උපන්දා සිට මවුපියන් අප වෙනුවෙන් නොකළ දෙයක් නැහැ...
මා කරන පුණ්‍ය කටයුත්ත සැමටම ආදර්ශයක් වේවි...
වසර 84 ක් කාලයක් ආයු වළඳා ගමම හඬවමින් අවසන් ගමන් ගිය තම ආදරණීය පියා වෙනුවෙන් වයෝවෘද්ධ පුද්ගලයන් 84 දෙනෙකු නිවසට කැඳවා දානමය පිංකමක් සිදු කළ පුවතක් නාත්තණ්ඩිය ප්‍රදේශයෙන් අසන්නට ලැබුණා.
මෙම පුණ්‍ය කටයුත්ත කළේ නාත්තණ්ඩිය තුලාවල, කොස්වත්ත, කොටකන්ද ප්‍රදේශයේ පදිංචි සමාජ සේවකයකු වන උපාලි කුලරත්න මහතායි.
වසර 84 ක් පුරාවටම දැක් වූ ඒ පිය සෙනහස වෙනුවෙන් කරන ලද පිංකම සඳහා පියාගේ වයසේම පසුවන වයෝවෘද්ධ පිරිමි හා කාන්තාවන් 84 දෙනෙක් තම නිවසට කැඳවා තිබුණා.
පැමිණි 84 දෙනා වෙනුවෙන් කුස පුරා ආහාර පාන දී ආගමික වතාවත් කොට ඔවුන්ට තෑගි බෝග හා බෙහෙත් මංජුසාව බැගින් ප්‍රදානය කළ තිබෙනවා.
පාලි කුලරත්න මහතා, ඔහුගේ ආදරණීය පියා වන චාර්ලිස් අප්පුහාමි මහතාට හා පවුලේ මියගිය ඥාතීන් සියලු දෙනාටත් පින් අනුමෝදන් කරමින් කරන ලද මෙම පුණ්‍ය ක්‍රියාව සඳහා ගම්වාසීන්ගේ නොමඳ සහායද ලැබී තිබුණා.
මෙම පුණ්‍ය ක්‍රියාව පිළිබඳව උපාලි කුලරත්න මහතා මාධ්‍යයට පැවසුවේ මෙවන් දෙයක්..
“අපි කිසිවෙක් සදාකාලික ජීවිතයක් ගතකරන අය නොවේ. උපන්නොත් මියයන්නත් ඕනෑ. ඒත් අපි අද මේ අන්දමින් ජීවත්වෙන්නේ අපේ මවුපියන් නිසයි. උපන්දා සිට ඔවුන් අප වෙනුවෙන් නොකළ දෙයක් නැහැ. ඒ වෙනුවෙන් අද සමාජයේ කෘතගුණ සැලකීමක් දකින්න නෑ. එවැනි සමාජයක මා කරන පුණ්‍ය කටයුත්ත සැමටම ආදර්ශයක් වේවි. මගේ පියා වෙනුවෙන් මට හැකි පමණින් මෙම උතුම් දානමය පින්කම සිදුකරනවා. මේ සිදුකළේ දෙවැන්නයි. ඉදිරියටත් මෙයටත් වඩා හොඳින් මෙය කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මගේ ආරාධනය පිළිගෙන මෙයට එක්වූ සැමදෙනාටම මම ස්තුති කරනවා. ඔවුන් මෙම ස්ථානයට නොපැමිණෙන්නට මට මේ කටයුත්ත නිසි ලෙස කරගන්න ඉඩක් ලැබෙන්නේ නෑ. මගේ ගමේ හිතවතුන් හා මගේ ඥාති හිතවතුන් මෙම කටයුත්ත සාර්ථක කරගන්නට මා සමඟ අත්වැල් බැඳගැනීම මට මහත් ආඩම්බරයක්. මගේ පවුලේ අයත් ගමේ හැමකෙනාම හැකි අන්දමින් මාව දිරිමත් කරමින් මෙම කටයුත්තට අත දුන්නා. ජීවත්ව ඉන්නා ටික කාලසීමාව කාටත් බරක් නොවී රටට වැඩදායක ලෙසින් ජීවත්වී හැකි තරමින් පුණ්‍ය කටයුතුවල නිරත වීම මාගේ එකම ආශාවයි.”
-රෝස් කෙලින්-
(මව්බිම පුවත්පත)