නමින් කුමාර් චුක්ෂානාද සංගක්කාර නම් වන ඔහු අප රටේ ක්‍රිකට් ක්‍රීඩාවට කලාවූ සේවාව මෙතකැයි කිව නොහැකි තරම්ය. හැඩකාර වැඩකාර ලොක පූජිත වමත් පිතිකරුවා වූ ඔහු වාර්තා පිට වාර්තා තබමින් ශ්‍රි ලංකා මෑණියන් ආඩම්බරයෙන් පුරවාලන්නට සමත් වූ අපේ කාලේ වීරයෙකි. ඒ සොඳුරු මිනිසා පිළිබඳ ඔහුගේ පියා පුවත්පතකට දැක්වූ අදහස් කිහිපයක් පහත දැක්වේ.
සංගා ක්‍රිකට් ක්‍රිඩකයෙකු වීම පිටුපස සිටින මහා චරිතය අන් කිසිවකුත් නොව ඔහුගේ පියාය. ඔහු ස්වර්ණ කුමාර සංගක්කාරය. සංගාගේ මව කුමාරි සුරංගනාය. චුක්ෂානාද යන්නෙහි තේරුම පැහැදිලි හඬක් නිරවුල් හඬක් යන්න බව සංගාගේ ආදරණිය දෙමාපියන් පැහැදිලි කරයි.
එසේ වුවද ක්‍රිකට් පිටියේදි බොහෝ දෙනා ඔහුව අමතන්නේ කුමාර් ලෙසය. නමුත් සංගාගේ පියා පවසන්නේ එය කුමාර ලෙස නිවැරදි විට යුතු බවයි. කුමාර් යන නම එකළ ත්‍රිත්ව විදුහලේදී මිතුරන් ඔහු අමතා ඇති නාමයයි. එදා සිට අද දක්වා සංගා පැමිණි මඟ පිළිබඳ ඔහුගේ පියා සමඟ කළ සාංවාදය පහතින්...
කුඩා කාලයේ සිටම ඔහු ක්‍රිඩාවට දක්ෂ වුණා. ඔහු මුලින්ම තොරාගත්තේ බැඩ්මින්ටන් ක්‍රිඩාවයි. ඔහු ඒ අංශයෙන් 11 පහළ සමස්ථ ලංකා බැඩ්මින්ටන් ශුරතාව පවා දිනා ගත්තා. ක්‍රිකට් ක්‍රිඩාවට යොමු කළෙත් දක්ෂතා දුටු නිසයි. ඔහු කුඩා කාලයේ ඉදන් දක්ෂ දරුවකු වුණා. ක්‍රිඩාවට වගේ අධ්‍යාපනයටත් දක්ෂ වුණා. පසු කාලෙක ඔහුටත් මං වගේ නීතිඥවරයකු වීමේ ආශාවක් තිබුණා. ඒ අනුව කොළඹ සරසවියේ නීති පීඨයට ඇතුළත් වුණත් ක්‍රිකට් නිසා එය අත්හැර දැමීමට සිදුවුනා.
අද ඔහු ලෝක පූජිත ක්‍රිඩකයෙක්..ඒ ගැන ඔබට දැනෙන හැගීම කුමක්ද?
අපට ඒ ලෝක පූජිත බව හො වෙනත් කිසිවක් අදාල නැහැ. අපි ඒවා ගණන් ගත්තත් අපට එයා පුතා. අක්කලා දෙන්නටයි අයියටයි එයා චූටි මල්ලි.. එච්චරයි..
එදා ලංකාවේදි සහභාගී වූ අවසන් එක්දින තරඟය නැරඹිමට ගියාද?
ඊට පෙර නුවර පැවති තරගයෙන් පසුව එයා නුවර මහගෙදර අප එක්කයි හිටියේ. ඉඳලා තමයි කොළඹ පිටත් වූණේ. අපටත් එය නරඹන්න එන්න කිව්වා. සාමාන්‍යයෙන් ටෙලිවිෂන් එකෙන් තමයි තරඟ නරඹන්නේ.. ඒත් එදා තරඟය නරඹන්න ගියා.
