විවිධ පක්ෂින් වර්ග විස්සකින් පමණ ගහන වූ ඒ මේ අත පියඹා යන නා නා වර්ණයෙන් යුත් සමනලූන්ගෙන් ස්වභාව අසිරිය අසිරිමත් වේ.
මෙම ප්‍රදේශයේ වෙසෙන සතුන් අතර ගෝනා, දිවියා, හඳුන් දිවියා, වැලි මුවා, මී මින්නා, මහ වඳුරා ප්‍රධාන තැනක් ගනී. මෙහිදී දක්නට ලැබෙන අං කටුස්සාට ලැබෙන්නේ සුවිශේෂි ස්ථානයකි.
එහෙත් සුන්දර වූ මෙම ලෝ්කාන්තය පිහිටා ඇත්තේ ජීවිතය අන්තය දැකීමට නොව ස්වභාව සිරිය විඳිමින් ජීවත් වීමටය. එහෙත් විටින් විට ඇසෙන සෝචනීය පුවත් නිසා පෙදෙසම පමණක් නොව මුළු පළාතම උණුසුම් වේ.
පසුගිය 11 වැනිදා අතීත අමිහිරි සිදුවීම් ද සිහි ගන්වමින් සිදු වූ ඛේදවාචකය පසුබිම් කරගෙන මෙම කතාව ඔබ වෙත දිග හරිමු. එකම විදේශීය රෝහලක හෙදියන් ලෙස කටයුතු කරන නිනන් රෙබයා සහ අපගේ කථා නායිකාව වන ජූලියා හෙල්ගා යන ජර්මන් ජාතික මිතුරියන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මේ මස 03 වැනිදා ය.
කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණ මෙම දෙදෙනා පළමු දිනයේ මීගමුව ප්‍රදේශයේ හෝටලයක නතර වන්නේ ලෝකයේ දියුණු විශාල රටවල් වල නොමැති අසිරියක් ශ්‍රී ලංකාවේ තිබෙන බව පවසා මොවුන්ව මේ සංචාරය සඳහා පැමිණීමට උනන්දු කළ මොවුන් දෙදෙනාගේ එරට මිතුරු මිතුරියන්ටද ශ්‍රී ලංකාවට පැමිණි බව දන්වා ඇත්තේ ඉපිල ගිය සතුටකිනි. ඔවුන්ගේ ගමන් වලදී මනා සේ සහයෝගය දැක්වූ ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථාන හොඳින් දන්නා වසර විස්සක් පමණ විදෙස් සංචාරක රියැදුරෙකු ලෙස කටයුතු කර බොහෝ අත්දැකීම් ඇති නීල් ප්‍රේමතිලක මහතා මොවුනගේ රියැදුරා ලෙස තෝරා ගත්හ.
ඒ අනුව සීගිරිය, දඹුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, නිලාවේලි ඇතුළු ස්ථාන රාශියක සංචාරයේ යෙදෙමින් මේ මස 10 වැනිදා නුවරඑළියට ගියහ.
එදින සවස 5.00 ට පමණ හෝටලයක නතර වී පසුදා උදෑසනම අවදි වී උදේ ආහාරයද ගෙන ලෝකාන්තය බලා පිටත් වුණා. නොවැම්බර් 11 වැනිදා ඉරිදා දිනයකි. නිවාඩු දිනයක් බැවින් දෙස් විදෙස් සංචාරකයන් බහුලව පැමිණෙන අතර ලෝකාන්තය නැරඹීමට සුදුසුම වේලාව වන්නේ පෙ.ව. 6.00 සිට පෙ. 10.30 අතර කාලයයි. මෙම තත්ත්වය නොදැන පැමිණෙන බොහෝ දෙනකුට මතු පිට සිට අඩි 6000 ක් පමණ පහළ කොටසේ තිබන තේ වතු, තේ කම්හල් පහසුවෙන් නැරඹීමට නොහැකි වන්නේ තද වළාකුළු වලින් වැසී යන නිසාය.
එම තත්ත්වය දැන සිටි මිතුරියන් දෙදෙනා පෙ.ව. 7.00 ට පිවිසුම් ස්ථානයේ පිහිටි කවුන්ටරය වෙත පැමිණ ටිකට් පත් දෙක ලබා ගෙන ඇතුළු වී ඇත. එහිදී තමන්ගේ රියැදුරා පිවිසුම අසල නතර වී ටික වේලාවක් හිඳ ඉන් පසුව අසල තිබෙන ආපන ශාලාව වෙත ගොස් තේ පානය කළේ පැවති තද සීතලෙන් ගත උණුසුම් කර ගැනීමට ය. මේ වන විට වේලාව පෙ.ව. 8.30 ට ආසන්න වී තිබුණි.
එවිට උද්‍යානයේ නිලධාරියෙකු විසින් රේඩියෝ පණිවිඩයක් ලබා දෙනවා ඇසුණා. එයින් කියවුණේ විදේශීය කාන්තාවක් ලෝකාන්තයෙන් පහළට වැටුණු බවයි. එම පණිවුඩය දී ඇත්තේ ලෝකාන්තයේ ප්‍රධාන මෙහෙයුම් මැදිරියටයි. රියැදුරා මෙම පණිවුඩය ඇසී තරමක් තිගැස්සුනා.
වහාම පිවිසුම් දොරටුව වෙත දිව යද්දී වෙනත් විදේශ රටක කාන්තාවන් දෙදෙනකු සමඟ නිනන් රෙබයා නම් තමන් හා පැමිණි අය ඉදිරියට මුණ ගැසුනා. එවිට ඇය පවසා ඇත්තේ ජුලියා හෙල්ගා පහළට වැටුනා කියායි. එනමුත් සැක හැර ගැනීමට අවශ්‍ය නිසා පිවිසුම් ස්ථානයේ නිලධාරීන්ට කාරණය දන්වා ලෝකාන්තය දෙසට දිව ගොස් විපරම් කළා. එහිදී තමන් හා පැමිණි සංචාරක කාන්තාව මෙම අනතුරට පත් වූ බව දැනගෙන අනෙක් තරුණියද සමග පට්ටිපොළ පොලිසියට ගොස් සිද්ධිය දැනුම් දුන්නා.
ඉන්පසු අපි බළන්ගොඩ පොලිසියට පැමිණ විස්තර පවසා බළන්ගොඩ තානායමේ නතර වුණා. මේ අනුව ක්‍රියාත්මක වූ නුවරඑළිය යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසි පහකට ආසන්න පිරිසක් ලෝකාන්තයෙන් පහළට බැස්සේ තරුණිය ගසක හෝ රැඳී ඇත්දැයි විපරම් කරමිනි.
ඊට හේතුව වූයේ 2015 වසරේ දී ලෝකාන්තයෙන් වැටුණු නෙදර්ලන්ත ජාතිකයෙකු වූ මාර්ටින් ලෝරන්ස් නමැති අය යුද හමුදා සෙබළෙකු විසින් බේරා ගැනීමට හැකි වූ නිසා ය. මේ වන විට වේලාව පෙ.ව. 11.30 පමණ විය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි ලෝකාන්තයෙන් යම් කිසිවෙකු වැටුනහොත් යළි පතිත වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ බළන්ගොඩ පොලිස් වසමේ නන්පේරියල් වත්ත පිහිටි ප්‍රදේශයට ය. එම දුර අඩි 6000 ක් පමණ වේ. මේ වන විට බළන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති උදයන බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි සමනල වැව පොලිස් මුර පළේ ස්ථානාධිපති ලෝරන්ස් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද වනජීවි නිලධාරීන් කිහිප දෙනකු ද නන්පේරියල් වත්ත දෙසට පිවිසුනේ අදාළ සිද්ධිය වාර්තා වීමෙන් පසුව ය.
