ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ බිහිසුණුම බස්රිය - දුම්රිය අනතුර සිදු වූයේ 1989 ජනවාරි 17 දා අහුන්ගල්ලේදීය. එයින් පාසල් සිසු සිසුවියන් 38 දෙනෙකු ඇතුළු 40 දෙනෙක් මරුමුවට පත්වූහ. ඉතිහාසයේ කුමන හෝ වර්ගයක වාහනයක් දුම්රියක ගැටීමෙන් වැඩිම පිරිසක් මියගියේ මෙම අනතුරිනි.
අම්බලන්ගොඩ සිට ඌරගහ දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථය අහුන්ගල්ල දුම්රිය හරස් මාර්ගයේදී අලුත්ගම සිට ගාල්ල දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. එකල අහුන්ගල්ල ඌරගහ මාර්ගයේ ධාවනය වූයේ මෙම බස්රථය පමණි.
වර්තමානයේ මෙන් එදා පෞද්ගලික බස් රථ මෙම මාර්ගයේ ධාවනය වූයේ නැත. පොල්අතුපළාත, ලෑලිහේත්තුව, කටුවිල, නෙල්ලිගොඩ, ගල්වෙහෙර, වැලිකන්ද, බෝගහපිටිය, මරදාන ආදී ප්‍රදේශ රැසක පාසල් සිසු සිසුවියන් අම්බලන්ගොඩ, බලපිටිය, අහුන්ගල්ල ප්‍රදේශයන්හි පාසල් වෙත ආවේ ගියේද මෙම බස් රථයෙනි. පාසල නිමවී පොත්මිටි තුරුලු කරන් කුසගින්නේ නිවෙස් බලා එමින් සිටි පාසල් සිසු සිසුවියන් 38 දෙනෙක් මෙම අනතුරින් මරණයට පත්වූහ.
එදා අහුන්ගල්ල හා අවට ගම්මානයන් එකම මළගෙයක් බවට පත්ව තිබිණි. දෙන්නා තුන්දෙනා මෙන්ම සිව්දෙනා ආදී වශයෙන් එකට වළ දැමූ සොහොන්ද ප්‍රදේශයේ විය. එකල අහුන්ගල්ල මෙන්ම දිවයිනේ බොහෝ දුම්රිය හරස් මාර්ග අනාරක්ෂිත තත්ත්වයේ තිබුණු ඒවාය.
ඒවා කිසිවකට ගේට්ටු සවිකර තිබුණේ නැත. අහුන්ගල්ල දුම්රිය හරස් මාර්ගය අසල දුම්රිය මාර්ගය ආසන්නයට වන්නම ගොඩනැඟිලි ඉදිකර තිබීම හේතුවෙන් දුම්රියේ පැමිණීම දැකගන්නට ලැබෙන්නේ දුම්රිය මාර්ගය අසලටම පැමිණි පසුවය. අහුන්ගල්ලේදී දුම්රියක පැමිණීම බොහෝ වාහන හිමියන්ට එකල දැනුම් දුන්නේ අසල්වැසි කාන්තාවකි. ඇය මේ වන විට මියගොසිනි. මෙදිනද එම කාන්තාව අත් ඔසවා කෑගසමින් ඒ බව දැනුම් දුන්නත් බස් රථයේ රියැදුරා බස් රථය නතර කළේ දුම්රිය මාර්ගය මතටම බස් රථය ගෙන ඒමෙන් පසුවය.
දුම්රිය දැකීමෙන් බියට පත්වීම මත බස්රිය දුම්රිය මාර්ගය උඩ තිබියදීම බස්රථයේ එන්ජිම නතර වී තිබිණි. 1980 පෙබරවාරි 08 දින පුහුණු වන දුම්රිය රියැදුරෙකු ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට එක්වූ බලපිටියේ ඒ.ආර්. ද සිල්වා මහතා මෙම දුම්රියේ රියැදුරු ලෙස කටයුතු කරමින් සිටියේය. ඔහු 1985 වසරේ බලවේග කට්ටල දුම්රිය රියදුරෙකු ලෙස පත්වීම් ලැබ වසර 02ක් කොළඹ බලවේග ධාවනාගාරයේ සේවය කර 1987දී ස්ථාන මාරුවක් ලැබ ගාල්ල ධාවනාගාරයට අනුයුක්තව සේවය කරමින් සිට ඇත.
