ආර්ථික ප්‍රශ්න එක්ක හැප්පෙන ඇතැම් දෙමාපියන් දරුවන් ඝාතනය කරද්දී, හිංසා කරද්දී තවත් විටෙක අනාථ නිවෙස්වල තනි කරද්දී දරුවෝ නැති අම්මලා අනෙක් දරුවන් දෙස බලා අපටත් දරුවෙක් හිටියා නම් කියලා හුල්ලනවා. මේ කියන්න යන්නේ දරු දුක නොදැනුන අම්මා කෙනෙක් තම පුතා මහකනදරාව වැව ලග දමා ගිය පුවතකට ලියවුනු අපුරූ කවියක්. ඉරේෂා හේමමාලි ලියු අපුරූ කවිය පහතින්
දහම් පාසලේ කිවූ පෑතිස් කතන්දරේ
මිහින්තලේ ගල පේනවා ලඟම වගේ
මේ වැව තියෙන්නේ ඒ පහලින්ම වගේ
අම්මේ වැවේ ලොකු ගල ළඟ මං ඉන්නේ
වැවේ වතුර ලුණු රහ ඇති මගේ අම්මේ
අඬන කඳුළු වැවටත් වැටුනා අම්මේ
සබන් කොලෙන් බෝට්ටුවක් හැදුවා අම්මේ
පාකර එව්වේ අම්මට එන්නයි අම්මේ
අම්මට තාත්තා ආයෙත් ගැහුවාද
නංගිලා දෙන්නා බඬගින්නට අඬුවාද
පපුවට තියං ඊයේ ඇඬුවේ ඇයිද
දඟ මුත් මෙහෙම දඩුවම් දෙන්නට හොඳද
කාකි ඇඳුම ඇඳි නැන්දෙක් දැං ආවා
පපුවට තදකරං අම්මා වාගෙම ඇඩුවා
වැවේ ගල ළඟට අම්මා අද එන්න එපා
ටවුමේ පොලිසියට මං එක්කං ආවා
තාත්තා බීලා එයි අම්මා හැංගෙන්න
නංගිලා අහයි මං ගැන නොකියා ඉන්න
එන්නට සල්ලි නැත්තං කැටයෙන් ගන්න
වලලලා වීර ගහ පාමුල ඇති ඔන්න