රයිනි ගුණතිලක කියන්නේ දක්ෂ ගායිකාවක්. නිරන්තරයෙන්ම ගීත එක්ක ජනතාව අතරට ආවේ නැතත් රයිනි සංගීත ක්ෂේත්‍රය තුල නමක් හදාගත් චරිතයක්. දෙමාපියන්ගේ ආභාෂය ඇයට ආවේණික කරගෙන ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනා ගත් ඇය ගැනයි මේ.
* ළඟ එන නත්තලත් එක්ක කාර්යබහුල වෙලා නේද?
ඔව්. නත්තල, අවුරුද්ද එක ළඟ නිසා වැඩ ටිකක් වෙනදාට වඩා වැඩිවෙලා තියෙනවා.
* ළඟදි අලුත් ගීතයක් කළේ නැද්ද?
නැහැ. තවම අලුත් ගීතයක් කළේ නැහැ.
* ගීතයක් නිර්මාණය කිරීමේදී රයිනි වැඩිපුර අවධානය දෙන්නේ මොකකටද?
මම මුලින්ම ඉංග්‍රීසි ගීත තමයි ගායනා කළේ. මම හිතුවේ නැහැ මට සිංහල ගීත ගයන්න පුළුවන් වෙයි කියලා. මම ඒ නිසා ගොඩක් සිංහල ගීත අහල තිබුණේ නැහැ. පොඩි කාලේ තේරුණේ නැති නිසා මම මුලින්ම අහන්නේ මෙලඩි එක. දැනුත් මම අහන්නේ මෙලඩි එක මුලින්ම. මොකද මිනිස්සු මුමුණන්නේ මෙලඩි එක තමයි. ඊට පස්සේ මම වචන අහනවා. ඒ වචන දැනෙනවා නම් තමයි ඒ සිංදුව කරන්නේ.
* වර්තමානයේ නිර්මාණ විශාල ප්‍රමාණයක් බිහිවුණත් මතකයේ රැඳෙන නිර්මාණ තියෙන්නේ බොහොම අතලොස්සයි නේද?
ඔව්. විශාල ප්‍රමාණයක් සින්දු කරලා දැම්මම එක ගායකෙයක් ඒකෙන් එකක් වගේ තමයි මිනිසුන් අතරට යන්නේ. අද කාලේ තියෙන්නේ තරගයක්. එකම සින්දුව වගේම සින්දු කිහිපයක් ආවහම මිනිස්සුන්ට පටලැවිලි සහගතයි. එවිට ඒ සින්දු මතකයේ රැඳෙන්නේ නැහැ. පැවැත්ම තීරණය වෙන්නේ හැමදේම හොඳට කළොත් විතරයි. මම මයිකල් ජැක්සන්ගේ රසිකයෙක් වුණත් ඔහුගේ හැම සින්දුවකටම කැමති නැහැ.
* නවකයන්ට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සහයෝගය ලැබෙන්නේ නැහැ කියන්නේ ඇත්තද?
මම ක්ෂේත්‍රයට ආපු කාලේ මට උදව්වක් ලබාගන්න ඕන වුණේ නැහැ. අම්මයි තාත්තයි නිසා. මම කියන්නේ අපි හැමෝටම ගරු කරන්න ඕන. නමුත් වර්තමානයේ ක්ෂේත්‍රයට එකතු වෙන අය ගොඩක් අහංකාරයි. ආඩම්බරයි. එහෙම කරද්දි උදව් කරන්න හිතෙන්නේ නැහැ කියලා හිතෙන්නේ.
* අම්මා, තාත්තගේ ජනප්‍රියත්වය රයිනිගේ ගමන් මගට ලොකු පිටිවහලක් වුණා කීවොත්?
