මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා පාසලක විදුහල්පතිනියකගේ පහරින් තුවාල ලත් අපොස උසස් පෙළ දැරියක් මහනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පහරකෑ සිසුවිය ඇයගේ යෙහෙළියක සමඟ ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විදුහල්පතිනිය අදාළ සිසුවියගෙන් දිගින් දිගටම ප්‍රශ්නකොට ඇති අතර සිසුවිය තමන් ඊට සම්බන්ධ නැති බව කීවත් එම වරද පිළිගන්නා ලෙස බලකරමින් විදුහල්පතිනිය සිසුවියට පහර දී ඇතැයි සිසුවියගේ මව පවසනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මව සහ දියණිය මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇති බව සඳහන්.
පැමිණිල්ල සිදුකරන අවස්ථාවේ සිසුවිය කනේ දරුණු වේදනාවක් ඇති බව පවසමින් කෑගසා ඇති අතර එම අවස්ථාවේ ඇය රෝහල්ගත කිරීමට පොලිස් නිලධාරීන් සහ මව කටයුතු කර තිබෙනවා.
අදාළ පාසලේ විදුහල්පතිනිය සහ ගුරු මණ්ඩලයෙන් කරුණු විමසමින් ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර පරීක්‍ෂණ පවත්වමින් සිටිනවා.
විදුහල්පති කාමරයේ සවිකොට ඇති සීසීටීවී කැමරා පද්ධතිය අක්‍රිය බවද පරීක්ෂණවලදි අනාවරණය වී තිබෙනවා.