"ශ්‍රී ලංකාවේ සෑම ජන කොටසකට ම ජීවත් වීමට වඩාත් හොඳ රටක් සහ සමාජයක් නිර්මාණය කරන්න නම් ලාංකික කාන්තාවන් පෙරට ආ යුතුයි," බීබීසී සිංහල සේවය සමග මෙලෙස අදහස් දැක්වූයේ, ශ්‍රී ලංකාවේ ඉපිද හය හතර නොතේරෙන බිළිඳියක ලෙස බ්‍රිතාන්‍යයට ගොස් එහි "බලවත් කාන්තාවක" බවට පත්ව සිටින ෂෙරී ඇචෙසන්.
1991 පෙබරවාරි 28 වන දා ෂෙරී ඇචෙසන් ශ්‍රී ලංකාවේදී උපත ලැබූ ඇයට නම් තබා තිබුණේ, නිරූෂිකා යනුවෙනුයි. මෙලොව එළිය ලබා දින 15කට පසු ඇය අයර්ලන්ත ජාතික යුවළක් වෙත භාර දී තිබුණා.
පසුව ඇය තමන් හදා වඩා ගත් අයර්ලන්ත දෙමාපියන් යටතේ අධ්‍යාපනය ලබා එක්සත් රාජධානියේ තාක්ෂණ ක්ෂේත්‍රයේ බලවත් ම කාන්තාවන් 40 දෙනා අතරට එක් වීමට තරම් ප්‍රබල අයෙකු වුණා.
ෂෙරී ඇචෙසන්, බ්‍රිතාන්‍යයේ ඉන්ටර්නෙට් ඔස්සේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය නිර්මාණය කිරීම ඇතුළු විශේෂ පරිගණක තාක්ෂණික කාර්යයන් ගණනාවකට දායකත්වය ලබා දී ඇති බව සඳහන්.
ඇය අවස්ථා රැසකදී ලෝක අර්ථීක සමුළුව අමතා ඇති අතර, කාන්තාවක ලෙස මේ වන විට සිය ක්‍රියාකාරීත්වය සහ ශ්‍රී ලංකාවේ කාන්තාව ගැන දරන අදහස් පිළිබඳව බීබීසී සිංහල සේවය සමග ඇය මෙසේ අදහස් පළ කළා.
"බ්‍රිතාන්‍යයෙයි ශ්‍රී ලංකාවෙයි සංස්කෘතීන් ගොඩක් වෙනස්. ශ්‍රී ලංකාවේ කාන්තාවන් ඉදිරියට තල්ලු කිරීම ඉතා අපහසුයි. ඒත් මට කියන්න තියෙන්නේ, ශ්‍රී ලාංකික කාන්තාවනි, ලෝකය වෙනස් කිරීම සඳහා ඔබ අත්‍යවශ්‍යයි,"
ඇය පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වැනි ආයතනවල සේවය කරන විද්වත් කාන්තාවන් ඉදිරියට පැමිණ අනෙක් කාන්තාවන්ට ආදර්ශයක් සැපයිය යුතු බවයි.
"ඔබට සයිබර් අවකාශය භාවිත කළ හැකි නම් ඒ මගින් ඔබට ගෝලීය ප්‍රජාව වෙත පිවිසෙන්න පුළුවන්. ඔවුන් ඔබේ හඬ ලෝකය වෙත ගෙන යාවි," ෂෙරී, ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා.
බ්‍රිතාන්‍යයේ තාක්ෂණික ක්ෂේත්‍රයේ උසස් මට්ටමක සිටින ෂෙරී, 2018 වසරේදී එක්සත් රාජධානියේ තාක්ෂණ ක්ෂේත්‍රයේ බලවත් ම කාන්තාවන් 40 දෙනා අතරට ඇතුළත් කර තිබුණා.
මහා බ්‍රිතාන්‍යයේ ප්‍රබලත්වයට පැමිණීම දක්වා වූ ගමන් මග පිළිබඳව ඇය බීබීසී සිංහල සේවය සමග පළ කළේ මෙවන් අදහසක්.
"මම ඇත්තට ම මගේ ජයග්‍රහණ පිළිබඳව ගොඩක් සතුටු වෙනවා. ඒක මට ආඩම්බරයක්. මම වගේ වෙනත් අයට නොලැබෙන ආකාරයේ අවස්ථා සහ වරප්‍රසාද මට ලැබුණා. ඒ සියල්ල ලැබුණේ, මම මගේ වෘත්තිය වෙනුවෙන් කළ කැප කිරීම් නිසයි. මගේ වගකීම තමයි වෙනසක් කිරීම."
ෂෙරී ඇචෙසන් මේ වන විට එක්සත් රාජධානියේ Deloitte සමාගමේ තාක්ෂණික කටයුතු භාර කළමනාකාරිනිය ලෙස සේවය කරනවා. ඒ අතර, ඇය ලෝකයේ විවිධ රටවල තාක්ෂණික ක්ෂේත්‍රයේ ආදර්ශ චරිත ලෝකයට හඳුන්වා දෙමින් කාන්තාවන් සවිබල ගන්වමින් සිටිනවා.
මේ අතර, කාන්තාවන් තාක්ෂණික ක්ෂේත්‍රයේ ඉදිරියට යාම සඳහා අනුගමනය කළ යුතු කරුණු 5ක් පිළිබඳව ෂෙරී ඇචෙසන් බීබීසී උතුරු අයර්ලන්ත සේවය ඔස්සේ අදහස් පළ කර තිබුණා.
ඇයගේ අනාගත අපේක්ෂාව වී ඇත්තේ, සිය දායකත්වය තාක්ෂණික ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගෙන යාමයි.
"මට මගේ අවකාශය තුළ මගේ ක්ෂේත්‍රයේ විශාල බලපෑමක් කරන්න පුළුවන් වුණා. ඒක තවදුරටත් ඉදිරියට ගෙන යන ගමන් එය වෙනත් ක්ෂේත්‍රවලටත් ප්‍රසාරණය කරන්න බලාපොරොත්තු වෙනවා. මම මගේ වටා ඉන්න ලෝකයේ ජනතාව වෙනුවෙන් මගේ හඬ පාවිච්චි කරනවා."