Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
07
"කනත්ත බලාගන්න රස්සාවකටත් දැම්මා, ඒකට මාව ගත්තෙත් නැහැ.." - දයා තෙන්නකෝන්

- "කනත්ත බලාගන්න රස්සාවකටත් දැම්මා, ඒකට මාව ගත්තෙත් නැහැ.." - දයා තෙන්නකෝන්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,492 Views
"අපි පත්තර බිම එලාගෙන තමයි ඒ පොඩි කාමරේ නිදාගත්තෙ..."

"මම ඉපදුනෙත් තේ වත්තක, ආශ්‍රය කළේ දෙමළ මිනිස්සු.."

මම ඉපදුණේ ගමකවත්, නගරයකවත් නෙවෙයි. මම ඉපදුණේ තේ වත්තක. අපේ තාත්තා තේ වත්තක තේ කර්මාන්තශාලාවක් බාරව හිටපු නිලධාරියෙක්. ඒ කාලේ තාත්තා සේවය කළ තේ කර්මාන්තශාලාවේ තමයි ලංකාවේ හොඳම තේ නිෂ්පාදනය කළේ. ඒ කර්මාන්තශාලාවෙන් ලෝකය පුරාම තේ බෙදාහැරීම සිදුකළා. ඉතින්.. එවැනි වටපිටාවක් තිබුණු පරිසරයක තමයි මගේ පුංචි කාලේ ගෙවුණේ. මගේ ගේ අවට වැඩිපුරම හිටියේ දෙමළ මිනිස්සු.

අපේ ගෙදර පවා වැඩපළ කළේ දෙමළ අය. මම ඉස්කෝලෙ ගියේ දෙමළ මනුස්සයකුගේ කරපිටින්. පුංචි කාලේ මාව කරේ තියාගෙන ඇළෙන් බැහැලා ඒ දෙමළ මනුස්සයා මාව ඉස්කෝලෙට අරගෙන ගිය කාලය මට අද වගේ මතකයි. මට ඒ කාලේ සෙල්ලම් කරන්න හිටියෙත් දෙමළ යාළුවන්. සුද්දෝ මේ ඉඩම් අරගත්තට පස්සෙ ඒ වතු ආශ්‍රිතව පොඩි පොඩි ගම් හැදුණා.

මුලින්ම ඉස්කෝලෙ ගියේ ගමේ පාසලටද..?
ඔව්.. මම මුලින්ම ඉගෙනගත්තෙ අපේ ගමේ තිබුණු පොඩි ඉස්කෝලෙයි. අපේ ගමේ නම ගලබඩවත්ත. ගලබඩවත්ත පුංචි පාසලේ තමයි මගේ මූලික ඉගැන්වීම් කටයුතු සිද්ධ වුණේ. ඒක බොහොම පොඩි ඉස්කෝලයක්. මුළු ඉස්කෝලෙටම හිටියේ ගුරුවරු දෙන්නයි. ගෙදර ඉඳන් හැතැප්ම එකහමාරක් විතර අපි හැමදාම කුඹුරු මැදින්, ඔයවල් උඩින් පයින්ම තමයි ඉස්කෝලෙට ගියේ. ඒක දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිස්සු ජීවත් වුණු බොහොම දුප්පත් ගමක්. පුංචි කාලේ ගමේ ඉස්කෝලෙ ඉගෙනගත්ත ගමේ ළමයි එක්ක මම සෙල්ලම් කළා. ඒ කාලේ හරිම සුන්දරයි. ඒ කාලෙදී අපි යාළුවෝ කට්ටිය එකතුවෙලා කොහු තැලුවා. හනසුවලින් එක එක රූප හැදුවා. පොල්කටුවලින් හැඳි හැදුවා. ඒ වගේ හරිම සුන්දර ළමා කාලයක් මට තිබුණා. මට වැඩිමහල් සහෝදරියක් සහ සහෝදරයෙක් හිටියා. මට මතකයි ඒ කාලෙදී ඉස්කෝලෙ විවේක කාලයට අපිට බනිස් දුන්නා. ටිකක් ලොකු සීනි දාපු ඒ බනිස් එක කන්න අපි පුදුම විදිහට ආසා කළා. හැබැයි අපේ ගුරුවරු ඒවා කෑවම බඩ නරක් වෙනවා. කියලා අපිට ඒවා වැඩිපුර කන්න දුන්නෙ නැහැ.

