පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ පාලවිය - නාගවිල්ලුව ප්‍රදේශයේදී වෑන් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් ගැබිනි කාන්තාවක් ඇතුලු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරින් දස හැවිරිදි දැරියක ඇතුලු තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර පොලිසිය පැවසුවේ ටිපර් රථයේ රියදුරුගේ නොසැලකිළිමත් රිය ධාවනය අනතුරට හේතුව බවයි.
යාපනය සිට කටුනායක ගුවන් තොටුපොල බලා ගමන් කරමින් තිබූ වෑන් රථයක් සහ කොළඹ සිට අට්ටවිල්ලුව සිමෙන්ති කර්මාන්ත ශාලාවට අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුවුණේ අද අළුයම 1.45ට පමණ.
වෑන් රථයේ පැමිණි පිරිස නාගවිල්ලුව ප්‍රදේශයේ ආපන ශාලාවක් අසල තේ පානය සඳහා රථය නවතා තිබෙන්නේ ලොරි රථයකට පිටුපසින්.
අනතුරුව වෑන් රථයේ සිටි පිරිස තේ පානය කර නැවත වෑන් රථය වෙත පැමිණීමෙන් අනතුරුව ලොරි රථයේ රියදුරුද තේ පානය කර නැවත පැමිණ තිබෙනවා.
වෑන් රථය පණගන්වා ඉදිරියට ගමන් කරනවාත් සමඟම ප්‍රතිවිරුද්ධ දෙසින් අධික වේගයෙන් පැමිණි ටිපර් රථය, වෑන් රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරුව ලොරි රථයේ රියදුරු ද මරණයට පත් කරමින් ලොරි රථයේ ගැටී අනතුරට පත්වුණා.
අනතුරින් ලොරි රථයේ රියදුරු සහ වෑන් රථයේ ගමන්ගත් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන් එක් කාන්තාවක් යාපනය කයිතඩි ප්‍රදේශයේ පදිංචි 8 මස් ගැබිණියක බවත් ඇගේ සැමියා විදෙස් ගතව සිට යලි පැමිණීම හේතුවෙන් ගුවන් තොටුපොල බලා යමින් සිටි බවත් වාර්තා වනවා.
ජීවිතක්ෂයට පත් අනෙක් කාන්තාවන් යාපනය කොට්ටඩි සහ මානිප්පායි ප්‍රදේශවල පදිංචිකාරියන්.
අනතුරින් ජීවිතක්ෂයට පත්වූ ලොරි රථයේ රියදුරු වවුනියාව - තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.
තුවාල ලැබූ වයස අවුරුදු 10 ක කුඩා දැරියක ඇතුළු 10 දෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.
අනතුර සිදුව ඇත්තේ ටිපර් රථයේ රියදුරුගේ නෙසැලකිළිමත් රිය ධාවනය හේතුවෙන් බවට අණාවරණ වී ඇති අතර ඔහු අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
අනතුර වූ ස්ථානයට මීටර් 500 කට පමණ පෙර අධික වේගයෙන් රිය ධාවනය කරන රියදුරන් අත්අඩගුවට ගැනීම සඳහා රථවාහන පොලිසියේ පරීක්ෂාවක්ද ක්‍රියාත්මකව පැවැතියත් එම අවස්ථාවේ අදාළ රියදුරු වේගය අඩාල කර ලොරි රථය ධාවනය කර ඇති බව අනාවරණ වී තිබෙනවා.
මේ අතර, පොලිසිය පෙන්වා දෙන්නේ පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරක රිය අනතුරුවල වැඩි වීමක් පසුගිය කාලය තුළ දක්නට ලැබෙන බවයි.
වසරේ මේ දක්වා කාලය තුළ එම මාර්ගයේ මාරක රිය අනතුරු 13 කින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
එහි ආසන්නතම සිදුවීම වාර්තා වුණේ මීට මසකට ඉහතදී හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල - මහවැව ප්‍රදේශයෙන්.
VIDEO
එහිදී පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් තිදෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලැබුවා.