රත්නපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මොළේ මිය ගිය බවට නිගමනය කෙරුණු බස් රථ කොන්දොස්තරවරයෙකුගේ සිරුරෙන් ඉවත් කරගත් වකුගඩු දෙක සහ අක්මාව පසුගිය මස 30 වැනිදා මහනුවර හා පේරාදේණිය ශික්ෂණ රෝහල්වලදී රෝගීන් තිදෙනෙකුට බද්ධ කෙරුණා.
මෙම බද්ධ කිරීම් තුනම සාර්ථක වී රෝගීන් තිදෙනාම සුවය ලබමින් සිටින බව මහනුවර ශික්ෂණ රෝහලේ පිහිටුවා ඇති මොළේ මිය ගිය අයගේ අවයව ලබා ගැනීමේ සම්බන්ධිකරණ ඒකකයේ ප්‍රධානී වෛද්‍ය අරුණ අබේරත්න මහතා පැවසුවා. කැමැත්තෙන් දායක වූ බව පැවසුවා.
මවුපියන්ගේ කැමැත්ත ඇතුව මෙසේ වකුගඩු සහ අක්මාව බද්ධ කිරීම සඳහා ලබාගත්තේ ගොඩකවෙල ගලහිටිය 79 කණුව අසළ පදිංචි අසංක ගුණතිලක නැමැති අවිවාහක තරුණයෙක්.
පුතුන් පස්දෙනෙකුගෙන් යුතු පවුලේ දෙවැනියා වූයේ අසංකයි.
ඔහු බස් රථයේ පාපුවරුවේ ගමන් කරද්දි පැල්මඩුල්ල හල්දුළුකන්ද හන්දියේදී ඉකුත් 24 වෙනිදා රාත්‍රීයේ බිමට වැටී හිසට බරපතල හානි සිදු වී රත්නපුර මහ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටි බව වෛද්‍ය අබේසිංහ මහතා පවසනවා.
අසංකගේ සිරුරෙන් ලබාගත් අවයව කඩනමින් ගෙන යා යුතු නිසා ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් ලබා දුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් රත්නපුර මහ රෝහලේ සිට මහනුවර මහ රෝහල දක්වා ආරක්ෂක ක්‍රමවේද යොදා ගනිමින් රැගෙන ආ බව වෛද්‍ය අබේසිංහ මහතා පවසනවා.
මෙම ගෙන ඒමේ කටයුත්ත සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වකුගඩු නිවාරණ ඒකකයේ අධ්‍යක්ෂක නීල් ඉද්දවෙල සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ අබේරත්න, ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයමාන්න යන මහත්වරුන්ගේ ද සහයෝගය ලැබී තිබෙනවා.
එම කොටස් ගුවනින් ගෙන ඒමට එක් වූයේ මහනුවර ශික්ෂණ රෝහලේ ඉදිකර ඇති මොළේ මිය ගිය අයගේ කොටස් ලබා ගැනීමේ සම්බන්ධිකරණ ඒකකයේ හෙද නිලධාරි, අනුර රත්නායක, හෙද නිලධාරිනි ආර්. එම්. ජයවර්ධන යන අය සහ පවිත්‍රා බුලත්ගම, රුවින් රත්නායක යන මෙනෙවියන්.
අක්මාව පිරිමි පුද්ගලයෙකුටද එක් වකුගඩුවක් දෙමළ ජාතික කාන්තාවකට ද මහනුවර ශික්ෂණ රෝහලේදී බද්ධ කරනු ලැබුවේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් වන පී.කේ. හරිස්චන්ද්‍ර සහ චරිත් වීරසිංහ යන මහත්වරු විසින්.
පේරාදේණිය රෝහලේදී අනෙක් වකුගඩුව පිරිමි පුද්ගලයෙකුට බද්ධ කර ඇත්තේ එම රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය බන්දුල සමරසිංහ මහතා විසින්.
මොළේ මිය ගිය තරුණයාගේ පියාවන කේ.ජි. ගුණරත්න මහතා අදහස් දක්වමින් මෙම පින්කමට ඉතා කැමැත්තෙන් දායක වූ බව පැවසුවා.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-
(ලංකාදීප පුවත්පත)