පෙම්වතුන්ගේ දිනය නැතිනම් වැලන්ටයින් දිනය අද අපේ රටේත් රෝසමල් හුවමාරු වෙන දවසක් බවට පත්වෙලා. මේ ලස්සන දවස කාගෙ හරි උපන් දිනයකුත් යෙදීලා තිබුණොත් ඒ දවස කොහොම වේවිද? එවැනි වූ දවසක් උදාවුණු අපේ රටේ ආදරණීය චරිතය තමයි අපේ රටේ ප්‍රවීණ කලාකරුවන් දෙපළකගේ දියණියක් වන ‘දූ අනුරාධා’ අනුරාධා නන්දසිරි.
මෙවර උපන් දිනය සමරන්න හිතාගෙන ඉන්නෙ කොහොමද?
මේ වතාවෙ මීට පෙර නොකරපු දෙයක් තමයි කරන්න හිතාගෙන ඉන්නෙ. නමුත් මෙවර උපන්දිනයට ලංකාවේ ඉදීද කියන ප්රශ්නය තියෙනවා. මොකද ප්‍රසංගයකට විදෙස්ගත වෙන්න තියෙනවා ජපානයට. ඒ නිසා සමහර විට මෙවර උපන්දිනය වෙනුවෙන් කරන්න හිතාගෙන හිටපු දේ කරන්න නොහැකිවෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන කියන්න බෑ දැන්ම.
මොකද කරන්න ඉන්නෙ කියලා පොඩි ඉඟියක් දෙමු?
අපේ පවුලෙ අය සත්තුන්ට හරි ආදරෙයි. ගෙදරත් පූසො 11 ක් වගේ ඉන්නවා. කලින් බල්ලෙක් හිටියා, අවුරුදු 19 ක් වගේ ඉඳලා නැතිවුණා. ඊට පස්සෙ ආයෙත් බල්ලෙක් ඉබේම ඇවිල්ලා ගෙදර නැවතුණා. ඒ වගේම වටේ පිටේ ඉන්න බල්ලොත් පූසොත් ඇවිල්ලා කාලා එහෙම යනවා. ඒ වගේ හරි ආදරයක් තියෙනවා.
ඉතින් මට හිතුණා මේ වතාවේ මගෙ උපන්දිනයට සත්තු වෙනුවෙන් දෙයක් කරන්න. ඉතින් මමත් දැක්කා අනාථ බල්ලො 70 ක් වගේ ගෙදර තියාගෙන කන්න බොන්න දෙන අයියා කෙනෙක්ව. ඔහුවත් ඉ හරහා මටත් හදුනගන්න ලැබුණා. ඉතින් එතැනට උපන්දින වලට එහෙම කට්ටිය ඒ සත්තුන්ට අවශ්‍ය දේවල් සපයලා දෙනවා. මටත් හිතුණා, ඒ සත්තු වෙනුවෙන් දෙයක් කරන්න. ඉතින් මගෙ යාළුවොත් මගෙ උපන්දිනයට මගෙත් එක්ක එකතුවෙනවනම් මම වෙනුවෙන් තෑග්ගක් අරන් එනවනම් හෝ ඒ දෙන දෙයක් ඒ සත්තු වෙනුවෙන් ලබාදෙන්න කියලා.
මතකයෙ තියෙන සොඳුරුම උපන් දිනය ගැන කිව්වොත්?
මගෙ පළවෙනි උපන්දිනේ ඉඳලා විවාහ වනතුරුම අම්මා, තාත්තා හැම උපන්දිනයක්ම සැමරුවා. කෑම බීම හදලා, කේක් හදලා, යාළුවො හිත මිතුරන් හැමෝවම සම්බන්ධ කරගෙන. ඒ සාදවලට මගෙ පෙර පාසලේ, පාසලේ, විශ්වවිද්‍යාලයේ යාළුවො සම්බන්ධ වුණා. ඉතින් අවුරුදු 1, 2, 3, 4 උපන්දින ලොකුවට මතක නැති වුණත් ඒවගේ ඡයාරූප ඇල්බම්වලින් දැක්කම මතකයක් තියෙනවා. පසුව මට විශේෂ උපන්දිනයක් විදියට මතකයි අවුරුදු 18 ලබද්දි රණවිරු සෙවණට ගිහින් උපන්දිනය සැමරුවා ඒ අයත් එක්ක. ඒ දවසත් විශේෂයි. ඒ වගේම ටයිටැනික් චිත්‍රපටය ලංකාවෙ ප්‍රදර්ශනය පටන් ගනිද්දි 1998 මේ චිත්‍රපටය බලන්න පෙම්වතුන් පෙම්වතියන්ට ප්‍රවේශ පත්‍ර ලබාදුන්නා කුසපත් ඇදීමක් කළා. එදා ඒ ශාලාවෙම තිබුණා පොඩි ප්‍රසංගයක්. එහිදී ගීත කියන්න මටත්, රනිල් මල්ලවආරච්චිටත්, මධුමාධව අරවින්ද අයියාටත් අවස්ථාව ලැබුණා. පස්සෙ දැනගත්තා ඒ පසුපස නිල්මිණි තෙන්නකෝන් අක්කාත් හිටියා කියලා.
