මහයියාව දුම්රිය ස්ථානය අලංකාර, මනරම් ස්ථානයක් බවට පත් කල ඉන්දික කුමාරසිංහ නම් දුම්රිය ස්ථානාධිපතිවරයා ගැන “හිරු ගොසිප්“ තුළින් අපි අනාවරණය කළා.
ඒ අතරතුර ඉන්දික කුමාරසිංහ මහතාගේ එම උත්සහය වෙනුවෙන් ඇගයීමක් සිදු කෙරුණු බව අපිට දැනගන්නට ලැබුණා.
සිය මුහුණූ පොතේ සටහනක් තබමින් දුම්රිය ස්ථානාධිපතිවරයා එසේ තමා ඇගයීමට ලක් කළ පිරිසට ස්තුති කර තිබෙනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරී, ඩිලන්ත ප්‍රනාන්දු මහතා, ගමනාගමන අධිකාරී ඒ.ඩී.ජී. සෙනෙවිරත්න මහතා සහ රථවාහන අධිකාරී පී.ඒ.එස්. වර්ණසූරිය මහතා යන අය විසින් මෙසේ ඉන්දික කුමාරසිංහ මහතාට ඔහුගේ සේවාව ඇගයීමට ලක් කරමින් තිළිණ ප්‍රදානයක් සිදු කර තිබෙනවා.
ඉන්දික කුමාරසිංහ මේ පිළිබඳ සිය මුහුණු පොතේ සටහන් කර තිබුණේ මෙලෙසින්...
"අපිටත් රජෙක් ඉන්නේ"....... ආඩම්බරයි, දුම්රිය සාමාන්‍යාධිකාරී, ඩිලන්ත ප්‍රනාන්දු මැතිදුනි. මා ආඩම්බර වන්නේ, ඔබතුමන් මහයියාව දුම්රිය ස්ථානයට පැමිණ, එහි කටයුතු අධීක්ෂණය කර, මා වෙත ප්‍රශංසා කිරීම සම්බන්ධයෙන් පමණක් නොවේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නියමුවා ලෙස, අඩුපාඩු සොයා බලන්නටත්, රාජකාරි කටයුතු ඇගයීමටත්, දෙපාර්තමේන්තුවේ හතර මුල්ල නිසියාකාරව දන්නා රජෙකු සිටින බැව් හැගුන නිසාවෙනි.
ගමනාගමන අධිකාරී ඒ.ඩී.ජී. සෙනෙවිරත්න මැතිදුනි, රාජ්‍ය සේවාවේ වැදගත්කම , සමාජ සබඳතා , දුම්රිය ස්ථාන කළමනාකරණය , හරිත පරිසරයක් ගොඩනැගීම හා ආරක්ෂා කිරීම පිළිබඳව දුම්රිය පුහුණු පාසලේදී, හද පතුලේ රෝපණයකළ දුම්රිය ස්ථානාධිපතිවරයකුගේ වගකීම හා අභිමානය (යම්තාක් දුරකට) මල් ඵල ගැන්වීමට හැකිවීමත්, ඒ පිළිබඳව අධීක්ෂණය කිරීමට ඔබගේ පැමිණීමත් මා ලද භාග්‍යයකි .
සැමවිටම උපදෙස් , අවවාද දෙමින් රාජකාරි කටයුතු ඉටුකිරීමට මා හට සවියක්වූ, ප්‍රවාහන අධිකාරී පී.ඒ.එස්. වර්ණසූරිය මැතිදුනි ඔබට මාගේ ගෞරවනීය ස්තුතිය.
මා සිටවූ මල්පැළ උගුල්ලා දැමීමෙන්, මල් පෝච්චි කඩා බිද දැමීමෙන්, කුණු කසළ ගෙනැවිත් දුම්රිය ස්ථානයට දමමින්, වරෙක මා වෙත තර්ජනය කරමින්, අසැබිවදන් බිත්තිවල ලියමින් මෙය විනාශකිරීමට උත්සාහකළ සමහර ප්රාදේශවාසීනි,මේ පරිසරය,සමස්ථ ලෝකයටම අයිතිය.
ඔබේ කුහකත්වය තුලින් මා ලද ජවය හා පන්නරයට, ස්තුතියි.
එමෙන්ම ඉන්දික කුමාරසිංහ මහතා සිදු කල මේ ක්‍රියාව පිළිබඳව දුම්රිය ස්ථානාධිපතිවරයෙක් වන නලින් අබේසිංහ විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබෙනවා.
පසුගිය දිනවල මුහුණු පොතේ මෙන්ම අන්තර්ජාලයේ වෙබ් අඩවි ගනනාවකද කතාබහට ලක්වූ තැනකි මහනුවර ආසන්නයේ පිහිටි මහයියාව දුම්රිය ස්ථානය. මේ දුම්රිය ස්ථානය මීට අවුරුදු කීපයකට කලින් රස්තියාදු කාරයින්ගේ,බේබද්දන්ගේ සහ කුඩ්ඩන්ගේ තිප්පොලක් බවට පත්වී තිබුණ අතර අද වන විට එය මහනුවර සිට මාතලේ දක්වා වැටී ඇති දුම්රිය මාර්ගයේ දර්ශනීයම දුම්රිය ස්ථානය බවට එහි දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් පත්කර තිබේ.
මෙහි සුවිශේෂීම කාරනය වන්නේ මේ අලංකරණ කටයුතු සියල්ලම ඔහුගේ පුද්ගලික මුදලින් සිදුකිරීමයි. මහයියාව දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරයා, ඉන්දික කුමාරසිංහ මාගේ බැචෙකි. ඒ නිසාම ඌ "ඌ" යැයි ආමන්ත්‍රණය කරන්නේ ලෙංගතු කමෙනි) ගැන මා හොදින්ම දනිමි.
තමන්ගේ රාජකාරි ස්ථානය මෙන්ම ආණ්ඩුවේ කුලී නිවාසය වුවද හොදම කොලිටියෙන් පවත්වාගෙන යාමට සහ ඒවායේ පහසුකම් හා අලංකරණ කටයුතු ඉහල තත්වයේ තබාගැනීමට ඌට ඇති ඇම්ම එසේ මෙසේ එකක් නොවේ.. දැන් ඔහු පදිංචිව සිටින දුම්රිය නිවාසයද කලකට පෙර කිසිවකු විසින් පදිංචිව නොසිට අතහැර දමා තිබූවක් වූ අතර එයද ඔහු අලුත්වැඩියා කරන ලද්දේ රුපියලේ ලක්ෂ දෙකතුනක් පුද්ගලිකව වියදම් කිරීමෙන් බව තතු දන්නෝ දනිති.
ඉන්දික හොද කවියෙකි...මීට අවුරුදු කීපයකට කලින් ඔහු වැල්ලව දුම්රිය ස්ථානයේ සේවය කරන විට එහි වැසිකිළි පහසුකම් වල අඩුපාඩුවක් පිළිබඳව මාගේ මිත්‍රයා අවස්ථා කීපයක දී ඉහලට දැන්වීය. ඒ ගැන නෑසූ කන්ව දිගින් දිගටම පාලනාධිකාරිය කටයුතු කල නිසා අවසානයේදී මාගේ මිත්‍රයා කවි පද කිහිපයකින් තමාගේ අවනඩුව ගැන එවකට සිටි දුම්රිය සාමාන්‍යාධිකාරි වෙත ලිව්වේය.
එහි අවසන් ප්‍රතිඵලය වූයේ එවකට සිටි බලධාරීන් ඔහු ගැන කුපිත වී චෝදනා පත්‍රයක් (චාජ්ෂීට් එකක් )පවා නිකුත් කිරීමයි. ඉන්දිකට එල්ලකළ චෝදනාව වූවේ "රාජකාරිමය කටයුතු සදහා අනුමත නොකල මාධ්‍යකින් දුම්රිය සාමාන්‍යාධිකාරි ආමන්ත්‍රණය කිරීම" යි. ඒ සියල්ල අතීතයේය.
නව දුම්රිය සාමාන්‍යාධිකාරි තුමා පසුගිය දිනක මහයියාව දුම්රිය ස්ථානය නැරඹීමට පෞද්ගලිකවම ගිය අතර එහිදී ඉන්දිකගේ ක්‍රියාවට ප්‍රසංශා කර ත්‍යාගයක් ද පිරිනමන ලදී. මාගේ මතකයේ ඇති අන්දමට මෑත කාලීනව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයෙක් විසින් කිසිදු දුම්රිය ස්ථානාධිපතිවරයෙක් වෙත මෙවැනි ඇගයීමක් සිදුකර නැත.
මාගේ මිත්‍රයා එවැනි ඇගයීමක් ලැබීම පිළිබඳව මා ඉත සිතින් සතුටු වෙමි. ඉන්දිකලා වැනි ඇම්මක් ඇති උන් දුම්රිය සේවයට තව තවත් අවශ්‍යය. එසේම උන්ගේ ක්‍රියාවන් මෙලෙසින් දිරිගැන්වීමටද අවශ්‍යය. වඩාත් ප්‍රශස්ථ සේවාවක් උන්ගෙන් එවිට රටට ලැබෙනු ඇත.