ඔහුට නියමිතව තිබුණේ ගාල්ල - අලුත්ගම මන්දගාමී දුම්රිය ධාවනය කිරීමයි. මෙදින ගාල්ල අළුත්ගම බලවේග කට්ටල දුම්රියේ යම් දෝෂයක් හේතුවෙන් උ 2 වර්ගයේ ජර්මන් එන්ජිමක් සහිත අංක 704 දරන දුම්රිය ධාවනය කිරීම මොහුට බාරවිය. අලුත්ගමින් ගාල්ල දක්වා ගමන් ආරම්භ කළ දුම්රිය ප.ව 2.25ට කොස්ගොඩ දුම්රිය නැවතුම්පොළේ නවතා 2.30 වන විට අහුන්ගල්ල දුම්රිය නැවතුම්පොළට ළඟා වෙමින් තිබූ බවත් එක්වරම දුම්රිය මාර්ගයට ප්‍රවිෂ්ට වූ බස්රිය හා දුම්රිය අතර දුර, ඉතා අඩු වූ හෙයින් කිසිවක් කර කියා ගන්නට නොහැකි වූ බවත් ඒ.ආර්. ද සිල්වා මහතා සිද්ධිය විමර්ශන කළ ඒක පුද්ගල කොමිසම හමුවේ පසුව ප්‍රකාශ කර තිබුණි.
දුම්රියේ මැද වැදුණ බස්රිය දෙකට කැඩී ගිය බවත් සිසුන් රේල්පාර මැදට ටැටීමෙන් දුම්රියට හසුවූ බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබිණි. එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන්නට ඒකපුද්ගල ජනාධිපති කොමිසමක් පත් කළේය. ඒ හිටපු අභියාචනාධිකරණ විනිසුරු ඩී.ජේ. ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙනි. දුම්රිය රියැදුරුවරයා ඉහත සාක්ෂිය ලබා දුන්නේ මෙම කොමිසම හමුවේය.
එයට අමතරව හේමා ප්‍රේමදාස ආර්යාව අහුන්ගල්ලට එවා අනතුර පිළිබඳව සොයා බලා එයින් විපතට පත්වූවන්ට සහන සැලසීම සම්බන්ධයෙන් කටයුතු කරන්නටද උපදෙස් ලබා දී තිබිණි. එයින් පසුව රුපියල් 1000/- ක මාසික දීමනාවක් මත ජනසවිලාභීන් යොදවා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග වලට උණ බම්බු ගේට්ටු සවි කරන්නටද ජනාධිපති ප්‍රේමදාස මහතා පියවර ගත්තේය. දුම්රිය හරස් මාර්ග වලට උණ බම්බු ගේට්ටු වැටුණේ මෙම අනතුර නිසාය.
ලංකා ගමනාගමන මණ්ඩලය අනතුරෙන් මියගිය පුද්ගලයන්ට හා තුවාල ලැබූවන්ට වන්දි ගෙවීය. ඒ මියගිය අයකුට රුපියල් 25,000/- ක් වශයෙන් හා තුවාල ලැබූවන්ට රුපියල් 50,000/- සිට 1,00,000/- දක්වා ආදි වශයෙනි. නමුත් ජීවිත අහිමි වූවන්ගේ හා තුවාල ලබා ආබාධිත වූවන්ගේ පවුල් ජීවිත ගොඩගන්නට එම මුදල් කිසිසේත් ප්‍රමාණවත් නොවීය. අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරුට එරෙහිව අහුන්ගල්ල පොලිසිය බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමටද පියවර ගෙන තිබුණි. නඩුව අවසානයේ එහි රියදුරුට වසර 190 ක සිර දඩුවම් නියම කිරිමටත් රියදුරු බලපත්‍රය අත්හිටුවීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි. අනතුරින් මියගිය අය සිහිපත් කිරීම සඳහා ස්මාරකයක් ඉදි කිරීමටද එකල කිසියම් වූ සංවිධානයක් මුදල් ලබා දුන්නේය.