නමුත් 11 වැනිදා සැන්දෑ වනතුරුත් මළ සිරුර ගෙන ඒමට හැකි වූයේ නැත. එමෙන් ම ලෝකාන්තය දෙසින් බැස ගත් හුමදා නිලධාරීන් ගැනද කිසිදු තොරතුරක් ලබා ගැනීමට නොහැකි වූයේ මෙම කලාපය තුළ දුරකථන සංඥා ක්‍රියාත්මක නොවන හෙයිනි.
පසු දින (12 දා) පෙ.ව. 5.00 ට පමණ නන්පේරියල් වතුයාය හරහා තවත් යුද හමුදා නිලධාරීන් පිරිසක් ලෝකාන්තය ඉහළ කොටසට ගමන් කළේ තම සහෝදර සෙබළුන් මීදුම නිසා අතර මං වී ආහාර පානද නොමැති ව සිටිතැයි සිතා අවශ්‍ය ආහාර පානද රැගෙනය.
කෙසේ නමුත් 12 වැනි දින පෙ.ව. 11.00 ට ආසන්න වෙද්දී හමුදා කණ්ඩායම් දෙකේම පිරිස එක් වූහ. ඒ අනුව නුවරඑළිය යුද හමුදා කඳවුරේ අණ දෙන නිලධාරී මේජර් අසිත රණවීර හා බදුල්ල හමුදා සේනාංකයේ බ්‍රිගේඩියර් අජන්ත විජේසූරිය යන මහත්වරුන් විසින් පැය විසි හතරක ආසන්න කාලයක් නිරාහාරව සීතලේ ගැහෙමින් සිටි සෙබළුන්ට ආහාර පාන ලබා දුන්හ. මේ වන විට මිය ගිය කාන්තාවගේ සිරුර සොයා ගෙන තිබුණි.
පැය විස්සකට ආසන්න කාලයක් කූඩැල්ලන්, සර්පයන්, වැනි සතුන්ගෙන් ගහන මෙම වනය තුළ මළ සිරුරක් ආරක්ෂා කර ගනිමින් සීතලෙන් මිදී කල් ගත කිරීමට සෙබළුන් ගෙන තිබූ උත්සාහය විස්තර කළේ මෙසේ ය.
” සිරුර සොයා ගත් නමුත් ගේන්න බෑ. ඉදිරියේ පාරක් තබා තමන් ඉදිරියේ සිටින පුද්ගලයාවත් නොපනෙන තරමට ඝන මීදුම. ඒ අතර අඳුර පැතිරෙන්නටත් පටන් ගත්තා. ඉතා අමාරුවෙන් රැය පහන් කිරීමට ගිනි මැළයක් දල්වා ගත්තා. එහෙත් මළ සිරුර සතුන්ගෙන් හෝ වෙන යම් දෙයකින් හානි වේ යැයි සිතා හමුදා සෙබළුන් කිහිප දෙනකුගේ නිල ඇඳුමේ උඩ කොටස ඉරා මළ සිරුර ඔතා එම පටි වලින් බැඳ තැබුවා. ආහාර නොමැති වුවත් උඩු කය ඇඳුම් අහිමි වීම නිසා තද සීතල දරා ගන්නට ගිනි මැළය උදව් වුණා.’’
කෙසේ හෝ කැඞී පොඩි වී එහෙත් වෙන් වී නොතිබූ මෙම සිරුර ගෙන ඒමේ පහසුව සඳහා දිග ලීයක් තබා පටි වලින් බැඳ ගලින් ගලට පැන ලිස්සන සුළු මාර්ගය ඔස්සේ නන්පේරියල් වත්තේ ඉහළ කොටසට රැගෙන ආහ.
