රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීමට ගොස් සිටියදී යාගහෝම කරන සාමි කෙනකු මතුරා දුන් තැඹිලි ගෙඩි පහක වතුර එක දිගට පානය කොට අසාධ්‍ය වූ අයෙක් මියගොස් ඇතැයි නානුඔය පොලිසිය පවසයි.
ඉකුත් 18 වැනිදා මෙසේ මියගොස් ඇත්තේ නුවරඑළිය පොලිස් ලැයිමේ පදිංචිව සිටි තෝමස් මුදියප්පන් නමැති 64 හැවිරිදි තිදරු පියෙකි. කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රියැදුරකු ලෙස සේවය කරන ඔහු පසුගියදා නිවෙසට පැමිණ සිටියදී සුළු අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඩෙස්පෝර්ට් ප්‍රදේශයේ සාමිවරයකු වෙත ගොස් තිබෙන්නේ සිය දියණියද සමඟයි. එහිදී රෝගියා පරීක්‍ෂා කළ සාමිවරයා තැඹිලි ගෙඩි පහක් මතුරා දී ඒවා සියල්ල ඒ මොහොතේම එකදිගට පානය කරන ලෙස පවසා තිබෙනවා.
ඒ අනුව තැඹිලි ගෙඩි පහේම වතුර එක කෝප්පයකට දමා එයින් ගෙඩි තුනක පමණ වතුර පෙවෙන විට රෝගියාට තරමක් අසනීප වී වැසිකිළි යන තත්ත්වයක් උදාවූ බව දියණිය මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දී තිබෙනවා. යළි ඉතිරි තැඹිලිවතුර පානය කරන විට ක්ලාන්තගතියක් සමඟ රෝගී තත්ත්වයක් උත්සන්න වීම නිසා රෝගියා නුවරඑළිය මහ රෝහල වෙත රැගෙන ගියද ඒ වනවිටත් ඔහු මියගොස් සිටිය බවද එහිදී අනාවරණය වි තිබෙනවා.
නුවරඑළිය මහ රෝහලේ මෘත ශරීරාගාරයේදී පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකළ අතර අධිකරණ වෛද්‍ය නිලධාරි සමන් චන්ද්‍රදාස මහතා විසින් මියයෑමට හේතු ලෙස විවෘත තීන්දුවක් ලබාදෙමින් සිරුරු කොටස් රජයේ රස පරීක්‍ෂක වෙත යැවීමට උපදෙස් දී තිබේන බවත් සදහන්. නුවරඑළිය හදිසිමරණ පරීක්‍ෂක ආර්. රුද්‍රසේකරම් මහතා විසින් නානුඔය පොලිසියට කරන ලද නියෝගයක් මත මෙම තැඹිලි මතුරා දුන්නායැයි කියන සාමිවරයා රෝහල් පොලිසිය වෙත කැඳවා සාක්‍ෂි ලබාගෙන තිබේනවා.