විපතට පත් පවුල් යළි ගොඩනැඟීමටද ඒ අතර මුදල් විය. නමුත් එම මුදලින් ගොඩනැඟූ පවුලක්ද නැත. එම මුදල්වලට සිදු වූයේ කුමක්ද යන්නද අදටත් කිසිවෙක් නොදනිති. අවසානයේ ආසන්න විහාරස්ථානයකට ප්‍රවිෂ්ට වීමේ තොරණක් එම මුදලින් ඉදිකිරීමට යම් කණ්ඩායමක් පියවර ගෙන තිබුණි. එම තොරණේ පාමුල අනතුරින් මියගිය සිහිපත් කිරිමට එය ඉදිකළ බවද සඳහන් කර තිබේ. අනතුරින් බරපතළ තුවාල ලබා තවමත් ආබාධිත තත්ත්වයේ පසුවන කීප දෙනෙකුද සිටී.
එහිදී හමු වූ කීප දෙනෙක් හා ඔවුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල ඥාතීන් පලකල අදහස් පහත දැක්වේ. අහුන්ගල්ල, සී.පී. ද සිල්වා මාවතේ පදිංචි ඩී. සමන් මෙන්ඩිස් (49).
"මම හෑගල්ල මහ විද්‍යාලයෙන් සා පෙළ සමත් වෙලා උසස් පෙළ කරන්න බලපිටිය රේවත විද්‍යාලයට ගියා. 1986 අගෝස්තුවල පන්ති පටන් ගත්තේ. මාස කීපයයි ඉස්කෝලෙට ගිහින් වෙන්නේ. මම අදටත් බෙහෙත් බොනවා. අත් කකුල් කඩල ගියා. බඩේ පපුවේ සැත්කම් කරල තිබෙනවා. ඒ කාලේ මාස 02ක් විතර සිහිය නැතුව ඉඳලා තියෙනවලු. දැන් ස්නායු ආබාධයක් තියෙනවා. මාසෙකට රුපියල් 1800/- ක් විතර යනවා. අක්කයි නංගියි මමයි අම්මයි ඉන්නේ. මම ලෙඩෙක්. අක්කයි නංගියි මම ගැන වෙහෙසෙනවා. ඒ නිසා කවුරුවත් විවාහ වෙලා නැහැ. තාත්තාගේ පැන්ෂන් එකෙන් ජීවත් වෙන්නේ. අනතුර නිසා අපේ පවුලම විනාශ වුණා. දැන් කවුරුවත් අපි ගැන හොයලා බලන්නෙත් නැහැ."
අනතුරෙන් දැඩි ලෙස ආබාධිත තත්ත්වයට පත් වු තවත් අයෙකු වන්නේ එවකට අහුන්ගල්ල, පොල්අතුපළාත ප්‍රදේශයේ පදිංචිව සිටි ඩී. උෂානි ඉමල්කා ද සිල්වා මෙනවියයි. (47) ඇය මේ වන විට සිය නැඟණියගේ අහුන්ගල්ල, ගල්වෙහෙර නිවසේ ජීවත් වෙයි. ඇය සම්බන්ධයෙන් නැඟණිය කිව්වේ මෙවන් කතාවකි.
