කඩවත රම්මුතුගල බංගලාවත්තේ අංක 79/581 නිවසේ පදිංචිව සිටි කිරිල්ලවල ළමා මිතුරු ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ 3 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි ඩී. ඒ. දක්‌ෂිත ප්‍රනාන්දු ලක්‍ෂික (08) සිසුවා ඉකුත් සෙනසුරාදා උණ රෝගය වැළඳී රාගම රෝහලට ඇතුළත් කර බෙහෙතක් එන්නත් කර පැය කීපයකට පසු සිහිසුන්ව මිය ගොස් තිබෙනවා.
සිද්ධිය පිළිබඳ මිය ගිය දරුවාගේ දෙමාපියන් වන ඩී. ඒ. නිමල් සහ ඩී. ප්‍රියංගනී දොපළ කියන්නේ,
ඉකුත් සෙනසුරාදා (16 දා) සවස අපේ බාල පුතාට උණ ගැනුණා. රම්මුතුගල ළමා නිවාසය අසල පෞද්ගලික බෙහෙත් ශාලාවකට ගොස් බෙහෙත් අරන් දුන්නා. හවස උණ ගතිය අඩු වැඩි වන තත්ත්වයක් ඇති වුණා. ඒ එක්‌කම තවත් රෝග ලක්‍ෂණ පෙනෙන්න තිබුණ නිසා රාත්‍රී 10.00 ට පමණ රාගම රෝහලට එක්‌කරගෙන යන්නට තීරණය කළා.
අපි රාත්‍රී 10.30 වනවිට රාගම රෝහලට පුතාව ඇතුළත් කළා. දරුවාගේ ලේ, මුත්‍රා පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ඊ. සී. ජී. එකකුත් ගත්තා. ඒ වනවිට අපේ පුතා හොඳට කතා කරමිනුයි සිටියේ.
ටික වේලාවකට පසු දරුවාට හුස්‌ම ගැනීමේ අපහසුතාවක් ඇතිවෙන බව හෙළි වුණා. ඊට ටික වේලාවකට පසු අපිට කතා කළ වෛද්‍යවරුන් දැන් දරුවාගේ "හාට්" එක විතරයි වැඩ කරන්නේ ඒ නිසා හුස්‌මගැනීමේ අපහසුතාවක් තියෙනවා. ඒ නිසා දරුවා සිහිනැති කර බටයක් දමනවා යෑයි කීවා. ඒ බටය දැමීමෙන් පසු දරුවා ළමා රෝහලට රැගෙන යන බවත් කීවා.
එසේ පැවසීමෙන් පසු දරුවාට සිහි නැති කිරීමට එන්නතක් විද්දා. ඒක කළාට පසු අපේ පුතාට සිහිය ආවේ නෑ. පැය කීපයක් වෙහෙස වුණත් වෛද්‍යවරුන් නැති කළ සිහිය නැවත ආපසු ගැනීමට හැකි වුණේ නැහැ. අනේ දෙවියනේ මගේ පුතා මියගිහින් ඇති බව ඉන්පසුවයි වෛද්‍යවරු අපිට දැනුම් දුන්නේ. අපිත් එක්‌ක හොඳට කතා කරමින් සිටි අපේ දරුවා අපිට නැති වුණේ ඔන්න ඔහොමයි.
අපිට තවත් පිරිමි දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඒ අය මේ දරුවාට වඩා වැඩිමල් . දරුවා ළමා රෝහලට ගෙන යනව කියලයි මේ බෙහෙත විද්දේ. රාගම රෝහලේ අවශ්‍ය පහසුකම් නෑ කියලා අපිට දරුවා කොළඹ රෝහලට ගෙනයන්න ඉඩ දුන්න නම් අපේ පුතාට මේ මරණය සිදු වන්නේ නැහැ.
දරුවා නැතිවීමෙන් පසු අපිට වෛද්‍යවරු කීවේ මේ දරුවාට දරුණු විෂබීජයක් ඇතුළු වෙලා තියෙනවා. දරුවා සමග ළඟින් ඇසුරු කළ සැමටම ටැබ්ලට් දුන්නා. දරුවා පාවිච්චි කළ සෑම දෙයක්‌ම විනාශ කර දමන්නත් අපිට උපදෙස් දුන්නා. මේ සියල්ලම දරුවා නිවසට ගෙන ඒමට කළින් අපට හිතවත් අය විසින් සිදු කර තිබුණා.
ඔහු ඉගෙන ගත් පාසලේ පන්ති කාමරය හොඳට සෝදලා ඒකත් අනෙක් දරුවන්ට යා නොහැකි අන්දමට වසා දමලත් තිබුණා. පාසලේ විතරක් නොවෙයි ගම පුරාමත් විශාල ආන්දොලනයක් පැතිර ගොස් තිබුණා. ගමේ අය බෙහෙත් විද ගන්න රෝහලට ගියා. අපේ දරුවාට දරුණු වසංගත රෝගයක් වැළඳී ඇති දරුවෙක් බවට ගමේ කට කතා පැතිර ගියා.
ඒත් දරුවාගේ මරණ පරීක්‍ෂණයෙන් පසු එවැනි තත්ත්වයක් අපට දැක ගන්න ලැබුණෙත් නෑ. දරුවා තැන්පත් කර තිබූ පෙට්‌ටිය සීල් කළෙත් නෑ.