පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදිකරු වී තුන්මසක සිරදඬුවම් විඳ මේ වන විට නිදහස්ව සිටින ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. කේ. අමිල් සභාපති තනතුරෙන් සහ මන්ත්‍රීධුරයෙන් ඉවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
එම කොමිෂන් සභාව පවසන්නේ අදාළ දැනුම්දීම මේ වන විට ඔහු වෙත ලිඛිතව සිදුකර ඇති බවයි.
පසුගිය 2013 වසරේදී ඇඹිලිපිටිය පනාමුරේ, දඬුහැතැප්ම ප්‍රදේශයේදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. කේ. අමිලට මාස 3 ක සිර දඬුවම් නියම කෙරුණේ පසුගිය වසරේ ජූලි මස 13 වැනිදායි.
අදාළ දඬුවම නිමවීමෙන් අනතුරුව ඔහු මේ වන විට යළිත් සභාපතිධුරයේ කටයුතු කරමින් සිටියා.
මේ සම්බන්ධයෙන් ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුවට අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත ප්‍රකාරව ඔහු පළාත් පාලන ආයතනයක සභිකධුරයක් දැරීමට නුසුදුසු බවයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 9 වන වගන්තියේ සභිකත්වය ලැබීමට නුසුදුසුකම් සඳහන්වන අතර එහි 1 ක උප වගන්තියේ දැක්වෙන්නේ අපරාධ වැළැක්වීමේ ආඥා පනතේ දක්වා ඇති යම් අපරාධයකට වරදකරුවී මාස 3 ක් හෝ ඊට වැඩි කාලයක් බන්ධනාගාර ගතවී සිටීම මෙන්ම එහි කොටසක් විඳිමින් සිටීම එවැනි තනතුරක් දැරීමට නුසුදුසුවන බවයි.
එසේම දණ්ඩන නියමයක් සම්පූර්ණයෙන්ම හෝ එහි කොටසක් විඳිමින් හෝ ඊට පෙර පස් අවුරුදු කාල සීමාවක් තුළ දඬුවම් විඳ අවසන් කර සිටියහොත් එවැනි අවස්ථාවකද පළාත් පාලන ආයතන සභිකයෙකුගේ ආසනය හෝ ධුරය හිස්විය යුතු බව අදාළ පනතේ දැක්වෙනවා.
මෙම තත්ත්වය පිළිබඳ අප අධිනීතීඥ ගෝමින් දයාශ්‍රී මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ මැතිවරණ කොමිෂන් සභාව ගත් තීරණය අනුව අධිකරණයෙන් රිට් ආඥාවක් ලබාගැනීමේ හැකියාව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පවතින බවයි.