අනිවාර්යයෙන්ම. රසිකයෝ අපෙන් බලාපොරොත්තු වෙනවා අපි ඒගොල්ලන් වගේ හොඳ දෙයක් කරයි කියලා. ඒක මුලින්ම ක්ෂේත්‍රයට එද්දි දැනුණ දෙයක්. ඒ දේ ඇත්තටම අපි පාලමකට දඬු ගෙනැත් තිබ්බා වගේ දෙයක්.
* අක්කයි නංගියි එකතුවෙලා සින්දුවක් කියන්න අදහසක් නැද්ද?
මම ආවේ මගේ ගීතයකින්. එයත් එහෙම බලාපොරොත්තුවකින් ඉන්නවා. තවම එහෙම සැලසුමක් නැහැ. අපේ ගෙදර එහෙම ලොකුවට සැලසුම් කරන්නේ නැහැ. හැමදේම වෙන්නේ ඕන වෙලාවට කියලා තමයි හිතන්නේ. පොඩි පොඩි සැලසුම් තියෙනවා.
* පවුලේ හතර දෙනාම ක්ෂේත්‍රයට සම්බන්ධ නිසා පවුලේ ප්‍රසංගයක් පවත්වන්න අදහසක් නැද්ද?
රූ සඳ රෑ ප්‍රසංගමයට තමයි මමයි, නංගියි එකතු වෙන්නේ. නංගි මගේ ගීතයක්, අම්මගේ ගීතයක කොටසක් තමයි
ගායනා කළේ. එයා අධ්‍යාපනයට තමයි මුල්තැන දුන්නේ. උපාධිය අවසන් කරන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි අපි දැනගත්තේ එයා සංගීතයට බරයි කියලා. අපේ ගෙදරින් කවදාවත් අපට බල කළේ නැහැ මේ දේවල්ම කරන්න ඕන කියලා. අපිට තෝරාගනීමේ නිදහස දීලා තිබුණා. ලබන අවුරුද්දේ අගෝස්තුවල අපේ පවුලේ ප්‍රසංගය පවත්වන්න තීරණය කරලා තියෙන්නේ.
* ඉගෙනගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න එක මගහැරිලාද?
ඉගෙන ගත්ත දෙය වහලා තියෙනවා. ඒක පාවිච්චි වෙන්නේ නැහැ. පස්සෙ කාලෙක ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවා.
* දැන් දිගටම ලංකාවේද පදිංචිය?
ලංකාවේ තමයි වැඩිපුරම ඉන්නේ. නිතර යනවා එනවා. අම්මලත් ඉන්න නිසා ලංකාවේ තමයි වැඩිපුරම කාලය ගතවෙන්නේ.
* පොඩි කාලේ ඉඳන්ම රයිනි හීන මැව්වේ කවුරු වෙන්නද?
මම මුලින්ම කැමති වුණේ ගුවන් සේවිකාවක් වෙන්න. විද්‍යාඥවරියක් වෙන්න අදහසක් තියෙනවා. හැම තිස්සේම විද්‍යාත්මක පැත්තෙන් ආටිකල් කියවනවා.
* ඇත්තද පුද්ගලික ජීවිතයේ වෙනසක් වෙන්න යනවා කියන්නේ?
එහෙම වෙනසක් වෙන්න යනවා නම් මුලින්ම කියන්නේ පත්තරේට. තවම එහෙම විශේෂ වෙනසක් නැහැ.
* කාර්යබහුලත්වයත් එක්ක කොහොමද ගෙදර වැඩ සමබරව කරගන්නේ?
සාමාන්‍ය විදියට තමයි හැමදේම වෙන්නේ. මගේ මහත්තයා තමයි මගේ මැනේජර්. ගෙදරදි මගේ මහත්තයා හැමදේම පුදුම මහන්සියකින් කරනවා. ගෙදරදි ලොකුවට උදව් නැති වුණත් එයා මට වඩා වැඩ ගොඩක් කරනවා. අපි හරි සාමාන්‍ය මිනිස්සු වගේ පොළොවේ පය ගහලා ජීවත් වෙනවා.
තිළිණි කරුණාරත්න