"පොඩි අක්කා, බලපිටිය රේවත ජාතික පාසලේ ඉගෙන ගත්තේ. අනතුර සිදුවන විට 10 වැනි ශ්‍රේණියේ හිටියේ. අනතුරෙන් පොඩි අක්කගේ ඔලුව මොකක් හරි වැදිලා. දැන් හරියට සිහියක් නැහැ. පොඩි එකෙක් වගෙයි හැසිරෙන්නේ. කන්න දුන්නොත් කනවා. නැත්නම් ඔහේ ඉන්නවා. කොහේවත් එක්ක යන්න බැහැ. බස් දකින විට බයයි. කෑගහනවා. තාත්තා මැරෙන විටත් කිව්වේ පොඩි අක්ක හොඳින් බලා ගන්න කියලා. අපිත් දුප්පත්. පුළුවන් විදියට උදවු කරනවා. අනතුර නිසා අක්කගේ ජීවිතයම විනාශ වුණා. එයා හොඳට ඉගෙන ගත්තා. අනතුර නොවුණා නම් අක්ක අද කොහොම ඉඳීවිද?"
අහුන්ගල්ල, කටුවිල පදිංචි අගම්පොඩි භද්‍රාණි ද සොයිසා (50) හා අගම්පොඩි ස්වර්ණපාලි ද සොයිසා (44) අක්ක නගෝය. ස්වර්ණපාලී ඒ වන විට බලපිටිය රේවත ජාතික පාසලේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය. ස්වර්ණපාලී අනතුර සිදුවූ බස්රථයේ පාසල ඇරී නිවසට පැමිණෙමින් සිටියාය. ඇයගේ මව වන ගීමුණි ලීලාවතී කවිරත්න මහත්මියත්, භද්‍රාණි සොයුරියත් වෙනත් අවශ්‍යතාවකට අම්බලන්ගොඩ ගොස් ආපසු පැමිණෙමින් සිටියාය. අනතුරෙන් මව මියගිය අතර අක්ක නගෝ බරපතළ තුවාල ලැබූහ. ස්වර්ණපාලිගේ වම් පාදයේ දණහිසින් පහළ කොටස ඉවත් කර තිබේ. ඇය අදටත් ගත කරන්නේ දුක්ඛිත ජීවිතයකි. ඇය මෙසේ කීවාය.
"මට වන්දි හැටියට රුපියල් 75,000/- දුන්නා. අනතුරින් පස්සේ අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වැටුණා. ඉස්සර දැන් වගේ මේ පාරේ බස් තිබුණේ නැහැ. කිහිලිකරුවෙන් හෝ රෝද පුටුවකින් පාසල් යන්න බැරි නිසා පාසල් ගමන නැවතුණා. අනතුරින් පස්සේ පාසල් ගියේ නැහැ. ඒ කාලේ ඒ ගැන තේරුමක් තිබුණෙත් නැහැ. ඉගෙන නොගත් එකේ පාඩුව දැන් තේරෙනවා. මම ඒ කාලේ හොඳට ඉගෙන ගත්තා. දැන් ඉතින් අපි ගැන කවුරුවත් හොයලා බලන්නේ නැහැ. අපිට ඒ කාලේ ගොඩක් උදවු කළේ මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුවෝ. වලගෙදර අමරවංශ හාමුදුරුවෝත් ගොඩාක් උදවු කළා. අර කෝච්චියේ පැටලිලා තිබෙන්නේ අපෙ අම්මගේ සාරියයි. අම්ම මතක් වෙන විට අදටත් විශාල කනගාටුවක් දැනෙනවා."
ලියනගේ ජානක පුෂ්ප කුමාර (43) අනතුරින් බරපතළ තුවාල ලැබූ අයෙකි. අහුන්ගල්ල, මරදානේ පදිංචි ඔහු මෙසේ කිය.
