අක්කර 148ක් හෙවත් හෙක්ටාර් 68ක් තරම් සරියකින් වටවුණු කුඩාම කුඩා රාජ්‍යයක් ලොව ඇති බව ඔබ දන්නවාද?.
එය පිහිටා තිබෙන්නේ ලිතුවේනියාවේ විල්නියුස් අගනුවරට යාබදවයි. ලිතුවේනියානු බසට අනුව උසුපිස් යන්නෙන් මතු වන්නේ ‘ගඟෙන් එහා’ යන අරුතය.
එවනි අරුතක් නැඟෙන නමක් මේ පුංචි ‘රාජ්‍යයට’ ලැබී තිබෙන්නේ විල්නියා නදිය නිසයි. විල්නියුස් පැරණි නගරයෙන්, උසුපිස් වෙන් වන්නේ විල්නියා ගඟෙන් නිසා ඒ නම මේ ‘රාජ්‍යයට’ කදිමට ගැළපේ.
විශාලත්වය සහ තවත් බොහෝ කාරණා අනුව සලකා බලන විට උසුපිස්, රාජ්‍යක්මදැයි යන සැකය මතු වේ. උසුපිස් පැවැතියේ ලිතුවේනියාවට අයත් ප්‍රදේශයක් වශයෙනි. ලිතුවේනියාව සෝවියට් සංගමයට අයත් රාජ්‍යයක් වූ බැවින් ලිතුවේනියාවට අයත් උසුපිස්, සෝවියට් සංගමය යටතේම පැවැති බව අමුතුවෙන් කියන්නට දෙයක් නොවේ.
අතීතයේ සිටම උසුපිස් ප්‍රදේශයේ ජීවත් වුණේ යුදෙව්වන් බවට ඉතිහාසය සාක්ෂි දරයි. දෙවන ලෝක යුධ සමයේදී යුදෙව්වන්ට නරක කල දසාවක් උදාවුණේ යම් සේද උසුපිස්හි යුදෙව්වන්ටත් ඉන් ගැලවීමක් නොතිබිණ. එහි විසූ යුදෙව්වන් මරා දමන ලදී. සෝවියට් සමුහාණ්ඩුවට යටත් පිරිස අතින්ම ඒ නගරය පසු කලෙකදී තවදුරටත් විනාශයට පත් වන්නට පටන් ගත්තේය. ලිතුවේනියානු යුදෙව්වන්ගේ පැරණි සුසානය පිහිටියේ යට කී පෙදෙසට අයත් භූමියකය.
සෝවියට් ජනයා එම සුසානය විනාශ කර දැමූහ. උසුපිස්, සියලු බලධාරීන්ගේ අවධානයෙන් මිදී අත්හැර දමන ලද බිමක් බවට පත්වෙමින් තිබුණේ කිසිවකු විශ්වාස නොකළ පරිද්දෙනි. මේ නිසා නගරයේ ජීවත් වුණු ජනයා අවතැන් වූහ. කාන්තාවෝ ගණිකා වෘත්තියට නැඹුරු වූහ. උසුපිස් වීදිය මේ අවධියේදී හැඳින්වුණේ ‘මරණයේ මාවත’ යනුවෙනි.
එපමණටම එහි අපරාධ සිදුවිණ. නගරය අනුක්‍රමයෙන් ජරාජීර්ණ තැනක් බවට ද පත් වූයේය. සෝවියට් සංගමය 1991දී බිඳ වැටෙන විට උසුපිස් දෙස ඇහැක් හැර බලන්නට බලධාරියෙක් නොසිටියේය. මේ අන්දමින් පැවැති නගරයට 1995දී කලාකරුවෝ පිරිසක් පැමිණියහ.
මේ පිරිස ඇමෙරිකා රොක් කලාකරුවකු වූ ෆ්‍රෑන්ක් සප්පාගේ ප්‍රතිරුවක් උසුපිස්හි ඉදි කළෝය. එය නිදහසේ සංකේතයක් ලෙස ප්‍රකාශ කිරීමටත් මේ කලාකරුවෝ මැලි නොවූහ. ඒ අන්දමට යළි ගොඩ නැඟුණු උසුපිස් නගරය 1997 අප්‍රේල් 1දා හෙවත් මෝඩයන්ගේ දිනයේදී ලිතුවේනියාවෙන් වෙන්ව ස්වාධීන විණ. උසුපිස්, ලිතුවේනියාවෙන් වෙන් වුවත්, ජාත්‍යන්තර ප්‍රජාව එය වෙනම රාජ්‍යයක් හැටියට අදටත් පිළිගන්නේ නැත. උසුපිස් ‘රාජ්‍යය’ අප්‍රේල් පළමුවැනිදා ස්වාධීනත්වයට පත් වූ බැවින් එහි නිදහස් දිනය පැවැත්වෙන්නේ ද අප්‍රේල් පළමුවැනිදාය.