ගමේ පුංචි පාසලෙන් ඉගෙනගත්ත ඔබ මහනුවර ධර්මරාජ විදුහලට ඇතුළත් වුණා. ඒ පාසලෙන් ලබාගත් අත්දැකීම් කොහොමද..?
ඔව්.. ගමේ ඉස්කෝලෙන් පස්සෙ මම මහනුවර ධර්මරාජ විදුහලට ඇතුළත් වුණා. ධර්මරාජ විදුහල මහනුවර උසම තැනකනෙ පිහිටලා තියෙන්නෙ. ඒක හරිම ලස්සන පරිසරයක්. අපිට ඉස්කෝලෙ ඉඳන් බලද්දී මුළු මහනුවරම හරිම අපූරුවට පේනවා. මම ඉස්කෝලෙ හොස්ටල් එකේ ඉඳන් තමයි ඉගෙන ගත්තෙ. ඒ බෝඩින් ජීවිතයත් හරිම සුන්දරයි. අපේ ඉස්කෝලෙ ආශ්‍රිතව අක්කර තිස් ගාණක විතර ලොකු වත්තක් තිබුණා. ඉතින් ඉස්කෝලෙන් පස්සෙ හොස්ටල් එකට ඇවිත් ගොඩක් වෙලාවට අපි ඒ වත්තෙ ඇවිදින එක තමයි කළේ. ධර්මරාජයේ අපිත් එක්ක වැඩිපුරම ඉගෙනගත්තෙ මහනුවර ආශ්‍රිතව අහළ පහළ ජීවත් වුණු සාමාන්‍ය ළමයි. ඒ අතරේ නගරයේ ජීවත් වුණු පොහොසත් පවුල්වල දරුවනුත් හිටියා. අපි හැමෝම එකතුවෙලා හවස් වරැවේ අර අක්කර ගාණක් විශාල වත්තට ගියා. ඒ වත්තේ නැති පළතුරක් නැති තරම්. කොස්, දෙල්, වරකා, පේර, හිඹුටු, දං, ජම්බු, අඹ, ඕන තරම් තිබුණා. අපේ කුස වැඩිපුරම පිරෙව්වේ ඒ අක්කර ගාණක ඔහේ වැවුණු පළතුරැයි. එක වෙලාවකට වරකා ගෙඩියක්, වැල ගෙඩියක් ගහෙන් කඩාගෙන ගහ මුලම තියාගෙන යාළුවෝ කට්ටිය වටකරගෙන කෑවා. තවත් වෙලාවක අඹ ගස්වලට නැඟලා ඉදුණු අඹ කෑවා. ඒ මහ වත්තේ අපි නැඟපු නැති ගහක් නැති තරම්. ඒ කාලය හරිම සුන්දර කාලයක්. ධර්මරාජේ මට බොහෝ යාළුවෝ පිරිසක් හිටියා. හොස්ටල් ජීවිතේ වුණත් හරි සුන්දරයි. ඉස්කෝලෙ වාර අවසානයෙදී අපි නාට්‍ය කළා. බොහෝ වෙලාවට අපි නාට්‍ය පුහුණුවීම් කළේ හොස්ටල් එකේ අපේ කාමරවලයි. හවසට නාට්‍යයට හිටපු කොල්ලෝ සෙට් එක, එක කාමරයකට එකතුවෙලා නාට්‍ය පුහුණුවීම් කළා. එහෙම නැත්නම් අර විශාල පළතුරු වත්තට ගිහින් ඒ නාට්‍ය පුහුණු වුණා. කිසිම බඩගින්නක් දැනුණේ නැහැ. ඒ තරමට ඒ වත්ත අපේ කුස පිරෙව්වා. එහෙම ඉඳලා විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියට එද්දී අපිට තවත් අලුත් මිත්‍රයෙක් මුණගැහුණා. ඒ තමයි ධර්මසිරි පතිරාජ.

