මව විදේශ ගතවෙලා..
අධිකරණයෙන් ලැබුණු දඬුවම..
මව විදෙස්ගතව සිටියදී 14 වියැති දියණිය දූෂණය කළ තිදරු පියෙකුට වසර 21ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් ලක්‍ෂ තුනක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණය ඊයේ (10) නියෝග කර තිබෙනවා.
මෙලෙස සිර දඬුවම් නියම වී ඇත්තේ අම්බලන්තොට, චිත්‍රාගල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගම්මන ආරච්චිගේ තනුජ නමැති තිදරු පියකුටයි.
බිරිය විදෙස්ගතව සිටියදී 09 වසරේ ඉගෙනුම ලබමින් සිටි 14 වියැති සිය දියණියව 2015 අගෝස්තු 01 වැනි දින සිට අවස්ථා කිහිපයකදීම බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැරදි කරු වූ පියා අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී කියා ඇත්තේ තමන් එදින රාත්‍රි සාදයකට ගොස් මත්පැන් පානය කර නිවෙසට පැමිණ දුව නිදා සිටි ඇඳේ නිදා ගත් බවත් ඉන් පසු සිදුවූ දේ තමන්ට හිතාගත නොහැකි වූ බවයි.
නමුත් අපයෝජනයට ලක් වූ දැරිය සාක්‍ෂි දෙමින් පවසා තිබුණේ තමන් මල්ලීත් එක්ක එක ඇඳක නිදා සිටියදී සාදයට ගොස් අරක්කු බී ආ තාත්තා තමන් සිටි ඇඳට විත් තමන්ට ලිංගික අතවර සිදුකළ බවයි.
කෙසේ වෙතත් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා තුනක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා. නඩු විභාගය අතරතුර සැකකාර පියා අදාළ වරද පිළිගැනීම හේතුවෙන් ඔහුට දඬුවම් නියම කර තිබෙනවා.
අදාළ චෝදනා තුන සඳහා වැරදිකරු බවට වරද පිළිගත් සැකකාර පියාට එක් චෝදනාවකට වසර හත බැගින් වසර 21ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළ අතර චෝදනා තුන සඳහා වෙන වෙනම රුපියල් 5000 බැගින් රුපියල් 15000ක දඩ මුදල් හා වින්දිත දැරියට රුපියල් ලක්‍ෂ තුනක වන්දි මුදලක් ද ගෙවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කෙරිණි. චූදිතට නියම කෙරුණු වසර 21ක සිර දඬුවම එකවර ගෙවී යන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
එමෙන්ම චූදිතට නියම කෙරුණු දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස හය බැගින් මාස දහ අටක සිර දඬුවමක් හා වන්දි මුදල් නොගෙවන්නේ නම් වසර බැගින් තවත් වසර තුනක සිර දඬුවමක් ද නියම කෙරෙණි.