එපිටින් ඇති පාලම තරණය කර උසුපිස් ‘රාජ්‍යයට’ එදින ඇතුළු වන සංචාරකයන්ට තම විදේශ ගමන් බලපත්‍රවලට මුද්‍රාව ලබා ගන්නට පුළුවන. කොහොම වුණත්, අනෙක් දවස්වලට උසුපිස් ‘රාජ්‍යයට’ ඇතුළු වන දේශසීමා ආසන්නයේ කිසිම රැකවලක් නැත. ඒ නිසා ඕනෑ කෙනෙකුට නිදහසේ ඊට ඇතුළු වන්නට අවසරය තිබේ. ඒ කියන පුංචි රටට පිවිසි කෙනෙකුට, ඒ පුද්ගලයා හැටියටම ජීවත් වීමෙන් ලබන සුවය අත්විඳින්නට පුළුවන.
යුසුපිස්හි විදේශ කටයුතු අමාත්‍ය තෝමස් සෙපයිටිස් ඒ ගැන කියන්නේ මෙවැන්නකි.
“උසුපිස් වෙත පිවිසෙන පාලම තරණය කළහොත් ඔබට, ඔබම විය හැකිය. ඔබ තව දුරටත් සමාජ කාර්යයක් දරන්නේ නැත. ඔබ තවදුරටත් වෙනත් කිසිවකුට අයත් නැත. ඔබ අයිති ඔබටමය. ඔබට, ඔබ කව්දැයි කියා සිතන්නට පුළුවන. සියලු මනුෂ්‍ය ප්‍රජාව එකට එක්ව දුවන උමතු ධාවනයේ කොටස්කරුවකු වීමෙන් මිදී ජීවත් වන්නටත් ඔබට හැකියාවක් ලැබේ.“
අමාත්‍ය තෝමස් සෙපයිටිස් මේ ‘ක්ෂුද්‍ර රාජ්‍යයේ’ නිර්මාතෘවරයෙකි.
ඔහු පවසන්නේ උසුපිස් ‘රාජ්‍යයක්’ හැටියට ගොඩනඟා තිබෙන්නේ ඇරිස්ටෝටල්ගේ දර්ශනයට අනුව බවයි. ඒ නිසා එහි සිටිය යුතු වන්නේ සීමිත වැසියන් සංඛ්‍යාවකැයි කියා තෝමස් පවසයි.
“අපට ඕන, අපේ පුංචි රට පැරණි අදහස්වලට අනුව ගොඩ නඟා ගන්න. එහි පුරවැසියන් සංඛ්‍යාව 5000කට වඩා වැඩි විය යුතු නැහැ. මොකද, මිනිස් මනසට ඊට වඩා මිනිසුන් සංඛ්‍යාවකගේ මුහුණු මතක තියාගන්න බැහැ. හැම කෙනෙකුම, අනෙක් හැම කෙනෙකු ගැනම දැන සිටිනවා නම් වංචා කරන්න සහ විධානයන් ලබා දෙන්න හුඟක් අමාරුයි.“
යැයි හෙතෙම සඳහන් කරයි. උසුපිස්හි ව්‍යවස්ථාවක් ඇත. ව්‍යවස්ථාව භාෂා 23කට නැඟී තිබේ.
එය හින්දි සහ සංස්කෘත භාෂාවලට නැඟුණේ පසුගිය වසරේ මැයි මාසයේදීය. ව්‍යවස්ථාවෙහි වගන්ති 38ක් ඇත. මේ වගන්ති 38 කියවා තේරුම් ගැනීම වෙනත් රටක ව්‍යවස්ථාවක වගන්ති කියවා තේරුම් ගන්නවාට වඩා බොහෝ දුෂ්කරය. විසංවාදී අදහස් මතු කරන වගන්ති එහි බහුලය.
“ මිනිසුන්ට සතුටින් ජීවත් වීමට අයිතියක් ඇත්තේය“ යනුවෙන් එහි 16වන වගන්තියෙහි සඳහන් වේ.
එසේ වුවත් 17 වන වගන්තියේ දැක්වෙන්නේ “මිනිසුන්ට නොසතුටින් ජීවත් වීමට අයිතිය ද ඇත්තේය“ යනුවෙනි.
එහි අරුත තමන්ට කැමති පරිදි එහි මිනිසුන්ට සතුටින් හෝ නොසතුටින් හෝ සිටීමට අයිතියක් ඇත යන්නයි. උණුසුම් ජලය සහ ශීත ඍතුවේදී තාපය ලැබීමට සෑම කෙනෙකුටම අයිතිය ඇත යනුවෙන් ව්‍යවස්ථාවේ තිබේ. මේ අරුම පුදුම ව්‍යවස්ථාවේ හැටියට සෑම කෙනෙකුටම මිය යන්නට අයිතියක් ඇත; එහෙත් ඒ සඳහා බැඳීමක් නැත.
සෑම කෙනෙකුටම තේරුම් ගැනීමේ අයිතිය ඇත යනුවෙනුත් සෑම කෙනෙකුටම කිසිවක් තේරුම් නොගැනීමට අයිතිය ඇත යනුවෙනුත් මේ ව්‍යවස්ථාවේ එකිනෙකට විසංවාදී වගන්ති සඳහන්ය. උසුපිස් ව්‍යවස්ථාවෙන් බළලුන්ට සහ සුනඛයන්ටත් විශේෂ තැනක් හිමි වේ.
‘සුනඛයකුට සුනඛයකු හැටියට සිටීමට අයිතියක් ඇත’ යනුවෙන් එහි තැනෙක සටහන්ව ඇත.
එම ව්‍යවස්ථාවට අනුව එහි වසන බළලකු, උගේ ස්වාමියාට ආදරය කරන්නට බැඳී නොසිටී. එහෙත් අවශ්‍ය අවස්ථාවලදී ස්වාමියා බළලාට උදව් කළ යුතු බව තවත් වගන්තියක සඳහන් තිබේ. ප්‍රතිබිම්බිත ඍජුකෝණාශ්‍ර මත මේ ව්‍යවස්ථාව මුද්‍රණය කර ඇත.
එම ඍජුකෝණාශ්‍ර මාර්ගයක් ආසන්නයේ තාප්පයක එල්ලා තිබේ. ඒ මාර්ගය හැඳින්වෙන්නේ ‘ව්‍යවස්ථා මාවත’ යනුවෙනි. උසුපිස් ජනාධිපතිවරයා රෝමාස් ලිලෙයිකිස් ය. ඔවුගේ සහායට අමාත්‍යවරු ගණනාවක් සිටිති. මේ පිරිස හමුවන පාර්ලිමේන්තුව කැෆේ එකක් සහ පබ් එකක් හැටියටත් ක්‍රියාත්මකය.
ජනාධිපතිවරයා ඔහුගේ මුළු කාලයම යොදවන්නේ සිය ධුරය මත පැවරී ඇති වැඩ කටයුතු සපුරාලීම සඳහායි. ජනාධිපතිවරයා සහ අමාත්‍යවරුන් වැඩිපුරම හමුවන්නේ සඳුදා දිනවලදී බැව් පැවසේ. උසුපිස්හි ජාතික කොඩිය ‘ශුද්ධ වූ හස්තයකින්’ යුක්තය.
එනම් අත්ල මැද සිදුරක් සහිත හස්තයකි. එහි අරුත අනෙකක් නොව අල්ලස පිළිනොගන්නා බවය. රාජ්‍යයේ සංචාරක කටයුතු භාර අමාත්‍ය කෙස්ටාස් ලුකොස්කිනාස් පවසන්නේ අත්ල මැද සිදුරක් තිබීම සංකේතවත් කරන්නේ අත්වල සඟවා ගන්නට කිසිවක් නැති බව යැයි කියාය.
උසුපිස් රාජ්‍යයට මුදල් ඒකකයක් ඇත. නාවුක හමුදා බලයද මේ රාජ්‍යය සතුය. වාර්තාවන්හි දැක්වෙන අන්දමට රාජ්‍යයට කුඩා ප්‍රමාණයේ නාවික බෝට්ටු තුනක් හෝ හතරක් හෝ තිබේ. ඒවා භාවිතයට ගන්නේ උත්සව අවස්ථාවන්වලදී පමණි.
උසුපියට මේ මෑතක් වන තුරුම යුධ හමුදා බලය පැවැතියේය. එරට යුධ හමුදාවේ සාමාජිකයෝ දසදෙනෙක් සිටියහ. අතිශයින්ම සාමාකාමී පරිසරයක් මෙහි පවත්නා හෙයින් මේ යුධ හමුදාව විශ්‍රාම ගන්වන ලද බව සඳහන් වේ.
සුවපහසු තැබෑරුම්, ආපන ශාලා රටේ ඕනෑම තැනෙක දැකිය හැකිය. උසුපිස් රාජ්‍යයට පැමිණි වහාම වාගේ ඔබට අවන්හලකට ගොඩ වදින්නට අවස්ථාව සැලසේ. ඔබට එහිදී නගරාධිපතිවරයාව මුණ ගැසෙන්නට පුළුවන.
රටේ නමක් දිනාගත් පැසි පන්දු ක්‍රීඩකයන් මෙන්ම කලාකරුවන් ද මුණ ගැසෙන්නට මේ අවන්හල කදිම තැනෙකි. එවැනි ජනප්‍රිය පුද්ගලයන් රටේ අනෙක් ඕනෑම තැනකදී වුව ඔබට හමුවිය හැකිය. උසුපිස් ඒ තරමටම සරලය; නිදහස්ය; එමෙන්ම සුන්දරය.
මංජුලා විජයරත්න