බූස්ස රත්න උදාගම ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකු අතුරුදන් වීම අඟුලානේදී පොලිස් නිලධාරීන් විසින් තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීම හා සමාන සිද්ධියක් වේදැයි සැකකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.
තිදරු පියෙකු හා එක් දරු පියෙකු බුස්සේදී පසුගිය ජනවාරි මාසයේ අතුරුදන් වීමේ සිද්ධිය පිළිබඳව රත්ගම හා ගාල්ල පොලිස් ස්ථාන මගින් සිදුකරන විමර්ශන කටයුතු කෙරෙහි සෑහීමකට පත් නොවන නිසා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභිරහස් මිනීමැරුම් සෙවීමේ අංශයට භාර කර තිබෙනවා.
ඒ අනුව මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභිරහස් මිනීමැරුම් සෙවීමේ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ බූස්ස රත්ගම ප්‍රදේශයට ගොස් තිබෙන බවත් සදහන්.
මෙම පුද්ගලයන් දෙදෙනා ඉකුත් ජනවාරි 23 වැනිදා අතුරුදන්ව තිබූ අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයිද සදහන්.
මේ දෙදෙනා අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය විමර්ශන සිදු කළත් ඒ සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පවසනවා. මෙහිදී අතුරුදන් වී සිටින්නේ තිදරු පියෙකු වූ 33 හැවිරිදි මංජුල අසේල කුමාර සහ 31 හැවිරිදි එක් දරු පියෙකු වන රසින් චින්තක නමැත්තන්ය. එක් අයෙක් මත්ස්‍ය ව්‍යාපාරයෙත්, අනෙක් පුද්ගලයා කුකුළු මස් ව්‍යාපාරයෙත් නිරතව සිටි අයයි.
පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම්වලින් සැරසුණු පුද්ගලයන් 13 දෙනකු පමණ ගිනිඅවි ද රැගෙන වෑන් රථ දෙකකින් පැමිණ මේ දෙදෙනා පැහැර ගෙන ගිය බවට රත්ගම පොලිසියට පැමිණිලි ලැබී තිබෙනවා. ඔවුන් දෙදෙනා සොයා ගැනීම සඳහා නිවැසියන් රත්ගම සහ ගාල්ල පොලිස් ස්ථාන වෙත ගොස් ඇතත් කිසිදු තොරතුරක් නොලැබීම නිසා පසුගිය 26 වැනිදා ගාල්ල - කොළඹ මාර්ගය හරස් කරමින් විරෝධතාවක් ද දක්වා තිබෙනවා.
මේ අතර පසුගිය 06 වැනිදා මංජුලගේ නිවසට ඔහුගේ බිරිඳ වන සමන්තිගේ නමට ලැබුණු නිර්නාමික ලිපියක් මගින් අතුරුදන් දෙදෙනා පොලිසිය මගින් රැගෙන ගිය බවත් ඔවුන්ට පහරදීමේදී එක් අයකු මියගිය නිසා එය දුටු අනෙක් පුද්ගලයා ද ඝාතනය කර පුළුස්සා දැමූ බවටත් හෙළි කරගෙන තිබෙනවා.