දශක ගණනාවක් පුරාවට තමන්ගේ ජනප්‍රියත්වය එක විදියටම පවත්වාගෙන ආ ගායකයෙක් තමයි නුවන් ගුණවර්ධන කියන්නේ. ඔහුගේ පුතා ගයාන් ගුණවර්ධනත් අද වන විට තාත්තාගේ අඩි පාරේ යමින් සංගීතයට අවතීර්ණ වෙලා. ප්‍රසංග වේදිකාවේ වගේම ටෙලි නාට්‍ය පසුබිම් ගායනය තුළත් ගයාන් මේ වන විට ජනප්‍රිය යොවුන් ගායකයෙක්. මේ තාත්තයි පුතයි එකතු වෙලා දැන් තවත් වැඩකට සූදානම් වෙනවා. ඒ ගැන වගේම අලුත් තොරතුරු ගැන ගයාන් කියන්නේ මෙහෙමයි.
තාත්තයි - පුතයි දෙන්නා අලුත් වැඩකට සූදානම් වෙනවාලු නේද?
ඔව්. ඒ අලුත් වැඩේ තමයි “තාත්තයි - පුතයි“
ඒ ගැන වැඩිදුර තොරතුරු කතා කළොත්?
මමයි තාත්තයි (නුවන් ගුණවර්ධන) එකතු වෙලා ප්‍රසංගයක් කරන්න යනවා. එය නම් කරලා තියෙන්නේ “තාත්තයි පුතයි“ නමින්. දෙසැම්බර් මාසේ 9 වැනිදා හවස 6.30ට තමයි “තාත්තයි පුතයි“ප්‍රසංගය පැවැත්වෙන්නේ, ගීත 25ක් විතර ප්‍රසංගයට ඇතුළත්. තාත්තයි මමයි අපේ ගීත ගයනවා. හින්දි ගීත වගේම ජෝතිපාල මහත්තයගේ ගීතත් අපි දෙන්නා ගායනා කරනවා. ඊට අමතර අපි දෙන්නම එකම ගීතය යුග ගීත විදියට ගයනවා. තාත්තගේ ගීත මම ගයනවා. මගෙ ගීතත් තාත්තා ගයනවා.
ඔබ දෙදෙනා හැරුණාම යුග ගායනය සඳහා වෙනත් ගායක ගායිකාවන් එකතු වෙන්නේ නැද්ද?
අමිලා නදීෂානි, උරේෂා රවිහාරි, චමිලා තුෂාරි හා කාවින්ද්‍යා අධිකාරී යුග ගායනයෙන් එකතු වෙනවා.
කාවින්ද්‍යා අධිකාරී සමග ජීවන යුග ගීය ගයන්න ගයාන් සූදානම් වෙලා සිටි බව අපි හැමෝම දන්නවා?
අපි ඒ ගැන කතා නොකර ඉඳිමු. සම්බන්ධතා ඇති වෙනවා. නැති වෙනවා. ඒත් මිතු දම කියන්නේ ලේසියෙන් බිඳලා යන සම්බන්ධයක් නෙවෙයි. අද වන විට කවින්ද්‍යා මගේ හොඳම යෙහෙළියක් විතරයි.
සින්දු කියන්න ආපු ගයාන් දැන් නළුවෙකුත් වෙලා නේද?
අසම්මත ප්‍රේමයක පැටළුණු තරුණයෙක්ගේ කතාවකට රගපානවා.
ගයාන් කැමති නැද්ද සැබෑ ජීවිතේ පෙම්වතිය ගැන කතා කරන්න?
දැනට එහෙම කෙනෙක් නැහැ.
ගයන්නයි රඟපාන්නයි කාලය යොදවන විට වෙනත් වෘත්තියක නියැළෙන්න ගයාන්ට කාලයක් නැතුව ඇති?
ඇත්තටම මට දැන් දැන් වෙනත් රැකියාවකට යෙදෙන්න කාලයක් නැහැ. සින්දු කියන්නයි රඟපාන්නයි යොදන කාලයට වඩා වැඩි කාලයක් කලාවට තවත් කටයුතුවට යොදවනවා.රූපවාහිනී නාලිකාව නිෂ්පාදකයෙක් විදියට වගේම ගුවන් විදුලි නාලිකාවක නිවේදකයෙක් විදියටත් මම කටයුතු කරනවා. ඊට අමතරව මමයි ගයාන් උඩවත්තයි (ධනපාල උඩවත්තගේ පුතා) එකතු වෙලා සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා. ඒ සියල්ලත් එක්ක මගේ ගෙදර ශබ්දාගාරයක් පවත්වාගෙන යනවා. එහි මම ශබ්ද පරිපාලන ඉංජිනේරුවෙක් විදියට කටයුතු කරනවා. සෙනසුරාදා ඉරිදා මමයි ගයාන් උඩවත්තයි සංගීත පන්ති පවත්වාගෙන යනවා. ඔය විදියට ගත්තම මම දවස් හතේම කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ.