තාම තීරණයක් අරන් නෑ
එ.ජා.පයෙන් ආරාධනා ලැබෙනවා
එක්සත් ජාතික පක්ෂයට යළිත් එක්වීමට තමන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්න මහතා පවසනවා.
මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වූ ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් කිසිසේත් එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවයි.
ඔක්තෝබර් 26 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ඔහුට සහය පළ කිරීමට එක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යළිත් එම පක්ෂයට එක්වීමේ සූදානමක් පවතින බවට මාධ්‍ය වාර්තා පළ වනවා.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්න මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ තමන් එක්සත් ජාතික පක්ෂයට යළි එක්වීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කළ ආනන්ද අලුත්ගමගේ සහ අශෝක ප්‍රියන්ත යන මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වයද ලබාගත් අතර, නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක්වන්නේද යන්න සම්බන්ධයෙන් ඔවුන් ද අදහස් දැක්වුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ආචාර්ය විජේදාස රාජපක්ෂ සහ දුනේෂ් ගන්කන්ද යන මන්ත්‍රීවරුන්ද හිටපු ජනාධිපතිවරයාට සහය පළ කිරීමට එක්වුණු අතර ඔවුන්ගෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමට අප කිහිප විටක් උත්සාහ කළද ඔවුන් සම්බන්ධ කරගැනීමට හැකිවූයේ නැහැ.
මේ අතර පසුගිය ජාතික ආණ්ඩුවේ නිලයන් දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර අති බවට වාර්තා පලවනවා.
මේ සම්බන්ධයෙන් අප එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාගෙන් විමසීමක් කළ අතර, එහිදී ඔහු සඳහන් කළේ එය සාවද්‍ය තොරතුරක් බවයි.
එමෙන්ම, එක්සත් ජාතික පෙරමුණෙන් තමන්ට එවැනි ඉල්ලිම් ලැබෙන බවත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවදඔහු සඳහන් කළා.
මේ අතර, මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ අවස්ථාවට එක්වූ ජාතික ආණ්ඩුව නියෝජනයකළ සන්ධාන මහලේකම් මහින්ද අමරවීර සහ ලක්ෂ්මන් සෙනවිරත්න යන මහත්වරුන්ගෙන් නව රජයට එක්වන්නේද යන්න පිළිබඳ මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.