තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා විස්සයි-20 ක්‍රිකට් තරඟාවලියේ දෙවැනි තරඟය සෙන්චූරියන්ස්හි සුපර් ස්පෝර්ට් පිටියේදී අද (22දා) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 9.30 සිට පැවැත්වෙන අතර, මෙම තරඟය ශ්‍රී ලංකාවට වැදගත් වී ඇත්තේ පළමු තරගය සුපිරි පන්දු වාරයේදී පරාජය ලබා ඇති හෙයිනුයි.
එහෙත් අද තරගය ජයගෙන තරගාවලියේ රැඳී සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායම හැකි සෑම උත්සාහයක්ම ගනු ඇති අතර, මෙම තරගයේදීත් ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් 2013 වසරෙන් පසු දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමක් එරටදී විස්සයි-20 තරගාවලියක් පරාජය ලැබීමට සිදුවනු ඇති.
වේගපන්දු යවන්නන්ට වැඩි වාසි අත්කරදෙන පිටියක් ලෙස ප්‍රකටව තිබෙන මෙම ක්‍රීඩාපිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානුවන් සමඟින් එක් විස්සයි-20 තරගයකට මුහුණ දී තිබුණද එම තරගය පරාජය ලබා තිබෙනවා.
කෙසේවෙතත් මේ වනවිට විස්සයි-20 තරග 71කදී කඩුලු 96ක් ලබා සිටින ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග අද තරගයේදී කඩුලු දෙකක් දවාගැනීමට සමත්වුවහොත් ලෝකයේ මේ වනවිට විස්සයි-20 වැඩිම කඩුලුලාභියා බවට පත්ව සිටින සහීඩ් අෆ්රිඩි සම කිරීමට හැකි වනු ඇති අතර, කඩුලු 4ක් දවාගතහොත් ලෝකයේ විස්සයි-20 ක්‍රිකට් ඉතිහාසයේදී පළමුවෙන්ම කඩුලු 100 කඩඉම පසුකළ පන්දු යවන්නා ලෙස මාලිංග ඉතිහාසගත වනු ඇති.
මේ අතර අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පැහැදිලි වෙනස්වීමක් සිදුවනු ඇතැයි අපේක්‍ෂා කළ නොහැකි නමුත් එවැනි වෙනස්වීමක් සිදුවුවහොත් පළමු තරඟයේදී අසාර්ථක වූ නිරෝෂන් දික්වැල්ල වෙනුවට සධිර සමරවික්‍රම කණ්ඩායමට පැමිණීමට ඉඩ ඇති බවද පැවසෙනවා.