මගෙ උපන්දිනය දවසෙ මට ඒ ආරාධනාව ලැබීමත් ඒ අවස්ථාවෙ ගීතයක් ගායනා කරන්න ලැබීමත් විශේෂයක් වුණා. ඒ දවසෙම සුවිශේෂම මතකයක් කියන්නෙ මගෙ පෙම්වතා, දැන් මගෙ මහත්තයා අපේ ගෙදරට මුලින්ම ආවෙත් එදාම තමයි. ඒත් එක්කම තවත් විශේෂ දෙයක් තමයි ගිය අවුරුද්දෙ මමයි, අම්මයි, තාත්තයි ‘දු අනුරාධා’ නමින් ප්‍රසංගයක් කළා නෙළුම් පොකුණෙ. ඒ පිළිබඳ මූලික අදහස මගෙ ඔළුවට දැම්මෙ අපේ පවුලෙ ළඟම හිතවතෙක් වන විදුර ඩයස් අබේගුණවර්ධන. ඔහු මාව ගොඩක් දිරිමත් කරන ළඟම මිතුරෙක්. ඔහු මට කිව්වා ඔයාට ශක්තිය දෙන්නෙ සහ එළියවැටෙන්නෙ අම්මගෙන් තාත්තාගෙන් නිසා තුන් දෙනාගෙන්ම එකතුවෙන් ප්‍රසංගය කළොත් හොඳයි කියලා. ඔහු මගෙයි, තාත්තගෙයි බැඳීම ගැනත් හොඳට දන්නවා. ඒ නිසා මම තාත්තා ගැන දකින විදිය, දැනෙන හැඟීම ගැන ඔහුගෙ අතින් ලියවුණු නිර්මාණයක් ලබාදුන්නා. ඒ නිර්මාණය ඇත්තටම මටත් තදින්ම දැනුණම මම කිව්වා ගීතයක් කරමු කියලා. මම කැමතිම සංගීතඥයෙක් තමයි නදීක ගුරුගේ කියන්නෙ. ඔහු මට මුනගැහිලා තිබුණට එකට වැඩකරන්න ලැබිලා නෑ. ඉතින් ඔහු මේ ගීතය ලියපු විදුරගෙත් ළඟම හිතවතෙක්. ඒ නිසා නදීක අයියාගේ සංගීතයත් ලබාගෙන ඒ ගීතය එළිදැක්වුණා. ඒ මගෙ ගිය අවුරුද්දෙ උපන්දිනය දවසෙදි. ඉතින් ගීතය එළිදක්වද්දි මගෙ හොඳම යාළුවා කේක් එකකුත් හදාගෙන ඇවිල්ලා මාව සප්‍රයිස් කළා. ඇත්තටම හිතට හරිම සතුටක් ගෙනල්ලා දුන්නා ගිය අවුරුද්දෙ උපන්දිනයත්.
වැලන්ටයින් වගේ විශේෂ දවසක උපන්දිනය යෙදුණු එක ගැන මොකද හිතෙන්නෙ?
ඉස්සර ඉස්කෝලෙ යන කාලෙදි නම් මම කියනවා දැනුම් තේරුම් ඇති කාලෙදි පෙම්වතුන්ගෙ දිනයෙ උපන් දිනේ තියෙන එක පාඩුයි කියලා. මොකද අනිත් පෙම්වතියන්ට වැලන්ටයින් එකටත් තෑගි හම්බවෙනවා. උපන් දිනේටත් තෑගි හම්බවෙනවා. ඉතින් මට අවුරුද්දට එකයිනෙ. ඉතින් ඒකට මට යාළුවො විහිලූත් කර කරා හිටියා මතකයි.
ඇත්තටම එහෙමද තෑගි ලැබුණෙත්?
ඔව් ඇත්තටම එහෙම තමයි ලැබුණෙ. ඒත් මගෙ මහත්තයා දැන් මෑතක ඉඳලා වෙන වෙනම තෑගි දෙනවා වැලන්ටයින් එකටයි බර්ත් ඬේ එකටයි කියලා.
ඒ කියන්නෙ එකම දවසෙ වැටුණට පාඩුවක් නෑ?
නෑ. මම හිතාගෙන හිටියෙ පාඩුවෙයි කියලා. ඒත් එහෙම වුණේ නෑ.
වැලන්ටයින් උපන්දිනය දවසෙම යෙදුණු එකට යාළුවො මොකද කියන්නෙ?
මගෙන් කව්රුහරි උපන්දිනේ අහද්දි මම එයාලගෙන් අහනවා මගෙ මූණ දිහා බලලා දවස කියන්න කියලා? ඉතින් එක එක්කෙනා විශේෂ දවස් කියද්දි මම කියන්නෙ මගෙ මූණ බලලා කියන්න කියලා. ඊටපස්සෙ වැලන්ටයින් දවසෙද කියලා ඇහුවම මම කියන්නෙ මගෙ මූණ බැලූවම පේන්නෙ නැද්ද ප්‍රේමණීය බව. එහෙම කියලා ඉතින් හිනාවෙන වෙලාවල් තියනවා.
විශේෂ දවසක උපන්දිනය යෙදී තිබීම ගැන සතුටුද?
ඔව්. ඇත්තටම සතුටුයි. ලෝකෙම සමරන දවසක්. එකිනෙකාගෙ මොන මොන මත තිබුණත් ඒක ජාත්‍යන්තරව සමරන දෙයක්. විශේෂයෙන් වැලන්ටයින් කියලා එක දවසක් ඕන නෑ. හැමදාටම වැලන්ටයින් කරගන්න පුළුවන් නම් ඒකයි වැදගත්. නමුත් ඉතින් මගෙ උපන් දිනය පෙබරවාරි 14 කිව්වම අනේ ෂෝක් කියලා කියන තැන තමයි හැමෝම ඉන්නෙ.
වැලන්ටයින් ලංකාවට හඳුන්වා දීමට පෙර මේ ගැන තිබුණෙ මොනවගේ හැඟීමක්ද?
මම ඉගෙනගත්තෙ මියුසියස් විද්‍යාලයේ. අපේ පාසල ඇතුළෙ බෞද්ධ පරිසරයක් තිබුණෙ. නමුත් ඒ අතරෙ බටහිර සංස්කෘතියට නැඹුරුවක් ළමයින් අතරේ තිබුණා. මමත් බටහිර ගීත ඇහුවා. ඒ ගායක ගායිකාවන්ගෙ රූප එකතු කළා. ඒ වගේම අපිට යොවුන් ප්‍රේමයක් හරි ඔළුවට එන කාලෙදි වැලන්ටයින් කියලා දෙයක් අපේ ඔළුවල තිබුණා. ඒ සමහර විට පොත්වලින් හෝ චිත්‍රපට බලලා වෙන්න ඇති. පසුකාලීනව මම උගන්වන්න ගියාම වගේ තමයි ටිකක් වැඩිපුර ටියුෂන් පන්තිවල එහෙම වැලන්ටයින් මාර්කට් කරන්න පටන්ගත්තෙ. මගෙ යාළුවන්ටත් පෙම්වතුන් හිටියා. එතකොට කාඞ් තෝරනවා. ඒවා යවනවා. කාඞ් ගත්තෙ නැතත් සින්දු කෑළි දාලා ඒවා හදනවා. ඇයි ඉතින් ඒ කාලෙ කෝල් කරන්න ෆෝන් එහෙමත් නෑනෙ. වැලන්ටයින් හරියට සමරන කාලෙ අපි වයසින් ටිකක් මුහුකුරා ගිහින්.
ආදරෙ කරන කැමතිම ප්‍රේම ගීත තියෙනවද?
මම ගොඩක් කැමති විරහ ගීතවලට තමයි. ප්‍රේම ගීත ගත්තම අම්මගෙයි තාත්තාගෙයි යුග ගීතයක් තියෙනවා, පූජාසනේ ඔබ නම් මගේ, සෙනෙහෙන් දොවන්න නම් ගීතය, ඒ වගේම නන්දා ආන්ටිගෙ ‘අහස සේ ඔබ අනන්තයි’ ගීතයට නීලා ඇන්ටිගෙ ‘‘උපනූපන් ජාති දක්වා’’ ගීතයට ගොඩක් කැමතියි. ඒවගේ පූජනීය බවක් දකිනවා. ඊට අමතරව තව කුල්මත් වෙලා යන ගීත අනන්ත අප්‍රමාණව තියෙනවා.
ඇයි විරහවට ආදරය කරන්නෙ?