"මම රේවත ජාතික පාසලේ 08 වැනි ශ්‍රේණියේ ඉගෙන ගත්තේ. මම සාමාන්‍යයෙන් මේ බස් එකේ එන්නේ නැහැ. කොස්ගොඩ බස් එකේ ඇවිත් අහුන්ගල්ල හන්දියෙන් බැහැලා පයින් ගෙදර එන්නේ. එදාත් මම කොස්ගොඩ බස් එකේ ඇවිත් අහුන්ගල්ලෙන් බැස්සා. හොඳටම වහිනවා. වැස්ස පායනකම් බස් හෝල්ට් එකේ ඉන්න විට ඌරගහ බස් එක ආවා. ඉතිරි ටික දුර යන්නයි මේ බස් එකට නැග්ගේ. මට බරපතළ තුවාල වුණා. ශරීරයේ වම් පැත්තට ගොඩක් තුවාල වෙලා තිබුණා. වම් අත, වම් කකුල කීප තැනකින් කැඩිලා තිබුණා. වම් ඇහැටත් තුවාල වෙලා තිබුණා. දැනටත් වම් අත නවන්න දිග අරින්න බැහැ. බඩේ පපුවේ ලොකු ඔපරේෂන් දෙකක් කරල තිබෙනවා. ඉස්කෝල අධ්‍යාපනය කඩාකප්පල් වුණා. මාස 04ක් විතර ගාල්ලත් කොළඹත් ඉස්පිරිතාලවල හිටියා. දැන් ඉතින් වෙල්ඩින් වැඩ කරනවා. වැඩිම තුවාල වුණේ මටයි කියලයි කියන්නේ. අපි ගැන රජය සැලකිල්ලක් දක්වන්න ඕනෑ."
අනතුරෙන් විපතට පත්වූවන් තවත් බොහෝය. මේ සම්බන්ධයෙන් යම් සොයා බැලීමක් කරන්නේ නම් ඒ සඳහා උදවු කළ හැකිය. මියගිය අයද බොහෝය. දරුවන් අහිමි වීමෙන් අසරණ වූ මවුපියෝද සිටිති. ගල්වෙහෙර උපුල්, නෙල්ලිගොඩ දුලීකා, චම්පා ද සොයිසා සහ නන්දනී ද සොයිසා දෙසොහොයුරියන්, සුනන්දලතා ද සිල්වා, සම්පත් සංජීව, නිරෝෂා කුමාරී, ප්‍රදීපා ද සිල්වා, රසිකලතා ද සිල්වා, මෙන්ම ආදම්බාවා අසානී උම්මා ගුරුවරියද මියගිය අය අතර සිටිති. අසානි උම්මා සමන්තුරේ තරුණියකි. ඇය බලපිටියේ අසාහිර් මොහොමඩ් ලෙබ්බේ හා ප්‍රේම සම්බන්ධයක් ගොඩනඟා ගන්නේ ඔවුන් 1974දී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපයේ ඉගෙනුම ලබමින් සිටියදීය. බලපිටිය මුස්ලිම් විද්‍යාලයේ ඉගැන්වීමේ නිරතව සිටි ඇය පාසල නිමවී නිවසට පැමිණෙමින් සිටියදී අනතුරට ලක්වූවා.
මියගිය උපුල්ගේ මව එම්.බී. යසවතී (77) මහත්මිය අදටත් සිටින්නේ හැඬූ කඳුළිනි. එම අනතුරින් උපුල්ගේ ඥාති නැඟණියක වන චින්තා ප්රියදර්ශනීද (එවකට 12) බරපතළ තුවාල ලැබුවාය. එමෙන්ම අනතුරින් තුවාල ලැබූවන් රෝහල් වෙත ගෙන යන්නට උපකාර කළ අහුන්ගල්ල මිද්දරමුල්ලේ බන්දුසිරි (65) මෙන්ම බෝගහපිටියේ උපාලි ද සිල්වාගේ මතකයන්ද අති බිහිසුණුය. ඔවුන් ප්‍රකාශ කරන්නේ මියගිය හා තුවාල ලැබූවන් රෝහල් කරා ගෙන යන්නට මහත් කැපවීමකින් කටයුතු කළ බවයි. මොවුන් පිළිබඳවද මතකය අවදි කරන්නේ අනතුරට වසර 29ක් පිරෙන මොහොතේ අසරණ වූ පවුල්වලට යම් සාධාරණයක් ඉටු කිරීම සඳහා බලධාරීන් අවදි කරන්නටය.
[ජනකාන්ත ලියනගේ]
රැස