ඒ අපූරු මිත්‍රයා ඔබේ ජීවිතයේ යම් හැරවුම් ලක්ෂයක් වුණා කිව්වොත්..?
ඔව්.. පතී අපේ ඉස්කෝලෙට ආවට පස්සෙ අපි හොඳ මිත්‍රයෝ වුණා. ඒ කාලේ පතීට හරි අපූරු හැකියාවක් තිබුණා. පතී වැඩිය පාඩම් කරපු කෙනෙක් නෙමෙයි. නමුත් ගුරුවරු කියලා දෙන දේ හොඳට එයාගේ හිතට වැදුණා. මේ නිසා අපිට අමාරු විෂයයන් අපි පතීගෙන් තමයි අහගත්තෙ. පතීට කවි මතක තබාගැනීමේ හැකියාවක් තිබුණා. ඒ නිසා අපිට අමතක වුණු කවි පතී අපිට කියලා දුන්නා.

පාසල් අධ්‍යාපනයෙන් පසුව ඔබට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ වරම් ලැබෙනවනෙ. විශ්වවිද්‍යාල ජීවිතය කොහොමද..?
ඔව්.. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරුණා. මමයි පතීයි දෙන්නම විශ්වවිද්‍යාලයේ එකම ශාලාවේ තමයි හිටියෙ. විශ්වවිද්‍යාලයේදී බොහෝ හවස්වරුවල විදෙස් චිත්‍රපට පෙන්නුවා. ඊට අමතරව ගවේෂණාත්මක සිනමාපට පෙන්නුවා. ඒ නිසා ඒවා නැරඹීමේ උණක් මට ඇතිවුණා. එහෙම ඉන්න අතරතුරේදී සුගතපාල සෙනරත් යාපා අපේ විශ්වවිද්‍යාලයට දවසක් ආවා.

ඒ හන්තානේ කතාව චිත්‍රපටය වෙනුවෙන් නේද..?
ඔව්.. ඒ කාලෙදී සුගතපාල සෙනරත් යාපා හන්තානේ කතාව චිත්‍රපටය කරන්න ලකලැහැස්ති වෙමිනුයි හිටියෙ. ඒ වෙද්දීත් පතීගේ අයියා මාර්ගයෙන් සුගතපාල, පතීව දැනගෙනයි හිටියෙ. ඉතින් හන්තානේ කතාව පිටපත විශ්වවිද්‍යාලයට අරගෙන ආපු සුගතපාල, ඒක ගැන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කණ්ඩායමක් එක්ක පොඩි සාකච්ඡාවක් කළා. ඒ කණ්ඩායමට මමත් ඇතුළත් වුණා. හැබැයි සුගතපාල ගෙනාපු පිටපත විශ්වවිද්‍යාල ජීවිතයට එතරම්ම ගැලපුණේ නැහැ. ඒ නිසා ඒ ගෙනාපු පිටපත අපි හැමෝම එකතුවෙලා ටිකක් වෙනස් කරලා විශ්වවිද්‍යාල ජීවිතයට පොඩ්ඩක් සමීප කළා. අපි කට්ටිය එකතුවෙලා අලුතින් හන්තානේ කතාව පිටපත ලිව්වා. ඒ ලියන අතරතුර මමත් ඉතින් දැවටි දැවටී ඒ අසලම හිටියා.

