පසුගියදා දින 3ක නිළ සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි ඔබාමා හා ඔහුගේ ආර්යාව පිළිබඳව බොහෝ දෙනා කතාබහ කරන්නට වුනා. මෙවැනි නිළ සංචාරයන් උදෙසා ලෝක බලවතුන් තම ආර්යාව සහභාගීකරවා ගැනීම සාමාන්‍ය කරුණක් වූවත් ඒ සඳහා සහභාගී වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තනිවම පැමිණීම හේතුවෙන් බොහෝ පිරිසක් ඒ පිළිබඳව කතාබහ කරන්නට වුනා.
මුලින්ම වාර්තා වූ ආකාරයට නරේන්ද්‍ර මෝදි තනිකඩයෙක් යැයි කටකතා පැතිරුනු නමුත් එසේ නොවන බව ඔහු ප්‍රකාශ කර සිටියේ පසුගිය මැතිවරණයේදීයි.
ඉන් අනතුරුව අනාවරණය වූ කරුණු අනුව දැනගන්නට ලැබුණේ යශෝධා බේන් ෂිමන් ලාල් මෝදී නම් වන කාන්තාව සමඟ ඔහු විවාහ වී ඇති බවයි. මෝදි හට වයස අවුරුදු 18දී මෙම විවාහය සිදුවී ඇති අතර ඇය ඒ වන විට 17වන වියේ පසුවී ඇති බවට වාර්තා වනවා. කෙසේ නමුත් ඔවුන්ගේ විවාහ දිවිය වසර 3ක් පමණ වනවිට බිඳවැටී ඇති බවටයි වාර්තාවන්නේ.
ඉන් ටික කලකට පසුව මෝදී RSS නැමති හින්දු ජාතිකවාදී සංගමයෙන් දේශපාලනේට පිවිස තිබෙනවා. ඔහු දේශපාලනයට පැමිණීමත් සමඟ යශෝධා බෙන් ගුරුවරියක් ලෙස සේවය සඳහා යෑමට තීරණය කරනවා. කෙසේ නමුත් ඇය ඉන් පසු විවාහ වෙන්නේ නෑ. මේ වන විට ඇය විශ්‍රාම ලබා ඇති අතර ඉන්දීය රුපියල් 14000ක විශ්‍රාම වැටුපක් ලබාගෙන ඇයගේ සහෝදරයා සමඟ ජීවත්වනවා.
ඇය අවසන් වශයෙන් මෝදි සමඟ කතාබහ කොට ඇත්තේ 1987 දී. කෙසේ නමුත් ඔවුන් දෙදෙනා තවමත් දික්කසාද වී නෑ. මෝදී ඇය සමඟ වෙන්ව ජීවත්වූවත් ඇය මෝදි ගැන කිසි දිනෙක වරදක් පවසා නැති බවයි බෙන්ගේ නැගණිය පුවත්පත් වලට ප්‍රකාශකොට ඇත්තේ. ඇය මෝදි අග්‍රාමාත්‍ය ලෙස මැතිවරණයට ඉදිරිපත් වන විට උපවාස කොට නොකා නොබී සිටිමින් දෙවියන්ගෙන් ඔහුව අගමැති කරන ලෙස ඉල්ලා සිටි බවත් පැවසෙනවා.
කෙසේ නමුත් අගමැති වීමෙන් පසු මෝදි ඇයගේ ආරක්ෂාවට මුර සෙබළුන් යොදවලා තියෙනවා. නමුත් ඇය බයවෙලා තියෙනවා මේ ගැන, මීට කලින් හිටපු ඉන්දීය අගමැතිණිය ඉන්දිරා ගාන්ධි ඝාතනය කලේ ඇයගේ ආරක්ෂකයින් නිසා.
ඇය කියන්නේ ‘‘හැම වෙලේම මාව ආරක්ෂකයෝ පස් දෙනෙක් වට කරගෙන ඉන්නේ, මම ඔවුන්ට උයලා කන්න දෙන්න ඕනි. මගේ නෑනා තමයි ඒ අයගේ නිදාගන්න ඇඳ හදන්නත් ඕනි කියලා‘‘
ඉන්දියාවේ අනෙක් අගමැති ආර්යාවන් මෙන් නොව ඇය දුෂ්කර ජීවිතයක් ගත කරන අතර ඇය සහෝදරයාගේ නිවසේ පදිංචියට යාමට පෙර ජීවත් වූයේ එක් කාමරයක් සහිත, වැසිකිලි පහසුකම් නොමැති නිවසකයි. ඇය ජීවන ගමන ඉතාමත් සාර්ථකව ගෙන ගියේ දුක් කම්කටලු වලට මුහුණු දෙමිනුයි.
එසේම ඇය විශ්වාස කරනවලු කෙදිනක හෝ මෝදි විසින් ඇයව නැවත බාරගනී කියලා ඔහුත් සමඟ එකට ජීවත්වීමට. කෙසේ නමුත් නරේන්ද්‍ර මෝදි යනු විවාහ ජීවිතය පිළිබඳ එතරම් විශ්වාස නොතබන අයෙක් බවයි වැඩි දුරටත් වාර්තාවන්නේ.