පීනස ලෙස හඳුන්වන රෝගයට බොහෝ දෙනා ගොදුරුව සිටිති. ඊට ගොදුරු වූ විට නිතර කිවිසුම් යැම, නාසයෙන් හෝ උගුරෙන් සෙම ගැලීම, නළල ප්‍රදේශයේ නිතර වේදනාව ඇතිවීම සිදුවන බව ඉන් පීඩා විඳින්නෝ පවසති.
වෛද්‍යතුමනි, පීනස රෝගය ඇතිවීමට බලපාන හේතු මොනවාද?
පීනස ලෙස හඳුන්වන්නේ කෝටරක ආසාදන තත්ත්වයටයි. මෙය ඇතිවීමට හේතු වන්නේ අසාත්මිකතාවයි.
එනම් දූවිල්ල, සීතල පරිසරය, විවිධ ආහාරපාන, දූවිලි මැක්‌කා බල්ලන්, පූසන්, සුරතල් සතුන් ආදීන්ගේ රෝම, කැරපොත්තන්ගේ මළපහ ආදිය බොහෝ දෙනාට අසාත්මිකයි.
අසාත්මිකතාවයේ දී අධික ලෙස ශ්ලේෂ්මල (සෙම) නිපදවෙනවා. එය සොටු දියර ලෙසින් නාසයෙන් පිටතට ගලා යනවා.
ඊට අමතරව කිවිසුම්යැම, නාසය, උගුර කැසීම ආදී අපහසුතාවනුත් මතු වෙනවා.
මෙලෙස අසාත්මිකතාව ඇති වෙන්නේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩිවූ විටදීයි. එසේ ක්‍රියාකාරිත්වය වැඩිවූ විට අධි සංවේදීතාවක් ඇති වෙනවා. ශ්වසන පද්ධතිය තුළත් මෙලෙස අධි සංවේදීතාව ඇතිවූ විට ශ්ලේෂ්මල (සෙම) අධික ලෙස නිපදවීම, කිවිසුම් යැම ආදිය ඇති වෙනවා.
මීට අමතරව ජානමය හේතුත් බලපානවා. එනම් පරම්පරාවෙන් පරම්පරාවට යැම හෙවත් පීනස ඇති අයගේ දූ දරුවන්ටත් මෙම රෝගය මතුවිය හැකියි.
වෛද්‍යතුමනි, පීනස සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?
පීනස සඳහා ප්‍රතිකාර කිරීමේදී එය සිදුකළ යුත්තේ රෝගය ඇතිවීමට බලපා ඇති අසාත්මිකතා හඳුනා ගනිමිනුයි. ඒ අනුව අසාත්මික වන ද්‍රව්‍යවලින් වැළකී සිටීම හෙවත් ඒවාට නිරාවරණය වීම අවම කර ගැනීම තුළින් පීනස ඇතිවීම වළක්‌වාගත හැකියි. එනිසා පීනස සඳහා ප්‍රතිකාර කිරීමේදී රෝගියා සමඟ සාකච්ඡා කර රෝග ඉතිහාසය හඳුනා ගැනීම පළමුව කළ යුතුයි.
ඊට අමතරව ඇතැම් පුද්ගලයන්ට විවිධ ආහාර වර්ග ආහාරයට ගත්විට අසාත්මිකතා ඇති වෙනවා. එනම් ඇඹුල් කෙසෙල්, තක්‌කාලි, වම්බටු, අන්නාසි, බණ්‌ඩක්‌කා වැනි ආහාර ගත්විට අසාත්මිකතා ඇති වෙනවා.
ප්‍රතිකාර ලෙස ස්‌ටිරෝයිඩ් වර්ගයේ ඖෂධ ලබාදීම මගින් සෙම සොටු ගැලීම වළක්‌වාලනවා. ඒ සඳහා එම ඖෂධ මාස දෙකක්, තුනක් වැනි දීර්ඝ කාලයක් ලබාගත යුතුයි.
ඊට අමතරව වර්තමානයේ බටහිර රටවල අධිසංවේදීතාවය නැති කිරීම සඳහා එම සංවේදී වන ද්‍රව්‍ය යම් ප්‍රමාණවලින් ලබාදීම සිදු කරමින් අධි සංවේදීතාවය නැති කිරීමේ ප්‍රතිකාර සිදු කරනවා. නමුත් තවම එම ප්‍රතිකාර අප රටේ භාවිතා වන්නේ නැහැ.
මෙලෙස පීනස සඳහා නිසි ප්‍රතිකාර ලබා ගැනීම සහ අසාත්මික වන ද්‍රව්‍යවලින් වැළකී සිටිමින් එය පාලනය කරගත යුතුයි. එසේ නොවුණහොත් පසු කලකදී ඇදුම වැනි රෝග ඇතිවීමට පීනස බලපෑ හැකියි.
වෛද්‍ය දමිත රොද්‍රිගූ