වැනීසිය යන නම ඇසූ පමණින්ම අපට මතකයට නැගෙන්නේ ඇළ මාර්ග රැසකින් සෑදී තිබෙන දිය මත පාවෙන නගරයක සුන්දර දසුනකි. මහාමාර්ග නැති වැනීසිය කුඩා දූපත් එකිනෙකට යා කෙරෙනා දිය මාර්ග හා ගොන්ඩෝලා බෝට්ටුවලට ලොව ප්‍රසිද්ධයි.
මේ සියල්ලටම වැඩිය වෙස් මුහුණු සඳහා වැනීසිය ප්‍රසිද්ධ වී තිබෙන්නේ වෙස් මුහුණු සඳහාම වෙන්වූ සැණකෙළියක් එහි තිබෙනා නිසායි. ශතවර්ෂ ගණනාවක ඉතිහාසයක් ඇති මේ උත්සවය සෑම වසරකම සංචාරකයන් දහස්ගණන් ආකර්ෂණය කරගැනීමට සමත් වී තිබෙනවා.
ක්‍රි. ව. 1296දී මේ සැණකෙළිය මහජන උත්සවයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර මෙම සැණකෙළියේ ආරම්භය ඊටත් වඩා අතීතයට දිව යනවා. ක්‍රිස්තියානි බැතිමතුන් ජේසු තුමන් උකුත් වූ චතාරික සමය මත්පැන්, සාද වැනි විනෝද කටයුතුවලින් වැළකී සිටීම නිසා චතාරික සමයට පෙර හැකිතරම් විනෝද වීම සඳහා මෙම සැණකෙළිය පවත්වනු ලබනවා.
මේ නිසා සති කිහිපයක් පුරාවට සංගීත සංදර්ශන, නැටුම් හා සාද වැනීසිය පුරා දකින්නට ලැබෙනවා. නමුත් මෙහි විශේෂත්වය වන්නේ විනෝද වන සෑම පුද්ගලයකුම වැනීසියේ සාදන ලද වෙස් මුහුණක් පැලඳගෙන සිටීමයි. මෙහි අරමුණ වී තිබෙන්නේ අතීත ජන සමාජයේ තිබූ පන්ති භේදය මේ සැණකෙළියෙන් ඉවත් කිරීමයි. පුද්ගලයාව හඳුනාගැනීමට නොහැකි නිසා ඔහුගේ සමාජ තත්වය සැලකීමට අනෙක් අයට අවශ්‍ය නොවේ.
මේ නිසා සියලුදෙනාටම එකසේ විනෝද වීමට හැකියාවක් ලැබේ. වර්තමානය වනවිටත් මෙම සංස්කෘතිය එලෙසින්ම පවතින්නේ සියලු දෙනාම අතීතයේ මෙන් වෙස් මුහුණු හා අලංකාර ඇඳුම්වලින් සැරසී සැණකෙළියට සහභාගි වීම නිසායි.
මහජන සන්දර්ශන, ප්‍රදර්ශන, වීදි ප්‍රසංග, පෞද්ගලික සාද හා වෙස්මුහුණු සංස්කෘතිය හා බැඳුණු නාට්‍ය වර්තමානය වන විට මෙම සැණකෙළියට එකතු වී තිබෙන අංග වනවා. 18 වැනි ශතවර්ෂයේදී මේ උත්සවය පිළිබඳව ලෝකයේ අනෙකුත් රටවල අවධානය ලැබීමත් සමඟ මෙම උත්සවයේ වටිනාකම වැඩි වී තිබෙනවා.
නමුත් පසුව එල්ල වූ ප්‍රංශ හා ඔස්ට්‍රියානු ආක්‍රමණ හේතුවෙන් වෙස් මුහුණු පැලඳීම තහනම් වීම වැනි කරුණු නිසා මෙම සැණකෙළිය වෙත බාධා එල්ල වූවත්, වසර 1979 සිට නැවතත් වැනීසියේ සැණකෙළිය පෙර පරිදිම ඉතාමත් ඉහළින් පවත්වනු ලබනවා.
සාන්ත මාර්ක් චතුරශ්‍රය මේ සැණකෙළියේ ප්‍රධානම ස්ථානයක් වන අතර හොඳම වෙස්මුහුණ සහිත ඇඳුමට සම්මාන පවා මෙහිදී ලැබෙනවා. වර්තමානය වන විට මේ වෙස් මුහුණු වැනීසිය පුරා සෑම තැනකින්ම මිලදී ගැනීමට හැකි අතර ප්ලාස්ටික් වැනි අමුද්‍රව්‍ය වලින් වැලකී පාරම්පරික ලෙසින් දැඩි ශ්‍රමයක් යොදා වෙස් මුහුණුසාදන ස්ථානද දැකිය හැකියි.