මේ වන විට වේලාව රාත්‍රී 10.00 ආසන්න වී තිබුණි. කෙසේ හෝ අඳුර දුරු කර ගැනීමට තිබූ විදුලි පන්දම් ප්‍රමාණවත් නොවුණ නිසා භූමිතෙල් පන්දම් කිහිපයක් දල්වා ගෙන ලෝකාන්තයේ පහළ කොටසේ නන්පේරියල් කඳු මුදුනේ සිට දැඩි බෑවුම් සහිත වංගු සහිත පටු මාර්ගය ඔස්සේ පෞද්ගලික මල් ශාලාවක වෑන් රථයකින් බළන්ගොඩ මූලික රෝහලට ගෙන එන විට 13 වැනිදා අලූයම 1.30 පමණ වී තිබිණි.
කෙසේ හෝ 13 වැනිදා බෙලිහුල්ඔය හදිසි මරණ පරීක්ෂක එස්. එම්. අයි. ඞී. සෙනෙවිරත්න මහතා විසින් මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කළද කල්වේලා මඳ වූ බැවින් පශ්වාත් මරණ පරීක්ෂණය සිදු කළේ පසු දින (14 දා) පෙරවරුවේ ය.
ජර්මන් කාන්තාවගේ ලංකා ගමන බළන්ගොඩ රෝහලින් නිමා විය. එහෙත් ලෝකාන්තයේ අතීතයේ මෙවැනිම සිදුවීම් රාශියක් සිදු වී ඇත. ජර්මන් කාන්තාව සෙල්ෆි ඡායාරූප ගනිද්දී මෙම තත්ත්වයට පත් වූ බව මුලදී වාර්තා විය.
එහෙත් මරණ පරීක්ෂණයේ දී ඇගේ මිතුරිය වූ නිනන් රෙබයා කියා සිටියේ ඇයගේ ස්මාර්ට් ෆෝන් එක තමා අත තිබූ බවයි.
ඇය සෙල්ෆි ගත්තේ නෑ. ලෝකාන්තයේ මතු පිටින් අඩියකට පමණ පහළින් තිබූ ගල් ඇන්දකට අඩිය තබා ලෝකන්තයේ අසිරිය විඳින්නට වට පිට බලද්දී පහළට වැටුණ බව ඇය සඳහන් කළාය.
විදේශිකයින් බොහෝ විට කරුණු නොදත් නිසා ලෝකාන්තයෙන් පහළට වැටුනත් ඩෝෂන් පෙම් යුවළගේ ලෝකාන්තයේ පහළට පැන සිය දිවි නසා ගැනීම සිද්ධියේ සිට මේ වන විට ලාංකිකයන් පහළොවක් පමණ සිය දිවි නසා ගැනීම් හා අපරික්ෂාකාරී හැසිරීමෙන් ලෝකාන්තයට දිවි පුදා ඇත. වසර 2008 දී මේරියන් අබ්දුල් කැරීම් නමැති 26 හැවිරිදි කාන්තාව ලෝකාන්තයෙන් වැටුනේ මීදුමෙන් වැසී තිබියදී සිය පියා සොයා ගැනීමට යෑමේදී ය. 2011 වසරේ දී ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිස්ටෝපර් ෆිල්ටර් සිය කැමරාවෙන් කටුස්සෙකුගේ ඡායාරූපයක් ගැනීමට යෑමේ දී කන්දෙන් පහළට වැටී ඇත. වසය අවුරුදු 72 ක් පමණ වූ කාන්තාවක් සිය දිවි නසා ගත්තේ වසර 2013 දීය. ලෝකාන්තයෙන් වැටුණු දිවි බේරාගත් එකම තැනැත්තා වන්නේ නෙදර්ලන්ත ජාතික මාර්ටින් ලෝරන්ස් (35) නමැති තරුණයා ය. ඔහු මෙරටට පැමිණියේ තම මනාලිය සමඟ මධුසමය ගත කිරීමට ය. කන්දෙන් පහළට වැටුණු ඔහු ගසක අත්තක රැඳී සිටියදී යුද හමුදා සෙබළ සුදේශ් ලලින්ද විසින් කඹයකින් බැස මොහු බේරා ගත්තේ ය.
