"අපේ පඩිය ලබාදීලා ලංකාවට ගෙන්වා ගන්න.දරුවෝ බලන්න යන්න"
"ඔයාලට බුදු බව අත්වෙයි.මේ හිරගෙදරින් නිදහස් කරන්න"
ගෘහසේවිකාවන් ලෙස මැදපෙරදිග රටවලට යන මෙරට කාන්තාවන් බහුතරයකට සිදුවන දුක්ගැහැට අප හෙළි කලේ වරක් දෙවරක් නොවේ.
අද සී.අයි.ඒ.අනාවරණය ද වසර ගණනක් මෙරටට විදෙස් විනිමය ගෙන ඒමට සෞදි අරාබියේ දුක්විද, මෙරටට පැමිණීමට නොහැකිව සෝ සුසුම් හෙළනා කාන්තාවන් පිරිසක් පිළිබදවයි.
හිරු සී.අයි.ඒ. දුරකථන අංකයට සෞදි අරාබියේ සිට වට්ස් ඇප් හරහා සම්බන්ධ වු කාන්තාවක් මෙලෙස පණිවුඩයක් තබා තිබුනා.
ඒ අනුව හිරු සී.අයි.ඒ. ඉමෝ හරහා අදාල කාන්තාවන් සම්බන්ධ කර ගත් අතර ඔවුන් පැවසුවේ සෞදි අරාබියේ රියාද් නුවර මාසා නම් කදවුරක ඔවුන් රදවා ඇති බවයි.
"මම සෞදියට ආවේ 2011 එකම කපීලගෙ ගෙදර අවුරුදු 5 මාස 3 ක් වැඩ කළා.තව මාස 3 ක පඩි ගන්න තියෙනවා. මම එම්බසියට කථා කළා.එම්බසියේ සර් කෙනෙක් ඇවිත් රියාද් එකේ මාසා කෑම්ප් එකට දැම්මේ.මාස 11 ක් වෙනවා.අපේ පඩි ලැබුණේ නැති නිසා තමයි තාම ඉන්නේ.අපේ පඩිය ලබාදීලා ලංකාවට ගෙන්වා ගන්න.දරුවෝ බලන්න යන්න".
"මේ කෑම්ප් එකට ඇවිත් මාස 5 ක් වෙනවා.පොත හදලා දෙන්නේ නැතිව එයාර් පෝර්ට් එකට ඇරියා.දැන් මාස 3 ක් විතර හිටියා. අනේ සර් පුළුවන් තරම් ඉක්මණින් සල්ලි නැතත් කමක් නෑ.මාව ලංකාවට යවන්න දරුවට සනීප නෑ.මෙහෙම ඇවිත් අවුරුදු 7 ක් වෙනවා.යන්න සලස්වලා දෙන්න.ඔබවහන්සේට පිං සිද්ධ වෙනවා".
මෙරටට ඒමට හඩා වැටෙන මෙම කාන්තාවන් අතර වයස අවුරුදු 68 ක් වන කාන්තාවක් ද ඇති අතර ඇතැම් කාන්තාවන් මේ වනවිට රෝගී තත්ත්වයන්ටද ගොදුරු වී සිටිනවා.
"දැන් මෙතන අවුරුද්දක් වෙනවා.සහෝදරියන්ගේ ෆෝන් ඉල්ලන් කතා කරනවා.එම්බසියේ සර්ලට.මාසයෙන් යවනවා, දෙකෙන් යවනවා කියනවා.අවුරුදු 12 කින් අම්මා, තාත්තා, දරුවො දැක්කේනෑ. අවුරුද්දක් මෙතන හිරකරගෙන ඉන්නවා.මොකක් ද අපි කරලා තියෙන වැරැද්ද..?ඔයාලට බුදු බව අත්වෙයි.මේ හිරගෙදරින් නිදහස් කරන්න".
මෙලෙස මාසා කදවුරේ විවිධ හේතූන් මත වසර ගණනාවක සිට කාන්තාවන් 54 ක් පමණ රදවා සිටින බවයි වාර්තා වන්නේ.
මෙරටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ගෙනඑන්නේ මැදපෙරදිග දුක්විදින මෙම කාන්තාවන්ගේ දහදිය මහන්සියෙන් බව මෙරට කරවන බලධාරීන්ට අමුතුවෙන් මතක් කර දිය යුතු කරුණක් නොවේ.
ඔවුන් කළ එම මෙහෙවර සලකා හෝ තවදුරටත් තානාපති කාර්යාලවල පුටු රත්කරමින් නොයිද මෙම කාන්තාවන් සිරගත නොකොට මෙරටට ගෙන්වා ගැනීමට මෙරට බලධාරීන් කටයුතු කළ යුතු නොවේ ද?
මොවුන්ට සාධාරණයක් ඉටුවන තුරු හිරු සී.අයි.ඒ.අවධානයෙන්.
VIDEO