ඒ අත්දැකීම් එක්කද සුගතපාල සෙනරත් යාපා හන්තානේ කතාවේ නළුවාගේ චරිතය තෙන්නෙට බාරදෙන්නෙ..?
(විශ්වවිද්‍යාල මිත්‍රයන් දයා තෙන්නකෝන්ව අමතන්නෙ තෙන්නෙ කියලයි.) ඔව්.. ඔන්න පිටපත ලියද්දී විශ්වවිද්‍යාල චරිත ලියනකොට එයාලා නාථ කියන චරිතය මට දුන්නා. හන්තානේ කතාවේ නාථගේ චරිතයෙන් තමයි මම චිත්‍රපට ලෝකයට අවතීර්ණ වුණේ.

ඒ කියන්නෙ අහම්බෙන් ලැබුණු අවස්ථාවක්.. එහෙම නේද..?
ඔව්.. ඇත්තටම මේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනා කියන දෙයක් තමයි මේ ක්ෂේත්‍රයට ආවේ ගොඩක් කට්ට කළා. දරදිය ඇදලා.. කියලා. නමුත් මට එහෙම වුණේ නැහැ. මොකක්දෝ වාසනාවකට මාව මේ ක්ෂේත්‍රයට නිකම්ම තල්ලු වුණා. හන්තානේ කතාවෙන් පස්සෙ බන්දුල ජයවර්ධන කියන මහත්මයා මට මුණගැහුණා. ඒ මහත්මයාගේ වේදිකා නාට්‍යයකට මට දායකවෙන්න අවස්ථාව ලැබුණා. ඒ කාලෙදී ලූෂන් බුලත්සිංහලත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටියේ. ඉතින් ඒ හරහා වේදිකා නාට්‍යයටත් අවතීර්ණ වෙන්න පුළුවන් වුණා.

විශ්වවිද්‍යාල ජීවිතයෙන් පසුව දයාට මොකද වුණේ..?
ඔය කියන්නෙ රැකියාවල් ගැනනෙ. ඔව්.. විශ්වවිද්‍යාල ජීවිතේ අවසන් වුණාට පස්සෙ ලොකුම කාර්යය වුණේ රැකියාවක් සොයාගැනීම. ඒ නිසාම පේරාදෙණියට සමුදීලා මම රස්සාවක් හොයාගෙන කොළඹට ආවා. ඒ ආපු මුල් කාලය දිහා බලද්දී සමහරැ හිතාවි මේක කට්ට කෑමක් කියලා. හැබැයි මට ඒක සුන්දර අත්දැකීමක්. කොළඹ ඇවිත් නවතින්න දන්න කියන නෑදෑයෙක් මට හිටියෙ නැහැ. මගේ යාළුවෙක් වුණු බන්දුල විතානගේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න කාලේ නාට්‍ය නිසා අපි හඳුනාගෙන හිටියා. ඒ හැඳුනුම්කම නිසාම කොළඹට ඇවිත් බන්දුල හිටපු මරදානේ පුංචි කඩකාමරය තමයි මගේ නවාතැන වුණේ. මුල් කාලෙදී අපි පත්තර බිම එලාගෙන තමයි ඒ පොඩි කාමරේ නිදාගත්තෙ. ඒ කඩකාමරේ ඉඳන් සතියේ හැම පත්තරේකම රැකියා ඇබෑර්තු මම කියෙව්වා. පයින් කීයක්නම් ඉන්ටර්විව්වලට යන්න ඇත්ද..? ඒත් ලැබුණේ නැහැ. ගොඩක් අය අපි යද්දීම ඇතුළෙන් කට්ටිය අරගෙන. ඒ නිසාම තමයි සතුරෝ කියන චිත්‍රපටයත් නිර්මාණය කළේ. ඔන්න ඔහොම ගොඩක් රැකියාවලට අයදුම්පත්‍ර දැම්මා. සම්මුඛ පරීක්ෂණවලට ගියා. ඒත් හරි ගියේ නැහැ. මියගිය කෙනෙකුගේ මළමිනිය බාරදුන්නට පස්සෙ ඒ මිනිය බාරගන්න නිලධාරියෙක් ඉන්නවනෙ. එයාට කිව්වෙ ෆියුනරල් ඩිරෙක්ටර් කියලා. මිනිය කනත්තට අරගෙන යද්දී ඉස්සරවෙලා කළු කෝට් එක ඇඳගෙන යන කාර්යය එයාට අයිතිවෙලා තිබුණා. මට මතකයි, මම ඒ නිලධාරී තනතුරට අයදුම් කළා. ඒකත් ලැබුණේ නැහැ.

අවසානයේදී ඔබට ගුවන්විදුලියේ රැකියාව ලැබුණා..?
ඔව්.. ඔය කාලෙදී ගුවන්විදුලි සංස්ථාවට සේවකයන් බඳවාගැනීමේ දැන්වීමක් පුවත්පතක පළකරලා තිබුණා. අධ්‍යාපන සුදුසුකම්වලට අමතරව කලා කටයුතුවලට දායක වී තිබීම සුවිශේෂී සුදුසුකමක් ලෙස එහි සටහන් කරලා තිබුණා. ඉතින් මමත් ඒකට අයදුම්පතක් දැම්මා. ඉන්ටර්විව් යන දවසේ මම සුගතපාල ද සිල්වා මහතාගෙත්, බන්දුල ජයවර්ධන මහතාගෙත්, සුගතපාල සෙනරත් යාපා මහතාගෙත් ලියුම් තුනක් අරගෙන ඉන්ටර්විව් එකේදී ඉදිරිපත් කළා. මාව ඉන්ටර්විව් කළ මහත්තුරු මගෙන් සංගීතය දන්නවද? කියලා ඇහුවා. ඒ වෙලාවෙදී මම කිව්වේ මම සංගීතය දන්නෙ නැහැ. හැබැයි සංගීතය රසවිඳින්න දන්නවා. කියලා. ඉතින් මට මුකුත් කියන්නෙ නැතිව මට යන්න කිව්වා. ඒක මට සාමාන්‍ය දෙයක්නෙ. මමත් ඉන්ටර්විව් එක ගැන අමතක කරලා ඉන්නකොට මට ඇවිත් වැඩ බාරගන්න කියලා විදුලි පණිවිඩයක් ආවා.

පසුගිය කාලයේදී ඔබයි ඔබගේ දයාබර බිරියයි ලංකාවේ හිටියේ නැහැනෙ.. කොහේද ගියේ..?
ඔව්.. පසුගිය මාසයේදී අපි ඔස්ට්‍රේලියාවේ පොඩි සංචාරයක යෙදුණා. අපි නාට්‍ය පෙන්නන්නවත්, රඟපාන්නවත් නෙමෙයි ගියේ. ග්‍රේස්ගේ නංගි පදිංචිවෙලා ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ. ඉතින් අපි එකට හමුවෙලා ඉන්නවා කියලා ආරංචි වුණු ඔස්ට්‍රේලියාවේ සිංහල ගුවන්විදුලි නාළිකාවක් අපිට එහෙදී පැයක සාකච්ඡාවකට ආරාධනා කළා. ඊට පස්සෙ ඒක ආරංචි වුණු අපේ රසික රසිකාවියන් පිරිසක් අපිට සුහද හමුවකට ආරාධනා කළා. ඇත්තටම ඒ ගමන හරි අපූරුයි. අපි දෙන්නා ඔස්ට්‍රේලියාවේ බොහෝ තැන්වල ඇවිදින්න ගියා.  ග්‍රේස්ට මේ වසරේදී කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ඉටුකරන ලද විශිෂ්ට සේවාවට උපහාරයක් විදිහට කලාභූෂණ රාජ්‍ය සම්මානය ලැබුණා. දැන් ඉතින් අපි දෙන්නා අපේ පාඩුවේ නිදහසේ ජීවත් වෙනවා.

දිශානි ජයමාලි

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,304 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  36,198 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  33,399 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,032 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,197 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,050 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  42,968 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,693 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,662 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,805 Downloads



Top 10 Commenters

Latest Comments

Top