බොලිවුඩයේ ජනප්‍රිය නිළියන් අතරින් චිත්‍රපටයක රඟපෑම සඳහා වැඩිම මුදලක් අය කරන නිළියන් කවුදැයි ඔබ දන්නවාද? මේ ගැන අලුත්ම තොරතුරු රැසක් පසුගිය දිනවල ඉන්දියානු මාධ්‍ය තුළ පළ වී තිබුණා. සාමාන්‍යයෙන් නළුවන්ට ගෙවන තරම් මුදලක් නිළියන්ට ගෙවන්නේ නැති වුවත් මෙයට කලකට පෙර තිබුණු තත්ත්වයට වඩා අද තත්ත්වය සතුටුදායකයි.
මේ කාලයේ නිළියන් අය කරන ගාස්තු ද කැපීපෙනෙන ආකාරයෙන් ඉහළ යමින් ඇති අන්දම දකින්න පිළිවන්. එමෙන්ම අද වනවිට බොලිවුඩ් නිළියන්ට වෙනදාට වඩා ලොකු තරගකාරිත්වයකට මුහුණ දෙන්නට සිදුව ඇති බව ද රහසක් නොවෙයි.
සිනමා කර්මාන්තයේ ආරංචි මාර්ගවලට අනුව 2018 වනවිට චිත්‍රපටයක් වෙනුවෙන් වැඩිම මුදලක් අය කරන නිළිය බවට පත්ව සිටියේ දීපිකා පදුකෝන්. ඇය චිත්‍රපටයක රඟපෑමෙන් උපයන මුදල දළ වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි 14 සහ 15 අතර පවතින බවයි පැවසෙන්නේ. මෙය ලංකාවේ මුදලින් රුපියල් කෝටි 35-38 අතර මුදලක්. පසුගිය කාලයේ ඇය රඟපෑ චිත්‍රපට කිහිපයක්ම බෙහෙවින් ජනප්‍රිය වුණා. ඇය අවසන් වරට රඟ පෑ "පද්මාවත්". චිත්‍රපටය පසුගිය වසරේ වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපටයක් වූ අතර මේ සාර්ථකවය ද ඇගේ වටිනාකම වැඩි කිරීමට හේතුවන බව අමුතුවෙන් කිව යුතු නැහැ.
චිත්‍රපටයක් වෙනුවෙන් අය කරන ගාස්තු අතින් දෙවැනි තැන සිටින බව පැවසෙන්නේ ප්‍රියංකා චොප්රා. ඉන්දියානු රුපියල් කෝටි 13ක මුදලක් ඇය මෑතක රඟ පෑ චිත්‍රපටයක් වෙනුවෙන් අය කර ඇති බව පැවසෙනවා. එය ලංකා රුපියල් කෝටි 33කට ආසන්න මුදලක්. මේ වනවිට ඇය බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේ ද කටයුතු කරන නිසා ඇයට ඇති ඉල්ලුමෙහි වැඩි වීමක් තිබෙන බව පැවසිය හැකියි. මෙම ලැයිස්තුවේ තුන් වැනි තැන ඉන්නා බව සඳහන් වන්නේ කරීනා කපූර්.
ඇය සාමාන්‍යයෙන් ඉන්දියානු රුපියල් කෝටි 11 (ලංකා රුපියල් කෝටි 27) කට කිට්ටු මුදලක් චිත්‍රපටයක් වෙනුවෙන් අය කරන බව අනාවරණය වෙනවා. මේ වනවිට කරීනා කලින් පරම්පරාවේ නිළියක ලෙස සැලකිය හැකි වුවත් තවමත් අධ්‍යක්‍ෂවරුන් ඇය වෙනුවෙන් ලොකු ගාස්තුවක් ගෙවීමට සූදානම් බවයි සඳහන් වන්නේ. කත්රිනා කයිෆ් සහ අනුෂ්කා ෂර්මා වැනි නිළියන් ද ඉහළ ගාස්තු අය කරන අය හැටියටයි සැලකෙන්නේ. 2018 වසරේ කත්රිනා අය කළ මුදල ඉන්දියානු රුපියල් කෝටි 10ක් (ලංකා රුපියල් කෝටි 25ක්) ලෙස සඳහන්. සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි ගේ බිරිය වන අනුෂ්කා ෂර්මා ඉන්දියානු රුපියල් කෝටි 9 සහ 10 (ලංකා රුපියල් කෝටි 22-කෝටි 25) අතර මුදලක් අය කරන බව පැවසෙනවා.
කන්ගනා රනවුත්, ආලියා බාත්, සෝනම් කපූර් ඉහළ ගාස්තු අය කරන තවත් ජනප්‍රියම නිළියන් තිදෙනෙක්. ඔවුන් මෑතක අය කර තිබූ ගාස්තු පිළිවෙළින් ඉන්දියානු රුපියල් කෝටි 10 (ලංකා රුපියල් කෝටි 25)ක්, ඉන්දියානු රුපියල් කෝටි 8 (ලංකා රුපියල් කෝටි 20)ක්, ඉන්දියානු රුපියල් කෝටි 7 (ලංකා රුපියල් කෝටි 17) ක් ලෙස එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සෝනම් කපූර් යනු සුප්‍රකට නළු අනිල් කපූර් ගේ දියණියයි. තවත් ජනප්‍රිය නිළියක වන විද්‍යා බාලන් චිත්‍රපටයක් වෙනුවෙන් මෑතක අය කළ මුදල ඉන්දියානු රුපියල් කෝටි 7ක් බව සඳහන්. ශ්‍රද්ධා කපූර් ද වැඩිම ගාස්තු අය කරන නිළියන් දස දෙනා අතරට ඇතුළත් වන බවයි පැවසෙන්නේ. ඇය ද ඉන්දියානු රුපියල් කෝටි 6 ත් 7 ත් අතර ගාස්තුවක් අය කරන බව වාර්තා වෙනවා.