ඒ වෙනුවෙන් ඔහුට හමුදා සේනාංකයෙන් උසස් වීමක් ද ලැබුනේය. මෙම ජර්මන් කාන්තාවගේ මළ සිරුර ගෙන ඒමට මෙම සෙබළා ද සම්බන්ධ වීම විශේෂත්වයකි. ආරම්භයේ පෙම්වතුන් යුවළක් ලෝකාන්තයෙන් පැන්න සිද්ධියෙන් පසු මෑතක් වන තුරුම මළ සිරුරු ගෙන ඒම සඳහා විශාල වෙහෙසක් දැරීමට සිදු වේ.
මෙවැනි මළ සිරුරු ගෙන ඒමේ අත්දැකීම් ඇති වනය තුළ ගමන් කළ යුතු මාර්ග ගැනද හොඳින් දන්නා නන්පේරියල් වත්තේ පදිංචි සම්මුගම් උදයකුමාර් නමැති අය සිය අත්දැකීම් විස්තර කළේ මෙසේ ය.
” පසුගිය කාලයේ සිදු වූ මරණ ගෙන ඒමට මා ඇතුළු මෙම වත්තේ දස දෙනකු පමණ සහභාගි වුණා. ඒ පොලිසියේ සහ මරණ පරීක්ෂකවරුන්ගේ ඉල්ලීම මතයි. එක් විදේශික මහත්මයෙකුගේ මළ සිරුරක් පිටතට ගෙනවිත් දීමට ඔහුගේ ඥාතීන් විසින් අපට රුපියල් ලක්ෂ එක හමාරක් දීමට පොරොන්දු වූවා. ඒ අනුව පැය 16 ක් පමණ දැඩි වෙහෙසක් දරා මළ සිරුර ගෙනවිත් දුන්නා. ඔවුන් අපට රුපියල් ලක්ෂ දෙකක්ම ලබා දුන්නා. ඇතැම් දේශීය අයගේ මළ සිරුරු ගෙනවිත් දීමට ලොකු මුදලක් දීමට අදිමදි කරනවා. මෙම කටයුත්ත සඳහා අප ඉදිරිපත් වන්නේ ජීවිතය පරදුවට තබා ය. එවැනි අවස්ථා වලදී බිම ඇද වැටී තුවාල සිදු වූ අවස්ථා ද නැතුවා නොවේ.”
දිනකට දේශීය සංචාරකයන් දෙදාහක් පමණ ලෝකාන්තය නැරඹීමට පැමිණෙනවා. විදේශිකයන්ගේ පැමිණීම පන්සීයකට ආසන්න වනවා. ඔවුන්ගෙන් එක් අයෙකු වෙනුවෙන් රුපියල් පන්දාහක පමණ මුදලක් අය කරනවා.
නමුත් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිලධාරීන් කිහිප දෙනකු යොදවන්නේ නම් යම් අනාරක්ෂිත කටයුත්තක් කිරීමට යෑමේ දී ඔවුන් වළක්වාලීමට හැකි වනවා. විශේෂයෙන් මෙම නැරඹුම් ස්ථානයේ යකඩ වැටක් සවි කිරීමට ඉහතදී යෝජනා වූවා.
එම වැට මතට නැගීම සිදු කරාවි යන සැකය නිසා එයද නතර වුණා. කෙසේ නමුත් සංචාරකයන්ගේ පැමිණීම අඩු වීමට මෙම අනතුරු සිදු වීම හේතුවක් විය හැකියි.
එනිසා සුදුසු වැඩිපිළිවෙළක් යෙදීම වැදගත්ය. මුහුදු මට්ටමේ සිට අඩි 7200 ක් පමණ උස් ස්ථානයක පිහිටි ස්වභාව දහමේ අපූරු දායාදයක් ලෙස සැලකෙන ලෝකාන්තය තුළින් සුඛාන්තයක් මිස ශෝකාන්තයක් දකින්නට අසන්නට නොලැබෙන්නේ නම් කෙතරම් සුන්දර ද? එය එසේම වේවා යන්න සැමගේම පැතුමයි.
බළන්ගොඩ - එන්. එච්. පියසේන