"මම තරහින් පොල්ල විසි කරලා රෙදි පටිය ගැලෙව්වා.."
"එතකොට තමයි දැක්කේ අක්කා අතේ මගේ රෙද්ද.."
අම්මෝ... මම අවුරුදු උත්සවවලදී තරගවලට අනත්තවත් ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි ඒකෙදි අමතක නොවන සිදුවීමකුත් මට වෙලා තියෙනවා. ඒ කාලේ අපි පදිංචි වෙලා හිටියේ කොලොන්නාවේ. මට වයස අවුරුදු විස්සක් විතර ඇති. අපි ඒ ස්කීම් එකේ ළමයි කට්ටිය එකතු වෙලා එකපාරක් අවුරුදු උත්සවයක් කළා. තෑගිවලට ඔය චොක්ලට්, බිස්කට්, චුයින්ගම් තමයි තෑගි දුන්නේ.
ඒ තෑගි ගන්න අපි හැමෝටම ගෙවල්වල අම්මලා තාත්තලා වැඩිහිටියෝ උදවු කළා. ස්කීම් එකේ ගැහැනු ළමයි රෙද්දයි, හැට්ටෙයි තමයි ඇඳගෙන හිටියේ. ඔන්න මමත් කනාමුට්ටිව ගහන්න ගියා. ඇස් දෙකත් වහලා මගේ අතට පොල්ලකුත් දුන්නා. මම ඔන්න ටික දුරක් ගියා. දැන් මට හිතෙන්නෙම ඒ හරිය තමයි මුට්ටිය තියෙන්නේ කියලා. ටික වෙලාවක් එතන නැවතිලා ඉඳලා පොල්ල උස්සලා ගහන්න හදනකොටම මාව කවුදෝ බදාගත්තා.
මට මාර කේන්තියි. මම හිතුවෙම මාව තරගයෙන් අයින් කරන්න හදනවා කියලා. පොල්ලත් මම පැත්තකට විසි කළා. අත් දෙකෙන් ඇස්කේ තිබුණු රෙදි පටි කෑල්ලත් අයින් කරද්දි තමයි මම දැක්කේ අපේ ගෙවල් ළඟ අක්කා කෙනෙක් මාව බදාගෙන ඉන්නවා කියලා. හැබැයි ඇඳගෙන හිටපු රෙද්ද තිබුණේ අක්කගෙ අතේ. මම මුට්ටිය ගහන්න අත් උස්සද්දිම මගේ රෙද්ද කඩන් වැටෙන්න ගිහින්. ඒක දැකපු අක්කා කෙනෙක් තමයි මාව අර විදිහට බදාගෙන තියෙන්නේ. තව පොඩ්ඩෙන් මුට්ටිය බිඳින්න ගිහින් මගේ රෙද්ද කඩා වැටිලා ලොකු ජංජාලයක් තමයි වෙන්න ගියේ.