එදා ඒ තරඟයෙන් පසුව ඔහු මොනවද කිවිවේ?
ග්ලව්ස් එක ලිහිල් වූණ නිසා පිත්ත නියමිතව හසුරුවා ගන්න බැරි වුණු බව කිව්වා..
සංගාගේ පියා එලෙසින් කරුණු හෙළිකරන විට ඔහුගේ පුහුණුකරුද සංගා පිළිබඳ අදහස් දැක්වීය. ඔහු සුනිල් ප්‍රනාන්දුය. බර්ටි විජේසිංහ උපනන්ද ජයසුන්දර යන පුහුණුකරුවන් යටතේ සංගා පුහුණු වුවත් ඔහුගේ මුල්කල පෞද්ගලික පුහුණුකරුවා වූයේ සුනිල් ප්‍රනාන්දුය. මේ කටහඬ අවදි කරන්නේ ඔහුය.
දවසක් කටුගස්තොට ශාන්ත අන්තොනි විදුහල හා ත්‍රිත්වය අතර වයස 13 පහළ තරඟයක් පැවැත්වුණා. අන්තොනි විදුහලේ පුහුනුකරු වූයේ මමයි. අන්තෝනියේ නායකයා වුනේ මුරලි. ත්‍රිත්වයේ කුමාර් හිටියේ .එදා මැච් එක අපි දිනුවා. නමුත් සංගා ලකුණු හැට ගණනක් ලබා ගත්තා. පසු දිනක කුමර්ගේ තාත්තා මා යටතේ පෞද්ගලික පුහුණුව ලබා දීම සදහා මා වෙත යොමු කළා.
එදා ඔබ හිතුවද මෙයා මෙතරම් දුරක් යාවි කියලා?
ඇත්තටම හිතුවා. මොකද මෙයා විශ්වාසවන්තව කටයුතු කළා. ලොකු කැපවීමක් කළා.එය සියයට සියක් වඩා සියයට දේසීයක් විතර කැප කිරිමක් වුනා. ඒක ඇත්තටම අනෙක් ලමයින්ට ලොකු ආදර්ශයක් වුනා. සංගා හරිම ඥානාන්විත දරුවෙක්. එයා බැට් කරන විදිය බලන් ඉඳපු මම ඔයා දවසක ස්ටීව් වෝ තරමට දක්ෂ වන බව කිවා.බඇත්තටම ඊටත් වඩා දක්ෂයෙක් වුනා.
එදා ඔබ ඔහු වෙතින් දුටු විශේෂම ලක්ෂණය මොකක්ද?
කැපවීම.කැපවීම..අදටත් එය ඒ විදියයි. තාත්තා තමයි කුමාර් පිටුපස සිටි මහ පවුර වුණේ. පුතාව පුහුණුවට යොදවලා ඔහු පසෙකට වී පොතක් කියෙව්වා. ඒක ඇත්තටම සුන්දර අතීතයක්. මා යටතේ පුද්ගලික පුහුණුව ලබද්දි මා පන්දුව විසිකරද්දි ඔහු බැට් කළා. සියල්ල ඔහුට දශමෙට නිවැරදිව තිබිය යුතු වුණා. වෙලාවකට මා දැඩි වෙහෙසට පත්වුණා ඔහුට පන්දුව විසි කරලම. මම හිතන්නේ පුහුණුවේදි මා ඔහුට පන්දු ලක්ෂයකට වඩා යොමු කරලා ඇති.
සංගා ලොව ශ්‍රේෂ්ඨ ක්‍රිඩකයකු වූයේ කැපවීමේ අප්‍රහිත බව නිසා බව දැන් අපට පැහැදිලිය.. තවත් නොබෝ දිනකින්ම ඔහු අපෙන් නික්ම යනු ඇත. ඊට පෙර ලෝක කුසලානයක පහස අපට මෙන්ම ඔහුටද අත් විඳින්නට ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.