බාල වයස්‌කාර දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌කර ඇයට සමාජ රෝග බෝකළ දේවාල ආවතේවකරුවකු මාදම්පේ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.
වින්දිත දැරියගේ වයස අවුරුදු 15 යි මාස 11 වන අතර මාදම්පේ පොලිස් වසමට අයත්ව පදිංචි බවත් සදහන්.
මවු පියන් දෙදෙනා අතර සමගියක් නැතිකමින් පියා දැරියව ඔහුගේ හිතවතකුගේ නිවසක නවතා තිබෙනවා.
ඇය 2017 වසරේ සිට එම නිවසේ ජීවත් වෙමින් පාසල් ගොස් තිබෙන බවත් ඇය මේ වන විට අ. පො. ස. සා. පෙළ විභාගයට ද පෙනී සිට ඇති බවත් සදහන්. පියාගේ හිතවතාගේ නිවසේ මෙම වින්දිත දැරිය මෙලෙස සිටියදී හදිසියේ අසනීප වී තිබෙනවා.
දැරිය අසනීපවී ඇති බව දැනගත් ඇයගේ මව දැරිය කැඳවා ගෙනවිත් වතුපිටිවල රෝහලට ඇතුළුකර තිබෙන අතර එහිදී දැරිය පරීක්‍ෂා කළ වෛද්‍යවරයා ඇයට සමාජ රෝග වැළඳී ඇති බව දැනගෙන නිට්‌ටඹුව පොලිසියට දැනුම් දී තිබෙනවා. එම පොලිසිය දැරියගෙන් ප්‍රකාශයක් ලබා ගෙන තිබෙනවා.
2018 ජුලි මාසයේ සිට ඇය නැවතී සිටි නිවසේ අයිතිකරු වරින්වර තමාව ලිංගික අපයෝජනයට ලක්‌කළ බව දැරිය ප්‍රකාශ කර තිබෙන බවත් දැරියගේ එම ප්‍රකාශය අනුව මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු සිදු කිරීමට නිට්‌ටඹුව පොලිසිය මාදම්පේ පොලිසියට දැනුම් දී ඇති බවත් සදහන්.
ඒ අනුව මාදම්පේ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු දේවාල ආවතේවකරුවකු ලෙස රැකියාව කරන අයෙක් බවයි සදහන් කරන්නේ.