු සහ තවත් පුද්ගලයෙකු පොලිස් භාරයට ගනු ලැබුවා.
මෙම වෑන් රථය කුලී පදනම මත පුද්ගලයින් ප්‍රවාහනය කර ඇති අතර, රථයේ රියදුරා වශයෙන් කටයුතු කර ඇත්තේ මොහොමඞ් ජුනයිඞ් නැමති සැකකරුයි.
මොහු හෙම්මාතගම ප්‍රදේශයේ මුස්ලිම් පූජකවරයෙකු විසින් කරන ලද වෙන් කිරීමකට අනුව පසුගිය 14 වනදා ඩුබායි සිට පැමිණි සංචාරකයින් පිරිසක් පසුගිය සති දෙක තුළ මෙම වෑන් රථයෙන් ප්‍රවාහනය කර ඇති බවට හෙළිවී තිබෙනවා.
පසුව මෙම පූජකයාද පොලිස් භාරයට ගැනුනා. දැනට සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ එම පූජකයා වෑන් රථය පැදවූ රියදුරා සමඟ සමීප සබඳතාවක් පවත්වා ඇති බවයි.
කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවල සිදුවූ පිපිරීම්වලට මෙම වෑන් රථය භාවිත කර ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.
සැකකරුවන් මේ වනවිට වරකාපොල පොලීසිය භාරයට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
මේ අතර පාස්කු ඉරු දින මෙරට සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශණය සඳහා ඇමරිකාවේ එෆ්.බී.අයි. නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් කියා සිටියේ ඔවුන් මෙම ප්‍රහාර සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙන පරීක්ෂණවලට සහය ලබාදෙනු ඇති බවයි.
ඊට අමතරව ජාත්‍යන්තර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක්ද දිවයිනට පැමිණ තිබෙනවා.
පිපිරීම්වලට සම්බන්ධ සැකකරුවන්, විදෙස් රටවල ක්‍රියාත්මක ත්‍රස්ත සංවිධාන සමඟ පැවැත්වූ සබඳතා හෙළිකර ගැනීමේ අරමුණින් ඔවුන් පරීක්ෂණ සිදුකරනු ඇති.